Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

April 7, 2017

ජලයේ ලුණු ඉවත් කිරීමට ග්‍රැෆින් පෙරණය


ජලයේ ඇති ලුණු ඉවත් කර පිරිසිදු ජලය ලබා ගැනීමට ග්‍රැෆින් භාවිතා කරන අයුරු විද්‍යාඥයෝ ප්‍රදර්ශනය කලහ. එහෙත් මෙමඟින් මිලියන ගණනාවක ජනතාවගේ ජල අවශ්‍යතාවය සපුරාලිය හැකි වේද?

මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් කණ්ඩායම මේ පිළිබඳව Nature Nanotechnology  සඟරාවේ විස්තර පළකර තිබේ. ජලය පෙරනය කිරීම සඳහා සුදුසු ග්‍රැෆින් පටලයක් හෙවත් ග්‍රැෆින් සිහින් ස්ථරයක් භාවිතා කළ හැකි බව ඔව්හු සනාථ කළෝය.

මින් පෙර ජල පෙරණයක් නිපදවීමට ග්‍රැෆින්  යොදාගැනීමට මෙම විශ්ව විද්‍යාලයේම පරීක්ෂණ කණ්ඩායමක් 2004 වසරේදී උත්සහ කළ නමුත් ඔවුන් නිපද වූ ග්‍රැෆින් පටලය ක්‍රමයෙන් ඉදිමීම නිසා ඒ හරහා කුඩා ලුණු අංශු  ගමන් කරන ලදි. නව නිෂ්පාදනයේදී ග්‍රැෆින් පටලයේ ඉදිමීම වැලැක්වීම සඳහා  පටලය දෙපස ඇලෙන සුළු ලාටු වර්ගයක් භාවිතා කර පටලය ප්‍රසාරණය වීම වලක්වා ඇත.
ග්‍රැෆින් පටලයේ සිදුරු වඩා සියුම්ව පාලනය කිරීමෙන් ලුණු පටලය හරහා ගමන් කිරීම වළක්වා ජලයට පමණක් ඒ තුලින් යෑමට සැලැස්වීමෙන් ජලයේ ලුණු සියල්ල ඉවත් වී පිරිසිදු ජලය ලබා ගැනීමට හැකි විය.

මෙම අධ්‍යයනයේ සම කතෘ සහ මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ මහාවාර්ය රාහුල් ප්‍රකාශ කරන්නේ ජලයෙන් ලුණු ඉවත් කිරීමට ග්‍රැෆින් පටලය සාර්ථකව භාවිතා කල ප්‍රථම අවස්ථාව මෙය බවයි. මෙම වර්ගයේ ග්‍රැෆින් වඩාත් පහසුවෙන් පාරගම්‍ය ලෙස සැකසිය හැකි බවත් මහා පරිමාණයෙන් ලුණු ඉවත් කර ජලය නිපදවීමට සැලසුම් සකස් කරන බවත් තවදුරටත් ඔහු ප්‍රකාශ කර තිබේ.

ලෝක ජනගහනයෙන් 14% කට පමණ වර්ෂ 2025 දි  ජල ඌනතාවයකට මුහුණ දීමට සිදුවන බව එක්සත් ජාතීන් ඇස්තමේන්තු කර ඇති අතර දැනට පවතින පිරිසිදු කිරීමේ යන්ත්‍රෝපකරණ සදහා  විශාල වියදමක් දැරීමට සිදුවේ. මේ නිසා ග්‍රැෆින් පටලය මඟින් ජලය පිරිසිදු කිරීම දැරිය හැකි මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.


අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ:
හර්ෂ් ලංකේශ්වර

https://youtu.be/3db7QHCV5ZU?t=5

April 6, 2017

දෙවැනි කාණ්ඩයේ දියවැඩියාව සුවයට ඖෂධයක්

පුද්ගලයින් ජානමය බලපෑම මත ඇති විය හැකි දෙවැනි කාණ්ඩයේ දියවැඩියා රෝගය දීර්ඝ කාලයක් තුල පවත්වාගෙන ගිය නුසුදුසු ආහාර පරිභෝජන රටා සමඟ තරබාරුව නිසා විශේෂයෙන් වසයට යෑමේදී උත්සන්න වන භයානක රෝගයකි. අග්න්‍යාශයට ප්‍රමාණවත් ලෙස ඉන්සියුලින් නිපදවීමට නොහැකි වීම නිසා හෝ ශරීරයේ සෛල ඉන්සියුලින් සඳහා ප්‍රතිචාර නොදැක්වීම නිසා හෝ ඇතිවන දියවැඩියාව 2 රෝගය මඟින් රුධිරයේ සීනි ප්‍රමාණය අනතුරුදායක ලෙස ඉහල යාම සිදුවේ.

වර්තමානයේදී මෙලෙස ඉන්සියුලින් වලට දක්වන ප්‍රතිවිරෝධීතාව සම්පූර්ණයෙන් සුව කිරීමට පිළිගත් වෛද්‍ය ප්‍රතිකාර නොමැත. කෙසේ වෙතත් කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමක් විසින් මෙම තත්වය වෙනස්කිරීමට විභවයක් ඇති ඖෂධයක් නිර්මාණය කිරීමට සමත් වී තිබේ. මෙම රෝගයෙන් පීඩා විඳි මීයන්ට දෛනිකව ලබා දුන් නව ඖෂධ මාත්‍රාව මඟින් රෝගය සුව කිරීමට හැකි වී තිබේ. මෙය දෙවැනි කාණ්ඩයේ දියවැඩියාව සම්පූර්ණයෙන් සුව කිරීමට සමත් වූ ප්‍රථම අවස්ථාව ලෙස New Scientist සඟරාව වාර්තා කර ඇත.

ඉන්සියුලින් ප්‍රතිවිරෝධී වීම සුවිශේෂි  එන්සයිමයක බලපෑම මත සිදුවන බව පර්යේෂකයෝ සැක පහල කරන ලදුව එම එන්සයිමය අඩු අණුක බර ටයුරෝසින් ෆොස්පේට් (Low molecular weight Tyrosine Phosphate) හෙවත් LMPTP ලෙස අක්මාව තුල පවත්නා බවත් ඒවා සෛල සමඟ ඇති කරන ප්‍රතික්‍රියාවන් නිසා ඉන්සියුලින් පැවැත්මට බාධා සිදුවන බවත් ඔවුන් තවදුරටත් අදහස් කර තිබේ. මේ අනුව LMPTP එන්සයිමයේ වර්ධනය මැඩ පැවැත්වීමට නවතම ඖෂධයක් විශේෂයෙන් නිර්මාණය කළ පර්යේෂක කණ්ඩායම එමඟින් සෛලවල ඉන්සියුලින් ප්‍රතිග්‍රාහකයට නැවත වරක් ඉන්සියුලින් වලට සාමාන්‍ය ලෙස ප්‍රතිචාර දැක්වීම අපේක්ෂා කරන ලදි. ඔවුන් සතුටට පත් කරමින් ඔවුන්ගේ පර්යේෂණය සාර්ථක විය.

මෙම අධ්‍යයනයේදි වැඩිපුර ආහාර ලබා දීම නිසා ඉතා තාරබාරු වූ සහ එමඟින් දියවැඩියා 2 රෝගය වැළදුනු මීයන් සඳහා නව ඹෟෂධය මුඛ මාර්ගයෙන් (බීමට) ලබා දෙන ලදි. පසුව කළ නිරීක්ෂණ අනුව ඖෂධයෙන් කිසිදු අතුරු ආබාධයක් ඇති නොවු අතර මීයන්ගේ සෛල නැවත ඉන්සියුලින් පැවැත්මට ප්‍රතිචාර දක්වා තිබේ. තවද මීයන්ගේ රුධිර සීනි ප්‍රමාණය සාමාන්‍ය තත්වයට මසක් තුලදී පහත බැස ගිය බවද Nature සඟරාව තවදුරටත් වාර්තා කර තිබේ.

වසර 2030 වනවිට ලොව පුරා සිදුවන මරණවලට හේතුවන ප්‍රධාන රෝග අතර හත්වැනි ස්ථානයට දියවැඩියාව 2 රෝගය පත්වන බවත්, රෝගයට ගොදුරු වීම 390% ක වේගයෙන් වර්ධනය වන බවත්  වාර්තා වෙන බැවින් නව ඖෂධය කෙරෙහි ලොව බොහෝ බලාපොරොත්තු තබනු ඇත. නව ඖෂධය වෙළඳපොලට ඉදිරිපත් කිරිමට පෙර දෙවන අදියර ලෙස සායන මඟින් මිනිසුන් සඳහා අත්හදා බැලීම් කළ යුතුය.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ :

හර්ෂ ලංකේශ්වර

April 3, 2017

යල්පැන ගිය ATM වෙනුවට ඇඟිලි තාක්ෂණ ක්‍රමයක්

වර්තමානයේ ATM හොරුන් විවිධ ක්‍රම මඟින් ඔබේ ගිණුමේ ඇති මුදල් සොරාගැනීම සුලබ දෙයක් බවට පත්ව ඇත. මෙම ප්‍රශ්නය ඔබ පමණක් නොව ලෝකයේ බොහෝදෙනෙක් මුහුණ දෙනු ලබන පොදු ගැටළුවකි.

මේ සඳහා කදිම විසඳුමක් දැනටමත් සොයාගෙන ඇත. එනම් යල්පැන ගිය ATM කාර්ඩ් වෙනුවට තම ඇඟිල්ල භාවිතා කර මුදල් ලබා ගැනීමේ ක්‍රමයක් හඳුන්වාදීමයි. මෙහිදී සිදුවන්නේ අලෝකය මඟින් ඇඟිල්ලේ ඇති ශිරාවල හිමෝග්ලොබින් රටාව සුක්ෂමව හඳුනාගෙන මුදල් නිකුත් කිරීමයි. 

ශිරාවේ ඇති හිමෝග්ලොබින් රටාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන නිසා ඔබගේ අනන්‍යතාවය පහසුවෙන් ග්‍රහණය කර ගැනීමට හැකිවේ. මේ නිසා ATM කාර්ඩ් ලඟ තබා ගැනීම හෝ රහස්‍ය අංක මතක තබාගැනීමට අවශ්‍ය නොවේ. ඔබගේ අනුදැනුමකින් තොරව ගිණුමේ ඇති මුදල් වෙනත් පුද්ගලයෙකුට භාවිතා කිරීමට නොහැකි වන අතර මේ නිසා ගිණුම සුරක්ෂිතවේ.


ප්ලැනට් නම් කෑෂ් යනුවෙන් නම් කර ඇති මෙම ව්‍යාපෘතිය පලමුවෙන්ම පෝලන්තයේ ක්‍රියාත්මක කිරීමට නියමිත වන අතර ඔබටද මෙම ක්‍රමවේදය ඉක්මනින් අත්විඳිමට හැකිවනු ඇත.

මිනිස් මනසෙන් පාලනය වූ කැස්බෑවා

පලායාම හෝ බාධක මගහැරයෑම කෙරෙහි කැස්බෑවා සතු ස්වභාවික සහ ක්ෂණික ප්‍රතිචාරය පදනම් කරගෙන සජීවී කැස්බාවෙක් මිනිස් මොලයෙන් සෘජුව මෙහෙයවීමට කොරියානු පර්යේෂක කණ්ඩායමක් සමත් වී තිබේ. සෝදිසි සහ මුදවාගැනීම් මෙහෙයුම් තාක්ෂණයේ අනාගත වර්ධනය සදහා මෙම පර්යේෂණ ප්‍රයෝජනවත් වනු  ඇතැයි පර්යේෂකයෝ ප්‍රකාශ කරති.

Bionic Engineering (යාන්ත්‍රික ශරීරාංග ඉංජිනේරු විද්‍යාව) සගරාව වාර්තා කර ඇත්තේ මෙම පර්යේෂණාත්මක ක්‍රියාවලිය මොලයෙන් පරිගණකයට සඥා ගමන් කරන අතුරු මුහුණතක් මගින් මොලයෙන් නිකුත්වන තරංග කියවීමෙන් රොබෝ පාලනය කිරීමක් ලෙසය. මෙමගින් පරිගණකයෙන් මොලයට සඥා ගමන් කරන අතුරු මුහුණතක් නිර්මාණයද අපේක්ෂා කළ හැකිය.

මිනිසා සහ කැස්බෑවා සජීවීව සම්බන්ධ කිරීම සදහා කුඩා කැමරාවක් කැස්බෑවාගේ හිස මත සවි කර තිබේ. කැමරාවෙන් දර්ශනය වන වටපිටාව අනුව මිනිසාගේ සිතුවිලි මගින් කැස්බෑවා වමට හෝ දකුණට හෝ යෑම මෙන්ම නිසලව සිටිමටද නියෝග නිකුත් වේ. මෙම සිතුවිලි පරිගණකය විසින් කියවා තොරතුරු සංඥා Wi-Fi තාක්ෂණය ඔස්සේ කැස්බෑවාගේ ආවරණ කබල මත සවිකර ඇති ග්‍රාහකයට සම්ප්‍රේෂණය කරනු ලැබේ.

මෙම උපකරණ කට්ටලයේ තවත් කොටසක් වූ කැස්බෑවාගේ කබල (කටුව) මත සවිකර ඇති අර්ධ වෘතාකාර වැස්ම ඉහත ග්‍රාහකයා ලබගන්නා තොරතුරු සංඥා මගින් පාලනය වේ. එනම් වම් හෝ දකුණු දෙසට අර්ධ වෘතාකාර වැස්ම චලනය වේ. උදාහරණයක් ලෙස මිනිස් මොලයෙන් වමට ගමන් කලයුතු යයි විදානය කළ විට අර්ධ වෘතාකාර වැස්ම දකුණට චලනයවී කැස්බෑවට දකුණට යාමේ බාධාවක් ක්ෂනිකව මතු කරයි. බාධක සදහා කැස්බෑවාගේ ප්‍රතිචාර දැක්වීම අනුව කැස්බෑවා වමට ගමන් කරයි. බාධක සහිත මාර්ගයක කැස්බෑවාගේ චලනය සිතුවිලි වලින් මෙලෙස පාලනය කිරීමට පර්යේෂකයෝ සමත් වූහ. ප්‍රථම පර්යේෂණය ගෘහයක් තුලද ඉන්පසු පර්යේෂණ දෙකක් විවෘත එළිමහනේ සාර්ථකව සිදු කරන ලදී.

පලායාම හෝ බාධක මගහැරයෑම කෙරෙහි කැස්බෑවා සතු ස්වභාවික සහ ක්ෂණික ප්‍රතිචාර ස්වභාවය පමණක් නොව සාපේක්ෂව ඉහළ ඥානාත්මක හැකියාව සහ ආලෝක තරංග ආයාමයන් අතර ඇති වෙනස සුවිශේෂිව හදුනාගැනීමට හැකිවීමද කැස්බෑවා මෙම පර්යේෂණ සදහා තෝරා ගැනීමට හේතු වී තිබේ.

කෙසේවෙතත් හිසකෙස් තරම් සියුම් ඉලෙක්ට්‍රොඩ සතුන්ගේ හිසෙහි සවිකර කැරපොත්තන් වැනි කෘමීන්ගේ චලනයන් දුරස්ථව පාලනය කිරීමට පර්යේෂකයින් සමත්වී තිබේ.පරවියන් පියාඹන දිශාවද මෙසේ පාලනය කර ඇතියිද වාර්තා වේ. ඉදිරි පර්යේෂණ සදහා වඩා ආචාරශිලිව සතුන් තෝරා ගැනීමට පර්යේෂකයින් බලාපොරොත්තුවන අතර මෙහි සාර්ථකත්වය මත වෘද්ධිය යතාර්ථය (augmented reality) වර්ධනය කිරීම මෙන්ම සෝදිසි සහ මුදවාගැනීම් මෙහෙයුම් තාක්ෂණයේ දියුණුවද අපේක්ෂා කරනු ලැබේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ:
හර්ෂ ලංකේශ්වර

  https://www.youtube.com/watch?v=xniuCjQCrS0

March 31, 2017

දුම්පානයෙන් තොර රටක්


සිගරට් දුම් වල ශරීරයට හානි කරන නොයෙකුත් රසායනික සංයෝග විශාල ප්‍රමාණයක් අන්තර්ගත වේ. මේවායින් ප්‍රධාන තැනක් ගන්නා නිකොටින් සහ කාබන් මොනොක්සයිඩ් යන රසායනික සංයෝග පිළිබදව පැහැදිලි කිරීමක් සිදු කිරීමට කැමැත්තෙමි. 
    
නිකොටින් ප්‍රධාන වශයෙන් උත්තේජකයක් ලෙස ක්‍රියා කරනු ලබයි. එමනිසා දුම් පානයට ඇබ්බැහිවූවන් එයින් ගලවා ගැනීමට ඉතාමත් අපහසු වේ. එමෙන්ම මෙම නිකොටින් රුධිර නාලවල තැම්පත් වීම නිසා රුධිර නාල පටුවීම සිදුවේ. එමනිසා නහර වල රුධිර ගමනාගමනයට බාධා පැමිණේ. මේ හේතුවෙන් හෘද රෝග(Heart Attack) ඇති වේ. එමෙන්ම හෘදය හෝ මොලය ආශ්‍රිත රුධිර නාල පුපුරා යෑමෙන් මරණයද සිදුවේ. මෙම නිකොටින් පෙනහළුවල නාලවල සහ ගර්තවල තැම්පත් වීමෙන් ඒවාට හානි සිදුවේ. එමනිසා කැස්ස, බ්‍රොන්කයිටිස් වැනි රෝග ඇතිවේ.

          කාබන් මොනොක්සයිට් වායුව ඉතාමත් විෂ වායුවකි. මෙම වායුව හිමොග්ලොබින් සමග සම්බන්ධවීමෙන් රුධිරයේ ඔක්සිජන් පරිවහනයට බාධා සිදු කරයි. මේ හේතුවෙන් ප්‍රමාණවත් ලෙස ඔක්සිජන් නොලැබීම නිසා සියළුම අවයවවලට හානි සිදුවේ. ඇත්ත වශයෙන්ම කාබන් මොනොක්සයිඩ් කෙතරම් විසද යත් එම වායුව අධික ලෙස ආශ්වාස කිරීමෙන් මරණයද සිදුවේ.

          මෙම නිකොටින් සහ කාබන් මොනොක්සිඩ් ගර්භාෂයේ ඇති කලලයට හානි කරයි. එමනිසා විකෘති සහගත ළමුන් බිහිවීම සිදුවේ.

          මෙලෙස සිගරට් දුම් ශරීරගත වීම නිසා එම්පිසීමීයා, හෘද රෝග, පිළිකා සහ බ්‍රොන්කයිටිස් වැනි රෝග බහුලවඇතිවීම සිදුවේ. එමනිසා දුම් පානයෙන් තොර නිරෝගී සමාජයක් ගොඩනැගීම අප සැමදෙනාගේ වගකීමකි.

W.A.R සුමිත් කුමාර
විද්‍යා හා තාක්ෂණ නිලධාරි

නිකවැරටිය

ලොව විශාලතම කෘතීම හිරු

ජර්මානු විද්‍යාඥයෝ ප්‍රථම වතාවට ලොව විශාලතම කෘතීම හිරු ක්‍රියාත්මක කළෝය. කෘතීම හිරුගේ sunlight (සුර්යාලෝකය) නොව synlight මගින් නිපදවූ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 3000ක් හෙවත් 54000F ක් වූ අතර එමගින් අනාගතයේදී හයිඩ්‍රජන් නිපදවීමේ ක්‍රම වේදයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වේ.

ජර්මානු වායුගෝල මධ්‍යස්ථානය (German Aerospace Center) විසින් ක්‍රියාත්මක කරන ලද කෘතීම හිරු සදහා xenon විදුලි බුබුළු 149 ක් භාවිතා කර ඇත. ජර්මනියේ Julich හි පිහිටුවන ලද කෘතීම හිරුගේ විදුලි බුබුළු එක් තනි ලක්ෂයකට යොමු කරන ලද්දේ ජලය හුමාලය බවට පත්කර හයිඩ්‍රජන් සහ ඔක්සිජන් නිපදවීමටය.

මෙම විශාල යන්ත්‍රය අඩි 45 ක (මි.14) උසකින් යුක්ත වන අතර හරස්කඩය අඩි 52(මි.16) කි. එමගින් අගල් 8 x අගල් 8 ප්‍රමාණයේ තනි ස්ථානයකට 30000C ක උෂ්ණත්වය යොමු කර තිබේ. මුළු දිනය තුලම හෝ පැය ගණනාවක් වුව මෙම පර්යේෂණාත්මක ක්‍රියාවලිය ක්‍රියාත්මක කළ හැකි වුවද විනාඩි 15 -20 ක කාලයකට පමණක් ක්‍රියාත්මක වූ කෘතීම හිරු හයිඩ්‍රජන් ස්වල්ප ප්‍රමාණයක්ද නිෂ්පාදනය කර තිබේ. මේ සදහා පසුගිය මාස කිහිපය තුලම ඔවුන් පර්යේෂණ ක්‍රියාත්මක කළ බව ව්‍යාපෘතියේ පර්යේෂක ඉංජිනේරු Dimitrij Laaber ප්‍රකාශ කළේය.

කාබන් දහනයක් නොමැති ඉන්ධන ප්‍රභවයක් වූ හයිඩ්‍රජන් අතිශය ප්‍රයෝජනවත් මුලද්‍රව්‍යයක් වේ. එහෙත් පෘථිවිය මත ස්වභාවිකව හයිඩ්‍රජන් පමණක් හයිඩ්‍රජන් ස්වරුපයෙන් නොපවතියි. හයිඩ්‍රජන් වෙනත් සංයෝගවල සංඝටක ලෙස පවතින නමුත් එම සංයෝග වලින් හයිඩ්‍රජන් වෙන් කර ගැනීම සදහා මෙවැනි අසීරු සහ අධික වියදම් සහිත යන්ත්‍රෝපකරණ හෝ ක්‍රමශිල්ප භාවිතා කළ යතු වේ.

කෙසේවෙතත් මෙම පර්යේෂණවල අරමුණ නම් හයිඩ්‍රජන් නිපදවීම සදහා විවිධ ක්‍රමවේද සකස් කර පසුව ප්‍රතිචලිත තුළින් දියුණු කර අවසානයේදී ඵලදායි ලෙස හයිඩ්‍රජන් නිපදවීම වේ. මෙම පර්යේෂණයේ ඊළග ප්‍රතිචලිත පියවර ලෙස නියොන් විදුලි බුබුළු සදහා විදුලි බලය ලබා ගැනීමට සුර්ය පැනල  යොදා ගැනීම කෙරෙහි පර්යේෂකයින්ගේ අවධානය යොමු වී තිබේ.  

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ:
හර්ෂ ලංකේශ්වර

https://www.youtube.com/watch?v=TPusDlTBjFs

March 29, 2017

අධිමානුෂික පෙනීම සදහා විශේෂ කණ්නාඩි

සමාන වර්ණ වල ඇති ඉතා සියුම් වෙනස්කම් මිනිස් ඇසට හඳුනා ගැනීමට නොහැකිය. අධි මානුෂික පෙනීම සඳහා නිපදවු නවතම කණ්නාඩි යුගලය භාවිතයෙන් වර්ණවල ප්‍රභේද වඩාත් පැහැදිලිව දැකිය හැකි වේ. එනම් නුදුරු දිනෙක ව්‍යාජ මුදල් නෝට්ටු හෝ මුළා කිරීම් සඳහා කළ වර්ණ හඳුනාගැනීම පහසු කාර්යයක් වනු ඇත.

Wisconsin-Madison විශ්ව විද්‍යාල පර්යේෂක කණ්ඩායමක් නිර්මාණය කරන ලද මෙම කණ්නාඩි යුගලය නිසා භාවිතා කරන්නාගේ වර්ණ දැක්ම සුවිශේෂ ලෙස වර්ධනය කළහැකි වී තිබේ. එකම වර්ණයක් ලෙස සාමාන්‍ය ඇසට පෙනුණද එම වර්ණයන් විසින් ආලෝකයේ විවිධ තරංග ආයාමයන්ගෙන් නිකුත් කරන ව්‍යාවසවික වර්ණ වෙන්ව හදුනාගැනිමට මෙමගින් හැකිවේ.

මිනිසාගේ වර්ණ දැක්ම කෙටි (නිල්), මධ්‍යම (කොළ) හා දිගු (රතු) තරංග ආයාමයන්ට ප්‍රතිචාර දක්වන කේතුක සෛල මත රඳා පවති. සමහර සතුන්ට මෙවැනි කේතුක හතරක් තිබේ. උදාහරණයක් ලෙස ගෝල්ඩ්ෆිෂ් මාළුවාට රතු, නිල්, කොළ, සහ පාරජම්බුල වර්ණ සඳහා කේතුක සෛල තිබේ.

එනම් වර්ණ තුනක් පමණක් භාවිතා කරන මිනිසාගේ ත්‍රිවර්ණ දාෂ්ඨිය සමහර සතුන්ට ඇති චතුර්වර්ණ දෘෂ්ඨිය දක්වා දියුණු කළ හැකිවේද? එවන් එක් කේතුක සෛලයක් එක් කිරීමෙන් මිනිස් ඇස රැවටිය හැකිද? යන්න මෙම පර්යේෂණයේ නියමු භෞතිකවේදී Mikhail Kats  ගේ අවධානයට යොමු වී තිබේ.

නව අධි මානුෂික පෙනීම සඳහා වු විශේෂ කණ්නාඩි යුගලය නිපදවීම සඳහා Kats සමඟ වු කණ්ඩායම, වර්ණ ප්‍රේරක දෙකක් නිර්මාණය කරන ලදි. මේවා මඟින් නිල් ආලෝක වර්ණාවලියේ සමහර කොටස් ඉවත් කළ හැකි වීම නිසා සෑම ඇසකටම ඉතා තියුණු ලෙස වෙනස් නිල් වර්ණාවලියේ තොරතුරු ලබා ගත හැකි විය. ඕනෑම විචක්ෂණ වෙනසක් වඩා වැඩියෙන් ප්‍රඥාපනය වන බවට වු කණ්ඩායමේ උපකල්පනය මෙහිදි නිවැරදි විය.

පරිගණකය හෝ smart phone තිරයේ දිස්වන ජීවමාන ඇසට එක සමාන වූ වර්ණ වල වුවද ඇති වෙනස්කම් නව කණ්නාඩිය පැළඳීමෙන් පැහැදිලිවම දැක ගන්නා ලදි.     

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ:
හර්ෂ ලංකේශ්වර   

https://youtu.be/655rXzKcuFk

March 28, 2017

මහා පරිමාණයෙන් කෘතීම රුධිර නිෂ්පාදනය

ගතවන සැම විනාඩියකදීම ලොව මිනිසුන් විශාල ප්‍රමාණයකට රුධිරය ලබාදීම සිදු වේ. හදිසි අනතුරු, සැත්කම් සහ රුධිරය ආශ්‍රිත බොහෝ රෝග නිසා ප්‍රදානය කළ යුතු රුධිර අවශ්‍යතාවය ඉහළ මට්ටමක පැවතියද රුධිර පරිත්‍යාගය එතරම් ඉහළ මට්ටමක නොපවතියි. එනිසා ඇතිවූ විශාල රුධිර හිගය පිරවීම සදහා බොහෝ කාලයක සිට කෘතීම රුධිරය නිෂ්පාදනය සදහා විවිධ ක්‍රම භාවිතා කළද ප්‍රමාණවත් ප්‍රථිපල ළගාකර ගත නොහැකි වී තිබේ.

Bristol විශ්ව විද්‍යාලයේ සහ NHS රුධිර පාරවිලයන ආයතනයේ පර්යේෂණ කණ්ඩායමක් මෙම ගැටලුවට විසදුමක් ලෙස මහාපරිමාණයෙන් කෘතීම රුධිරය නිපදවිය හැකි තාක්ෂණයක් සොයාගෙන තිබේ. රුධිරය අසීමිතව සැපයීමට හැකි ලෙස රතු රුධිර සෛල විශාල වශයෙන් නිපදවීමට ඔවුහු සමත්වුහ. කෘතීම රතු රුධිරය නිපදවිමේ ක්‍රමයක් දැන් නිර්මාණය වී ඇති නමුත් රුධිරය මහාපරිමාණ නිෂ්පාදනාගාර නිර්මාණය වීමද මේ සදහා අත්‍යාවශ්‍ය වේ.

පෙර පැවති කෘතීම රුධිරය නිෂ්පාදන ක්‍රමවේදය විශ්වාෂ කළ නොහැකි ලෙස අකාර්යක්ෂම බව වාර්තා වේ. එහිදී STEM (ස්ටෙම්) සෛල ලබාගෙන ඒවා සෘජුව රතු රුධිර සෛල බවට පරිවර්තනය වීම සදහා පෙළඹවීමට කටයුතු කරන ඇත. රුධිර පාරවිලයනය සදහා රුධිර සෛල ට්‍රිලියන ප්‍රමාණයෙන් අවශ්‍ය නමුත් මෙම ක්‍රමයෙන් නිර්මාණය කර ගත හැකිවී ඇත්තේ රුධිර සෛල 50,000 ක් පමණි. එය කිසිසේත් ප්‍රමාණවත් නොවේ.

නව තාක්ෂණය මගින් immotalized erythroid cell (අමරණිය එරිත්‍රොයිඩ් සෛල) පේලියක් සංවර්ධනය කිරීම මගින් රතු රුධිර සෛල විශාල ප්‍රමාණයක් නිෂ්පාදන හැකියාව ලැබී තිබේ. ලීටර ගණන් රුධිරය නිපදවීමට ඔවුන් දැනටමත් සමත්වී ඇති බවද වාර්තාවේ. වර්ධනයේ මුල් අවස්ථාවේ ඇති ස්ටෙම් සෛල හසුකර ගැනීම නිසා ඒවා පලදායී ලෙස අමරණිය විය. මේවායින් ලබාගත් සාම්පල භාවිතා කර අවශ්‍ය රතු රුධිර සෛල ලබාගැනීමට හැකිවී තිබේ.

සැම නව තාක්ෂණයන් මෙන්ම මෙයද දැනට වියදම් අධික තාක්ෂණයක් බැවින් ඉතා සීමිත සමහර රුධිර වර්ග කෘතීමව නිර්මාණය සදහා මුලින් යොමුවනු ඇතැයි  අපේක්ෂා කෙරේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ;

හර්ෂ ලංකේශ්වර 

March 24, 2017

ශරීරය ශීතලව හෝ උණුසුම්ව තබා ගැනීමට අත් පළඳනාවක්

වර්තමානයේදී භාවිතා වන වායු සමීකරණ මඟින් ගෘහස්ථ අවකාශවල මිනිසුන්ට සුවදායක උෂ්ණත්වයක්  රඳා පවත්වා ගැනීම සඳහා විශාල විදුලි බලශක්තියක් අවශ්‍ය වේ. විශේෂයෙන් උෂ්ණත්වය ඉහල රටවල් ලෙස සැලකෙන ඉන්දියාව හා බ්‍රසීලය සඳහා විශාල බලශක්තියක් අනාගතයේදී අවශ්‍ය වනු ඇත්තේ වේගයෙන් දියුණුවන මෙම රටවල 2% ක් හා 11% ක් වු වත්මන් වායු සමීකරණ භාවිතය ඇමෙරිකා එක්සත් ජනපදයේ භාවිතය වන 16.5% දක්වා වැඩි වීමට ඉඩ ඇති බැවිනි.

මේ කරුණු වලින් සනාථ වන්නේ මිනිසාට සුවදායක උෂ්ණත්වයක් පවත්වාගෙන යෑම සඳහා වායුසමීකරණ තාක්ෂණය වඩාත් කාර්යක්ෂම වීම හෝ වෙනස් වීමකට භාජනය වීම් සිදුවිය යුතු බවයි. කෙසේ වෙතත් MIT ආයතනයේ ශිෂ්‍ය කණ්ඩායම විසින් සාමාන්‍ය ලෙස වායු සමීකරණ මඟින් කාමර උෂ්ණත්වය පාලනය කිරීම වෙනුවට මිනිස් ශරීරයේ උෂ්ණත්වය සෘජුව අඩු වැඩි කිරීම සඳහා තාක්ෂණ ක්‍රමවේදයක් ඉදිරිපත් කර තිබේ.

මෙම නිර්මාණ කණ්ඩායමේ නියමු Sam Shames පවසන්නේ ඔහුගේ මවට වායුසමීකරණයේ උෂ්ණත්වය අඩු කිරීම අවශ්‍ය නමුත් තමා වැඩි උෂ්ණත්වයකට කැමති බැවින් වායු සමීකරණය භාවිතයේදි ගැටළු ඇති වු හෙයින් මෙවැනි පුද්ගල මට්ටමේ තාක්ෂණයකට තමා යොමු වු බවයි.
විදුලි වළයාභරණයක් (වළල්ලක් / bracelet) වු ඔවුන් නිපදවූ නව උපකරණය Wristity ලෙස හඳුන්වන අතර එය පැළඳ සිටින්නාගේ උෂ්ණත්වය නියාමනය කරයි.පුද්ගලයාගේ අවශ්‍යතාවයට අනුකූල ලෙස උණුසුම හෝ ශීතල තත්වය ලබාදීම සදහා සම මත නාඩි (ස්පන්දන) වෙනස් කිරීම මෙමඟින් සිදුවේ. මෙම තාක්ෂණයේ මූලාකෘති නිරිමාණයට 2016 වසරේ පාසැල් මුලද්‍රව්‍ය විද්‍යාව හා ඉංජිනේරු වැඩසටහන මඟින් පැවැත්වු තරඟයෙන් ප්‍රථම ස්ථානය හිමි වී තිබේ.

මිනිස් සිරුර සහ මිනිස් සම උෂ්ණත්වමානයක් ලෙස ක්‍රියා නොකරයි.යම් වෙනස් උණුසුමක් හෝ  ශීතලක් සාමාන්‍ය උෂ්ණත්වයේ පවතින මිනිස් සිරුරට දැනුන විට ඒ සඳහා ක්ෂණික ප්‍රතිචාරයක් දක්වා පසුව ශරීරය එම උෂ්ණත්වයට හුරු වේ. ඔබ ශීතල ජලාශයකින් ස්නානය කරන විටද සිදුවන්නේ එයයි. ජලය මුල්වරට ශරීරය ස්පර්ශ කරන විට තද ශීතලක් දැනෙන නමුත් පසුව එය පහව යයි. මෙම ප්‍රායෝගික තත්වය භාවිතය කරමින්  Wristity උපකරණය ශරිරයට ශීතලක් හෝ උණුසුමක් එකවරක් නොව නැවත නැවත එක දිගකට ඉතා සුළු කාල පරාසයක් තුල දැනවීමට කටයුතු කරයි. එනම් මෙය පුද්ගලයා නිතර නිතර අඛණ්ඩව ශීතල හෝ උණුසුම් ජලයේ ගිලීමට සමාන වේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ :

හර්ෂ් ලංකේශ්වර  

March 22, 2017

තාරුණ්‍යයත් සමග විද්‍යා දැනුම සන්නිවේදනය සඳහා අන්තර්ජාලය හා ජංගම දුරකථන භාවිතය

විවිධ ක්ෂේත්‍රයන්හි අභිවෘද්ධිය වෙනුවෙන් විද්‍යාත්මක තොරතුරු හුවමාරු කරවීම සදහා තාරුණ්‍යයත්  සමග සන්නිවේදනය කිරීම ඉතාමත් වැදගත්ය. අදහස් හුවමාරු කර ගැනීමට, නව අදහස් හා ව්‍යවහාරයන් සමග යාවත්කාලීන වීම සදහා උගැන්වීමට,අප ඔවුන් සමග සාර්ථක ලෙස සන්නිවේදනය  කළ යුතු වේ. විශාල ග්‍රාහක පිරිසක් සමග සන්නිවේදනය උදෙසා ඇති මෙවලම මාධ්‍යය වෙයි. වර්ථමානයේ සම්ප්‍රදායික මාධ්‍ය තුලට ඇතුළන් වනුයේ පුවත්පත්,සරා, ගුවන් විදූලිය හා රූපවාහිනීය පමණක් නොවේ. අන්තර් ජාලය සහ ජංගම දූරකථන ද එයට අන්තර්ගතය.
      වර්තමාන ලෝකය විවිධ වැඩසටහන් ගණනාවක්ම තරුණ අය සමග සන්නිවේදනය උදෙසා අන්තර්ජාලය සහ ජංගම දුරකථන භාවිතා කරයි. මෙම වැඩසටහන් අතර විද‍්‍යාව සෞඛ්‍යය සහ කෘෂිකර්මය ද වෙයි.
          මෑත කාලයේදී විශේෂයෙන්ම තරුණ තරුණියන් අතර අන්තර් ජාලය හා ජංගම දුරකතන භාවිතය ඉහල මට්ටමකට පැමිණ ඇත. ඒ හේතුවෙන් තොරතුරු හුවමාරුවට මෙන්ම ව්‍යාප්තියට අවස්ථා උදා වී ඇත.ඒසේ වූවද මෙම තාක්ෂණ සමහර අවස්ථා වලදී වැදගත් සහ වලංගු ප්‍රශ්ණද මතු කරයි. ඒ අතර,
·                     විද්‍යාත්මක දැනුම ප්‍රචාරණයට හෝ සෞඛ්‍යමය ප්‍රස්තූතයන්ට මැදිහත්වීම හෝ ඉහල නැන්වීම ට අන්තර්ජාලය හෝ  ජංගමදුරකථන සාර්ථකව භාවිත කළ හැක්කේ කෙසේද ?
·                     මෙම තාක්ෂණයන් භාවිතයෙන් කෙරෙන මැදිහත් වීම් සාර්ථක වන බව සනාථ කරන සාක්ෂි හා සාධක තිබේ ද?
·                     මෙම තාක්ෂණ භාවිතයේ පවත්නා වාසි සහ අභියෝග කවරේද?
ඉහත ප්‍රශ්ණ වලට පිලිතුරු සෙවීමේදී පැහැදිලි පිලිතුරු මෙතෙක් ලබා ගැනීමට නොහැකි වී ඇත.
අන්තර්ජාලය හෝ  ජංගමදුරකථන  තොරතුරු සන්නිවේදන මෙවලම් ලෙස මහත් බලාපොරොත්තු තබා ඇති අතර මෙතෙක් කරන ලද ඇගයීමි වලින් හෙලි කර ඇති ප්‍රතිඵල නිශ්චිත නිගමන ලබා නොදෙන අතර සමහර අවස්ථාවලදී මිශ්‍ර ප්‍රතිඵල ලබා දී තිබේ.
විශ්ව විසිරි වියමන (world wide web )ලෙස හදුන්වන අන්තර්ජාලය ලෝකය පුරා ඉතා ශීඝ්‍රයෙන් පැතිර ගොස් ඇති අතර සංවර්ධනය වන රටවල අන්තර්ජාලයට සමීප වීමේ හැකියාව  භෞතික ලෙස, මූල්‍ය ස්ථාවරත්වය, සමාජ ආර්ථික සාධක ,අධ්‍යාපනය ,වයස,සංස්කෘතිය ,භූ ගෝලීය පිහිටීම මෙන්ම භාෂා ප්‍රවීනත්වය යන සාධක මත රා පවතියි.
ශ්‍රී ලංකාව තුල අන්තර්ජාල භාවිතය  ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතියි.වර්ථමානයේ තරුණ තරුණියන් පමණක් නොව පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අන්තර් ජාලය භාවිතය කෙරෙහි උනන්දුවක් දක්වන්නේ අධ්‍යාපන කටයුතු සදහා පමණක්ම නොවන බව කිව යුතුමය.
වෙබි අඩවි ,විද්‍යාව හා සමිබන්ධ සේවා සැපයිමට හා ප්‍රවර්ධනය කිරීමට භාවිතා කළ හැකිය.උදාහරණයක් ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන නවතම සේවා පිලිබ තොරතුරු තරුණ ගොවීන් හට ලබා දීමට එමගින් පුවන.කෘෂිකර්ම සේවා මධ්‍යස්ථාන හෝ අදාල මිල ගණන් සමග නිෂ්පාදන මිලදි ගන්නා මධ්‍යස්ථාන හෝ දැන්වීමටද වෙබ් අඩවි යොදා ගත හැකිය.
ශ්‍රී ලංකාවේ ජනගහනය තුළ තමන්ගේම පෞද්ගලික පරිගණක සතු වු අය සිටිනුයේ ඉතා සු සංඛ්‍යාවකි.එහෙයින් ප්‍රජා පරිගණක මධ්‍යස්ථාන පහසුකම් ඇති කිරීම තව තවත්   වර්ධනය කළ යුතුය.
පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන භාවිතය නොසිතු විරූ ලෙස ඉහල ගොස් ඇත.ඒවා බහුලව භාවිතා වන තවත් කේෂ්ත්‍රයක් වනුයේ  එස්. එම්. එස් ලෙස ජනප්‍රියව ඇති කෙටි පණිවිඩ ලබාදීමේ හා ලබා ගැනීමේ සේවයයි.
දුරකථන භාවිතය මගින් විද්‍යාව, සෞඛ්‍යය සහ කෘෂිකර්මය ආදී විෂයන්ටද අදාළ ප්‍රස්තුත සහා වන සන්නිවේදන මැදිහත්වීම් හි නිරත වීම ලෝකය පුරා බොහෝ රටවල දැන් ඉහළ යමින් පවතියි.උදාහරණයක් ලෙස උගන්ඩාවෙහි රාජ්‍ය නොවන සංවිධානයක් ,එරට විදුලි සංදේශ සමාගමක් සමග එක්ව තරුණ අය අතර  එච්.අයි.වී.ඒඩ්ස් පිළිබව පවත්නා දැනුවත්භාවය නංවාලීමේ පණිවිඩ ව්‍යාප්ත කිරීමේ ව්‍යායාමයක සාර්ථක ලෙස නිරත වීම දැක්විය හැකිය.
ජීවත් වීම පිළිබ ඉගෙනීම ලෙස හැදින්වෙන නයිජිරියාවෙහි ක්‍රියාත්මක ව්‍යාපෘතියෙහි එහි ප්‍රතිලාභින්හට තමන් මුහුණ දෙන ගැට පිළිබව සිය පුහුණුකරුවන් සහ අදාළ වෙනත් වෘත්තීය සම්පත් දායකයන්ගෙන් කෙටි පණිවිඩ ඔස්සේ විසදුම් ලබා දී ඇත.
පණිවිඩ අලෙවි කිරීම සදහා සහ සේවා ලබා දීම සහා ද ජංගම දුරකතන භාවිතා කෙරේ.එහිදී යම්  සාර්ථකත්වයක් අත් කර ගැනීමට සමත්ව ඇත.එහෙයින් වර්තමානයේ ශ්‍රී ලංකාවේද විදාතා මධ්‍යස්ථාන , සෞඛ්‍යය ආයතන සහ කෘෂි සේවා ව්‍යාප්ති මධ්‍යස්ථාන යනාදියට සිය අදාළ පාරිබෝගිකයන් අතරට තම සේවා ගෙන යාමට ජංගම දුරකථන කෙටි පණිවිඩ සේවාව ලබා ගත හැකය.
විද්‍යාත්මක දැනුම ව්‍යාප්තියේදී අන්තර්ජාලය සහ ජංගම දුරකථන භාවිතයේ ඇති  ප්‍රයෝජනවත් බව පිළිබව නිගමනයකට එළීමට තරම් තවමත් කාලය පැමිණ නැත.

ඒසේ වුවද, මෙම තාක්ෂණයේ සංවර්ධනය, සන්නිවේනය නව මාවතකට යොමු කිරීමට සැදී පැහැදි සිටින බව කිව යුතුය.     
සකස්කළේ : ඩබ්ලිව්.ඒ.මල්කාන්ති,විද්‍යා හා තාක්ෂණ නිලධාරි, මල්ලවපිටිය.