April 6, 2017

දෙවැනි කාණ්ඩයේ දියවැඩියාව සුවයට ඖෂධයක්

පුද්ගලයින් ජානමය බලපෑම මත ඇති විය හැකි දෙවැනි කාණ්ඩයේ දියවැඩියා රෝගය දීර්ඝ කාලයක් තුල පවත්වාගෙන ගිය නුසුදුසු ආහාර පරිභෝජන රටා සමඟ තරබාරුව නිසා විශේෂයෙන් වසයට යෑමේදී උත්සන්න වන භයානක රෝගයකි. අග්න්‍යාශයට ප්‍රමාණවත් ලෙස ඉන්සියුලින් නිපදවීමට නොහැකි වීම නිසා හෝ ශරීරයේ සෛල ඉන්සියුලින් සඳහා ප්‍රතිචාර නොදැක්වීම නිසා හෝ ඇතිවන දියවැඩියාව 2 රෝගය මඟින් රුධිරයේ සීනි ප්‍රමාණය අනතුරුදායක ලෙස ඉහල යාම සිදුවේ.

වර්තමානයේදී මෙලෙස ඉන්සියුලින් වලට දක්වන ප්‍රතිවිරෝධීතාව සම්පූර්ණයෙන් සුව කිරීමට පිළිගත් වෛද්‍ය ප්‍රතිකාර නොමැත. කෙසේ වෙතත් කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමක් විසින් මෙම තත්වය වෙනස්කිරීමට විභවයක් ඇති ඖෂධයක් නිර්මාණය කිරීමට සමත් වී තිබේ. මෙම රෝගයෙන් පීඩා විඳි මීයන්ට දෛනිකව ලබා දුන් නව ඖෂධ මාත්‍රාව මඟින් රෝගය සුව කිරීමට හැකි වී තිබේ. මෙය දෙවැනි කාණ්ඩයේ දියවැඩියාව සම්පූර්ණයෙන් සුව කිරීමට සමත් වූ ප්‍රථම අවස්ථාව ලෙස New Scientist සඟරාව වාර්තා කර ඇත.

ඉන්සියුලින් ප්‍රතිවිරෝධී වීම සුවිශේෂි  එන්සයිමයක බලපෑම මත සිදුවන බව පර්යේෂකයෝ සැක පහල කරන ලදුව එම එන්සයිමය අඩු අණුක බර ටයුරෝසින් ෆොස්පේට් (Low molecular weight Tyrosine Phosphate) හෙවත් LMPTP ලෙස අක්මාව තුල පවත්නා බවත් ඒවා සෛල සමඟ ඇති කරන ප්‍රතික්‍රියාවන් නිසා ඉන්සියුලින් පැවැත්මට බාධා සිදුවන බවත් ඔවුන් තවදුරටත් අදහස් කර තිබේ. මේ අනුව LMPTP එන්සයිමයේ වර්ධනය මැඩ පැවැත්වීමට නවතම ඖෂධයක් විශේෂයෙන් නිර්මාණය කළ පර්යේෂක කණ්ඩායම එමඟින් සෛලවල ඉන්සියුලින් ප්‍රතිග්‍රාහකයට නැවත වරක් ඉන්සියුලින් වලට සාමාන්‍ය ලෙස ප්‍රතිචාර දැක්වීම අපේක්ෂා කරන ලදි. ඔවුන් සතුටට පත් කරමින් ඔවුන්ගේ පර්යේෂණය සාර්ථක විය.

මෙම අධ්‍යයනයේදි වැඩිපුර ආහාර ලබා දීම නිසා ඉතා තාරබාරු වූ සහ එමඟින් දියවැඩියා 2 රෝගය වැළදුනු මීයන් සඳහා නව ඹෟෂධය මුඛ මාර්ගයෙන් (බීමට) ලබා දෙන ලදි. පසුව කළ නිරීක්ෂණ අනුව ඖෂධයෙන් කිසිදු අතුරු ආබාධයක් ඇති නොවු අතර මීයන්ගේ සෛල නැවත ඉන්සියුලින් පැවැත්මට ප්‍රතිචාර දක්වා තිබේ. තවද මීයන්ගේ රුධිර සීනි ප්‍රමාණය සාමාන්‍ය තත්වයට මසක් තුලදී පහත බැස ගිය බවද Nature සඟරාව තවදුරටත් වාර්තා කර තිබේ.

වසර 2030 වනවිට ලොව පුරා සිදුවන මරණවලට හේතුවන ප්‍රධාන රෝග අතර හත්වැනි ස්ථානයට දියවැඩියාව 2 රෝගය පත්වන බවත්, රෝගයට ගොදුරු වීම 390% ක වේගයෙන් වර්ධනය වන බවත්  වාර්තා වෙන බැවින් නව ඖෂධය කෙරෙහි ලොව බොහෝ බලාපොරොත්තු තබනු ඇත. නව ඖෂධය වෙළඳපොලට ඉදිරිපත් කිරිමට පෙර දෙවන අදියර ලෙස සායන මඟින් මිනිසුන් සඳහා අත්හදා බැලීම් කළ යුතුය.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ :

හර්ෂ ලංකේශ්වර

0 comments:

Post a Comment