December 8, 2013

ජාතික විදාතා පුනර්ජීවන වැඩ සටහන දියත් කෙරේ

"ජාතික විදාතා පුනර්ජීවන වැඩ සටහන" මීට සුළු මොහොතකට පෙර තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය ගරු පාඨලි චම්පික රණවක මැතිතුමා අතින් කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී දියත් කෙරිණි.

තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම් ධාරා විජයතිලක මැතිනියගේ ආරාධනයෙන් රාජ්‍ය අමාත්‍යාංශ, මහා භාණ්ඩාගාරය, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය අනුබද්ධ ආයතන ඇතුළු අර්ධ රාජ්‍ය සේවා ආයතන, රාජ්‍ය නොවන සංවිධාන සහ වැඩ සටහනට විශේෂ දායකත්වය දැක්වු රාජ්‍ය  බැංකු වල නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් මෙම උත්සවයට සහභාගි විය.

දිවයින පුරා විසිරී ඇති ජාතික විදාතා වැඩ සටහන හා සම්බන්ධවී ස්වොත්සහයෙන් නැගී සිටින විවිධ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන ව්‍යවසායක ප්‍රජාවගේ නියෝජිතයන්ගේ සහ දිවයින පුරා පිහිටි විදාතා සම්පත් මධ්‍යස්ථාන වල කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් උත්සවය වර්ණවත් විය.

ගරු අමාත්‍යතුමාගේ සංකල්පයට අනුව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ තාක්ෂණ පැවරුම් අංශයේ සහ ජාතික විදාතා කාර්ය මණ්ඩලයේ පුර්ණ දායකත්වයෙන් ජාතික විදාතා වැඩ සටහන, ශ්‍රී ලාංකික ජනතාවගේ අනාගත සෞභාග්‍ය සඳහා අද දින සිට නව ජවයකින් හා පුනර්ජීවනයකින් යුතුව ක්‍රියාත්මක වෙයි.

පුනර්ජීවනය ලද විදාතා වැඩ සටහන ජාතියට හා ජාත්‍යන්තරයට සංකේතාක්මකව හඳුන්වාදීමට “විදාතා නව ලාංඡනය” ශ්‍රී ලංකා පදනම් ආයතනයේ “ නුගේ ” විවෘත වේදිකාවේදි විදාතා නිලධාරීන්ගේ නව ප්‍රතිඥාව මැද ගරු පාඨලි චම්පික රණවක මැතිතුමාගේ සුරතින් නිරාවරණය කරමින් විදාතා පුනර්ජීවන වැඩසටහන සමාරම්භ විය.

නැගී සිටීමට වෙර දරණ ශ්‍රී ලාංකික ව්‍යවසායක ප්‍රජාවට නව කර්මාන්ත ආරම්භ කිරීම සහ පවත්නා කර්මාන්තයන්හි දියුණුව සඳහා
  1. මුල්‍ය සහය ලබාදීමට ශ්‍රී ලාංකික බැංකු හා සම්බන්ධීකරණයෙන් “සෞභාග්‍යා ණය යෝජනා ක්‍රමය” යටතේ ණය ලබාදීමේ වැඩසටහන ආරම්භ කිරීම සහ පළමු අදියරේ ණය ප්‍රදාන ලිපි ලබාදීම.
  2. නිෂ්පාදනවලට වෙළඳපොළ පිළිගැනීමක් සහ ඇගයීමක් ලබාදීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය මගින් “විදාතා පද්ධති සහතිකය” නම් නව ප්‍රමිති සහතිකයක් ලබාදීමේ වැඩපිළිවෙළ දියත් කිරීම සහ සුදුසුකම්ලත් ව්‍යවසායකයින්ට / කර්මාන්තකරුවන්ට GMP සහතික පිළිගැන්වීම. 
  3. දිරිගැන්වීම සහ ඇගයීම සඳහා ප්‍රථම වරට “හොඳම විදාතා ව්‍යවසායකයා” තේරීමේ තරඟාවලිය ප්‍රකාශයට පත්කිරීම 
  4. විදාතා අනුග්‍රහයෙන් බිහි වූ සහ තාක්ෂණ පැවරුම් ලත් ව්‍යවසායකයින්ට තාක්ෂණ පැවරුම් සහතික පත් ප්‍රදානය කිරීම.
  5. විවිධ නිෂ්පාදනයන්ට අදාල නවතම තාක්ෂණික ක්‍රමවේද පිලිබඳව දැණුම සහ තොරතුරු ලබා ගැනීමේ පහසුකම් සැලසීම සඳහා නොමිලයේ පරිහරණය කළ හැකි තාක්ෂණ දත්ත ගබඩාවක් පිහිටුවීම හා විවිධ තාක්ෂනයන් නිදර්ශනය කිරීම අරභයා වූ “ තාක්ෂණ අත්වැල” DVD තැටි මාලාවෙහි ප්‍රථම තැටිය නිකුත් කිරීම.
  6. දැයේ දරුවන් විශේෂ කොට සියළු ශ්‍රී ලාංකික ජනතාව නව ලොව දැණුමෙන් සවිබල ගැන්වීම, නව ලොව දැණුම ලබා දී දැනුම් පරතරය අඩු කිරීම සහ ලොව ජයගත හැකි නව නිපැයුම් සඳහා දිරිය වඩන මං හෙලි පෙහෙලි කිරීම යන කරුණු මුලික කොට නිර්මාණය කළ තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ “ප්‍රභාස්වර” අන්තර්ජාල බ්ලොග් අඩවිය ප්‍රසිද්ධියට පත්කිරීම.
  7. ව්‍යවසායකයින් / කර්මාන්තකරුවන් ඇතුළු සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවට විදාතා පුනර්ජීවන වැඩ සටහනේ සියළු ක්‍රියාකාරකම් වල සේවා, ප්‍රතිලාභ සහ තොරතුරු ක්ෂණිකව පහසුවෙන් ලබාගැනීමට පහසුකම් සැලසීම සඳහා “තාක්ෂණ තොරතුරු මධ්‍යස්ථානය - ක්ෂණික ඇමතුම් 1966” ස්ථාපනය කිරීම.
යන කාර්යන් විසින් ජාතික විදාතා පුනර්ජීවන වැඩසටහනේ සමාරම්භක පියවර සනිටුහන් කරනු ලැබීය.

0 comments:

Post a Comment