December 28, 2018

පොලිතින් පන්නන්න කෙසෙල් කොළ විකුණන්න

Image result for පොලිතින් හෝ කෙසෙල් කොළදෙදහස් හත වසරේ මුල සිට ආහාර ද්‍රව්‍ය වෙනත් දේ දැවටීමට ගන්නා තුනී පොලිතීන් වර්ග තහනම් කිරීමේ නව පනත නීතිගත වන බව මේ වනනවිට මුළු රට ම දනී. මෙම ආරංචිය අසා පරිසර හිතකාමීහු සතුටුවෙති. පරිසරයට කුමක් වුවත් තමන් පුරුදු වූ ඇබ්බැහිකම් අත්හැරීමට අකමැත්තෝ උරණ වෙති. පොලිතීන් තහනම නිසා ශ්‍රීලාංකික ගොවි ජනතාව නගා සිටුවීමට පුළුල්ව විවෘත වන අවකාශයක් පිළිබඳව කරුණු පැහැදිලි කිරීම මෙම ලිපියේ අරමුණ ය.ප්ලාස්ටික් භාවිතය ඇරඹී දැනට අවුරුදු හැට - හැත්තෑවක් ගත වී තිබේ. මෝටර්රථ සහ වෙනත් ආම්පන්නවල ඇතැම් කොටස් ප්ලාස්ටික්වලින් නිපදවීම ලාභදායක බව, කාර්මික අතින් දියුණු අමෙරිකාවේ, මහාබිතාන්‍යයේ සහ ජපානයේ කර්මාන්ත හිමියනට අවබෝධ විය.දෙවැනි ලෝක සංග‍්‍රාමයෙන් පරාජිතව ආර්ථික වශයෙන් ශෝචනීය තත්වයකට ඇද වැටුණු ජපානය, "මාර්ෂල්" ක‍්‍රමයෙන් අත් වාරුව ලබාගෙන , නැගී සිටීමට යෝධ ප‍්‍රයත්නයක යෙදුණි. අමෙරිකාවෙන් නවීන තාක්‍ෂණය ලබාගත් ජපානය, කාර්මික අතින් දියුණු රටවල් සමඟ තරග කිරීමේ අපේක්‍ෂාවෙන් යාන - වාහන, ගුවන් විදුලි යන්ත‍්‍ර, වතුර පොම්ප ඇතුළු පාරිභෝගික මෙවලම් හැකිතාක් අඩු මිලට දීම සඳහා යකඩ, වානේ, තඹ, බෙලෙක්, ඇලුමීනියම් ආදී ලෝහ වර්ග වෙනුවට ෆයිබර් ග්ලාස් සහ ප්ලාස්ටික් යොදා ගැනීමට පටන් ගති. ඊට සමගාමීව ඇසුරුම් සඳහා තුනී ප්ලාස්ටික් භාවිතය ක‍්‍රමයෙන් දියුණු වී පොලිතීන් මල්ල බිහි විය. නවීන තාක්‍ෂණය තවදුරටත් යොදාගෙන, හැකිතාක් තුනී පොලිතීන් උර නිපදවීමට පියවර ගැනුණි. සව් කඩදාසියකටත් වඩා තුනී " ලන්ච් ෂීට්" හඳුන්වා දීමෙන් පසු අවහන්වල ආහාර ගැනීමේ දී ඒවා පිඟන්වලට එලීමටත්, ආහාර ගැනීමෙන් පසුව ඉතිරි වූ කොටස් සමඟ ගුලිකොට ඉවත ලෑමටත් නව භාවිතයක් ඇති වී තිබේ.අවන්හල්වල සේවකයෝ ඉඳුල් පිඟන් සේදීමේ අප‍්‍රසන්න කාර්යයෙන් මිදීමට " ලන්ච් ෂීට්" භාවිත කරති. ආහාර ගැනීමට පෙරත් පසුවත් පිඟන් කෝප්ප ආදිය සේදීමට අවම ලෙස ජලය අවශ්‍ය වීම ද වාසියකි.
නමුත් පොලිතීන් භාවිතයෙන් සිදුවන පාරිසරික හානිය විශාල ය. අපද්‍රව්‍ය බැහැරලන තැන්වල ගැවසී "ලන්ච් ෂීට්" සහ "සිලි සිලි" බෑග් සමඟ දැවටුණු ආහාර අනුභවයට ගොස්, අලි, ඇත්, ගෝන, මුව, ගව ආදී සතුන් මරණයට පත් වීම ද, ඛේදජනක ය.ආහාර බඳුන්, පිඟන්, කෝප්ප ආදිය සේදීමට ජලය භාවිතා නොකිරීම නීති මගින් තහනම් කළ යුතු වැරදි පුරුද්දකි. පොලිතීන් තහනම සමඟ ලන්ච්ෂීට් එළීම ද ඉබේ ම අහෝසි වෙයි .ඊට සමගාමී ව ජලය භාවිතය නැවත ද ඉහළ යා හැකි ය. " ලන්ච්ෂීට්" හඳුන්වා දීමට පෙර ශතවර්ෂාධික කාලයක් හින්දු භක්තික හෝටල් සහ අවන්හල් හිමියන් විසින් කෙසෙල් කොළය භාවිත කරන ලදී. පිඟාන නැතිව කෙසෙල් කොළයට පමණක් කෑම බෙදන අවන්හල් ලංකාවේත්, ඉන්දියාවේත්, තවමත් දැකිය හැකි ය. හින්දු භක්තික නොවන අය ද කෙසෙල් කොළේ ආහාර ගැනීමට රුච් කරති. සමහර උසස් පන්නයේ හෝටල්වල විදේශික සංචාරකයිනටත් කෙසෙල් හෝ නෙළුම් කොළවල ආහාර ගැනීමට සලස්වන බව ප‍්‍රකට ය. ඔවුනට මෙය අමතක නොවන වටිනා අත්දැකීමකි.ලතින් අමෙරිකානු රටවල් සමහරක පැවති ආණ්ඩු " කෙසෙල් සමූහ ආණ්ඩු"   යන උපහාසාත්මක නාමයෙන් හදුන්වනු ලැබිණි. මහා පරිමාණ ලෙස කෙසෙල් වගා කිරීමට මෙම රටවල ජනයා පුරුදුව සිටිති. හින්දු භක්තිකයන් පමණක් නොව , සිංහල ජනතාව ද පාරම්පරිකව ආහාර සකස් කර ගැනීමේ දීත්, පන්සලට, කෙතට, මගුලට, අවමගුලට, නෑදෑ ගමන් යාමට ආහාර පෙට්ටිවල කුරිණිවල ඇසිරීමේදීත් මඳක් ගින්නට අල්ලා තවන ලද කෙසෙල් කොළ භාවිත  කළහ. කැවුම් බැදීමට පෙර සහල් පිටි, පැණි හා පදමට ලුණු මිශ‍්‍රණය තැවූ කෙසෙල් කොළවල හෝ ගන්සූූරිය, කැන්ද ආදී වෙනත් කොළවල වඩති. (තුනී කරති) කුරක්කන් හැලප සඳහා පිටි මිශ‍්‍රණය ද කැන්ද කොළේ තුනීකොට වණ්ඩුවේ තම්බා ගැනීම සිරිතකි." බත් ගෙඩිය " හෙවත් පුද්ගලයන් එක්කෙනෙකුට හෝ දෙතුන් දෙනෙකුට පාර්සලයක් සකස් කිරීමේ දී පුවක් මලක් ඉහිරුණු පසු ගැලවී වැටෙන පුවක් කොළය පිට පොත්ත ගලවා සකස් කොට භාවිතා කිරීමට ගැමියෝ පුරුදු වී සිටියහ.ළිංවලින් වතුර බෑමට ද පූවක් කොළයෙන් සකස් කරන ලද ගොට්ට මෑතක් වන තුරු ම පිටිසර ප‍්‍රදේශවලට භාවිතා විය.
මෙම ලියුම්කරු විසින් ගැමි ජනතාව ආහාර සකස් කිරීමේ දී, පිටතට ගෙන යෑමට බඳුන්වල ඇසිරීමේ දී හා භුක්ති විදීමේදී, භාවිතයට ගැනුණු කොළ වර්ග හා වෙනත් ගස්වැල් ආශි‍්‍රත ද්‍රව්‍ය, මධ්‍යම පළාතට සාපේක්‍ෂකව සඳහන් කරන ලදී. සෙසු ප‍්‍රදේශවල මේ සඳහා වෙනත් ද්‍රව්‍ය භාවිත කරන්නට ඇත.ජාතක පොතේ එන මහිලාමුඛ ජාතකය මෙහි දී උදාහරණයට ගැනීම උක්ත කාරණය පැහැදිලි කිරීමට සුදුසු යයි සිතමි. අතීතයේ දඹදිව විසූ රජෙකු විසින් රාජකීය ගමන්වලට යොදාගත් මඟුල් ඇතෙක් හදිසියේ නොණ්ඩි ගසන්නට විය. ඊට හේතු පිරික්සීමේ දී මෑතක දී ඇතු බැලීමට නිල කරන ලද ඇත් ගොව්වා නොණ්ඩි ගසන නිසා ඇතා ද ඔහු අනුගමනය කරන බව අනාවරණය විය.සාමාන්‍ය පාරිභෝගිකයා ද උසස් පන්තියේ අයගේ ඇවතුම් පැවතුම් අනුගමනය කිරීමට කැමැත්තක් දක්වයි. ශතවර්ෂාධික කාලයක් නෙළුම් කොළ, කෙසෙල් කොළ, පුවක් කොළ සහ කැන්ද කොළ ආදිය භාවිතා කළ සිංහල ජනතාව උසස් පන්තිය අනුගමනය කරමින් මැටි වළෙඳන් පිඟන් – මැටි භාජනවලටත්, ඇළුමීනියම්, සුදුයකඩ සහ ප්ලාස්ටික් භාජනවලටත් මාරු වී මේ වන විට කෑම ගැනීම, අවසන් වූ වහා ම ගුලිකොට ඉවත දමන " ලන්ච් ෂීට්" එක දක්වා පැමිණ ඇත.ප්ලාස්ටික් සහ ඇලුමිනියම් භාජන සෞඛ්‍යයට අහිතකර බව විද්‍යානුකූලව අවබෝධවීම නිසා ඉහළ පන්තියට සේවය කරන හෝටල් පිසූ ආහාර මැටි භාජනවලට බහා පාරිභෝගිකයින්ට ඉදිරිපත් කිරීමේ නව සම්ප‍්‍රදායක් ආරම්භ විය. කෑම පාර්සල් එතීමේ දී කෙසෙල් කොළය භාවිතා කිරීමට ද උසස් පන්තියේ හෝටල නොබෝදා පියවර ගැනීම සතුටට කාරණයකි. ක‍්‍රමයෙන් දේශීය ඇවතුම් පැවතුම් හා මෙවලම් ජනතාව අතර ජනපි‍්‍රයවීමේ සුබවාදී ප‍්‍රවණතාවයක් ද දක්නට ඇත.තුනී පොලිතීන් තහනමත් සමඟම කෙසෙල් කොළයටද හොඳ වෙළඳපොලක් ඇති වේ. කැන්ද, නෙළුම්, ගන්සූූරිය සහ පුවක් ආදී කොළවලට ද වාණිජමය අගයක් ලබා දීමට රජයේ සහ රාජ්‍ය නොවන සංවිධාන විසින් කටයුතු යෙදිය යුතු ය. පාසලට සහ සේවා ස්ථානයට දිවා ආහාරය ඔතාගන යාමට පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ද, විවිධ වෘත්තීන් හි යෙදී සිටින අය ද පුරුදු වී සිටිති. ප්ලාස්ටික් අසුරනයක ආහාර ගෙන යාම වෙනුවට සෞඛ්‍යයට හිතකර සුදු යකඩ අසුරනයක ආහාර ගෙනයාම වඩා යෝග්‍යය. විවිධ ව්‍යාංජන වර්ග "ලන්ච් ෂීට්" වල ඔතා එකී භාජනයෙ හි අඩුක්කර ගැනීමට තිබූූ පුරුද්ද වෙනුවට කෙසෙල් හෝ වෙනත් ශාඛමය දැවටුමක ඔතා ගැනීම සෞඛ්‍යයට හිතකර ය. පොලිතීන් තහනම සමඟ ශාකම ය ආදේශකයකට ජනතාව පුරුදුවනු ඇත.පරිසර අමාත්‍යාංශය පොලිතීන් තහනම කි‍්‍රයාත්මක කරන අතරතුරේ කෘෂිකර්ම සහ කුඩාකාර්මාන්ත දෙපාර්තමේන්තු කෙසෙල්කොළ ආදී ශාඛමය දැවටුම් ද්‍රව්‍ය මහා පරිමාණයෙන් වගා කරවීමටත්, භාවිතයට සුදුසු පරිදි සකස් කිරීමටත් පියවර ගත යුතු ය. "චූල්ල සෙට්ටි " ජාතකයේ කුණු මීයෙකුගෙන් දියුණු ව ආරම්භ කොට සිටු තනතුරු ලැබූ ප‍්‍රඥාවත් දිරිය තරුණයකු පිළිබඳ සඳහන් වෙයි. පොලිතීන් තහනම ද ස්වයංරැකියා මගින් දියුණුව අපේක්‍ෂා කරන තරුණ තරුණියනට සහ අලුත් ව්‍යාපාරිකයන්ට දියුණුවේ රන්දොර විවෘත කරන රජතමය යතුරකි.


උපුටා ගැනීම අන්තර්ජාලය ඇසුරිනි.
විද්‍යා හා තාක්ෂණ නිළධාරි- අම්බලන්ගොඩ

0 comments:

Post a Comment