February 15, 2019

දියවැඩියාවට ප්‍රතිකාර සදහා ස්ටෙම් සෛල භාවිතය


දියවැඩියාව යනු අග්න්‍යාශයේ ප්‍රමාණවත් ඉන්සියුලින් නිපදවීමට නොහැකි හෝ ශරීරය නිපදවන ඉන්සියුලින් ඵලදායී ලෙස භාවිතා කළ නොහැකි වීමේ කල්පවතින රෝගී තත්වයකි. ඉන්සියුලින් යනු රුධිර සීනි පාලනය කරන හෝමෝනයකි. Hyperglycaemia (අධිමධුරක්තිය/හයිපගලයිසීමියා) හෝ අධික රුධිර සීනි යනු දියවැඩියාව පාලනය නොවීමෙන් ඇති වන පොදු බලපෑම වන අතර කාලයත් සමඟම බොහෝ ශරීර පද්ධතීන්ට, විශේෂයෙන්ම ස්නායු හා රුධිර වාහිනීවලට බරපතල හානි සිදු වේ.

දියවැඩියාව වර්ග 1 රෝගී තත්වයේදී ඉන්සියුලින් නිපදවීම අඩු බැවින් දිනපතා ඉන්සියුලින් කළමණාකරණය කිරීම අවශ්‍ය වේ. වර්තමාන දැනුම මගින් දියවැඩියාව වර්ග 1  වළක්වා ගැනීම අපහසු ලෙස සැළකේ. දියවැඩියාව වර්ග 1 හි දී, රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය කරන හෝමෝනයක් වූ අග්න්‍යාශයේ  බීටා සෛල විනාශ වීම නිසා ශරීරයට ප්‍රමාණවත් ලෙස ඉන්සියුලින් නිපදවීම අපහසු වේ. රුධිරයේ සීනිවල පැතිරීම වකුගඩු ඇතුළු විවිධ රෝගී තත්ව වර්ධනය හා මරණය වැනි බරපතල තත්වයන් ඇති විය හැක. ඒ නිසා රෝගීන් දිනපතා ඉන්සියුලින් ලබා ගත යුතුය.

"ඉන්සියුලින් එන්නත් වැනි වත්මන් චිකිත්සාවන් රෝගයේ රෝග ලක්ෂණවලට පමණක් ප්‍රතිකාර කිරීමක්" යැයි පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානියා වන කැලිෆෝර්නියා සැන් ෆ්රැන්සිස්කෝ විශ්ව විද්‍යාලයේ (UCSF) Dr. Gopika Nair (ආචාර්ය ගෝපිකා නයර්) ප්‍රකාශ කළේය. " අවසානයේ රෝගය නිට්ටාවට සුව කළ හැකි ඖෂධයක් සදහා වූ සාර්ථක මාර්ග කිහිපයක් ඉලක්කර ගැනීම අපේ කාර්යයි."

පර්යේෂකයන් දිගු කාලයක් තිස්සේ අක්‍රිය බීටා සෛල අලුත්වැඩියා කිරීමට හෝ ප්‍රතිස්ථාපනය කිරීමේ ක්‍රම කෙරෙහි අවධානය යොමු කර තිබේ. රෝගීන්ට බද්ධ කළ හැකි ස්ටෙම් සෛල භාවිතා කිරීම මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා හොඳ යොදා ගැනීමක් වුවත්, විද්‍යාගාරය තුලදී බීටා සෛල සම්පුර්ණයෙන්ම පරිණත කර ගැනීමට මෙතෙක් සමත් වි නැති බැවින් විද්‍යාගාරයේදී ඒවා නිර්මාණය කිරීම දුෂ්කර වී ඇත.

ජීවි අග්න්‍යාශය තුල සෛල සංවිධානය කෙරුණු ආකාරය හා වෙන් කරන ආකාරය පිටපත් කිරීමෙන් මෙම බාධාව ජයගැනීමට පර්යේෂණ කණ්ඩායම සමත් විය. බීටා සෛල පොකුරු (islets) වශයෙන් දක්නට ලැබේ. විද්‍යාඥයින් මෙම පොකුරු ලෙස ගොඩ නැගීම, වැදගත් මෙන්ම සලකා බැලිය යුතු ක්‍රියාවලියක් ලෙස හදුනාගෙන එය අනුගමනය කරමින්  අර්ධ වශයෙන් වෙන් වූ අග්න්‍යාශයික සෛල වෙන් කොට විද්‍යාගාර දිසි තුල කුඩා පොසිල පොකුරු (islets) සකස් කර තිබේ. මෙමගින් බීටා සෛලවල පරිණත වීම ආරම්භ වීමක් සිදුවිය. එම පරිණත බීටා සෛල ඉන්සියුලින් නිපදවීමට පමණක් නොව මීට පෙර හොදින් හඳුනාගෙන නොතිබුණු ඇල්ෆා සහ ඩෙල්ටා සෛලද මේ ආකාරයෙන් පරිණත වීම ආශ්චර්යක් වූ බව වාර්තාවේ.

"අපගේ ශරීරවල ඉන්සියුලින් නිපදවන බීටා සෛල වලට පෙනුමෙන් හා ක්‍රියාකාරීත්වයෙන් සමාන ඉන්සියුලින් නිපදවිය හැකි සෛල උත්පාදනය කිරීමට දැන් අපට හැකියාව තිබේ. මෙය දියවැඩියාව රෝගීන් සඳහා බද්ධ කළ හැකි සෛල සෑදීමේ අපගේ ඉලක්කයේ තීරණාත්මක පියවරක් "යැයි  පර්යේෂණයේ ජ්‍යෙෂ්ඨ කතුවරයෙක් වූ  UCSF හි මහාචාර්ය Matthias Hebrok (මතියස් හෙබ්රොක්) පැවසීය.

ඉන්පසු පර්යේෂණ කණ්ඩායම විද්‍යාගාරයේ නිපදවූ බීටා සෛල පොකුරු (islets) මියන්ට බද්ධ කරන ලද අතර ඉන් දින කිහිපයක් ඇතුළත ඒවා මියන්ගේ රුධිරයේ සිනි පාලනයට අදාල වනසේ ඉන්සියුලින් නිපදවන බව සාර්ථකව නිරීක්ෂණය කර තිබේ.

“නිසැකවම, මෙය නිවැරදි දිශාවටම මුල් පියවරක් වන අතර, ඇත්ත වශයෙන්ම ප්‍රයෝගික භාවිතය සදහා මානව පරීක්ෂණ සිදු කිරීම අවශ්‍ය වේ. විද්‍යාගාරයේ සොයාගැනීම් රෝහල වෙත ගෙන ඒම සඳහා අපි ක්‍රම සොයමින් සිටිමු. CRISPR ජාන සංස්කරණ තාක්ෂණය සමඟ සෛල වෙනස් කිරීමේ හැකියාව පිළිබදවද අපේ ක්‍රියාකාරකම් යොමුවී තිබේ. අවසානයේ අපිට වැසි තිබුණු විවිධ ප්‍රතිකාර සදහා ක්‍රියාවලි ගණනාවකින් ඉදිරියට යාමට හැකියාව ලැබුණා. එම හැකියාවන් නිමක් නැති බව පෙනේ " යයි හෙබ්රොක් තවදුරටත් සදහන්  කලේය.

අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ : හර්ෂ ලංකේශ්වර

0 comments:

Post a Comment