October 30, 2017

ආතතියෙන් අත්මිදීම

"ආතතිය" (Stress) වත්මන් සමාජය තුළ සුලබ ව ඇසීමට ලැබෙන තේමාවක්‌ ලෙස දැක්‌විය හැකි ය. දැඩි කාර්යබහුලත්වය හා අසීමිත අවිවේකී බව ආතතිය ඇති කිරීමෙහි ලා දායක වන ප්‍රධාන සාධක වේ. සරල අර්ථයෙන් ගත් කල ආතතිය (Stress) යනු යම් සංසිද්ධියක්‌ හේතු කොටගෙන සිත තුළ ඇති වන අසීමිත පීඩනයයි. මෙකී මානසික ආතතිය ඇතැම් කායික රෝග ඇති කිරීමෙහි ලා සෘජු දායකත්වයක්‌ ලබා දෙන බව තරයේ සැලකිල්ලට ගත යුතු ය. ඒ අනුව අධික රුධිර පීඩනය (High blood pressure), රුධිරගත සීනි (Blood suger) කොලෙස්‌ටරෝල් (Cholesterol) ආදී අවදානම් සහිත සාධක සියල්ල ම ආතතිය සමඟ ඉතා සමීප ව බැඳී ඇති බව වෛද්‍ය විද්‍යාව පැහැදිලි ව සනාථ කොට ඇත. තව ද ආතතිය ක්‍රමයෙන් වර්ධනය වීමත් සමඟ අධික කලහකාරී බව (Aggression) ඇති වීමේ අවකාශය ඉතා ඉහළ බැවින් එය යම් යම් මානසික ව්‍යාකූලතා ඇති කිරීමෙහි ලා බලපානු ඇත. හුදෙක්‌ ඉන් සිදු වන්නේ මිනිසා ගේ සමාජ ජීවිතය තුළ විවිධ ගැටලු පැන නැඟීමයි. 




ඇතැම් පුද්ගලයන් මානසික ආතතියෙන් මිදීම උදෙසා මත්පැන් හා දුම්වැටි පානය, අධික ලෙස ආහාර ගැනීම, හුදෙකලා වීමට උත්සාහ දැරීම ආදියට පෙලඹීම පොදුවේ දක්‌නට ඇත. එහෙත් එමඟින් සිදු වන්නේ පවතින ගැටලු ක්‍රමයෙන් වර්ධනය වීම මිස අවම වීම නො වේ. ආතතිය පිළිබඳව විවිධ සමාජ විග්‍රහයන් පැවතිය ද, ඉන් මිදීමට අවශ්‍ය මඟපෙන්වීම සෑහීමකට පත් විය හැකි අයුරින් සමාජගත වී නොමැති බව ද සඳහන් කළ යුතු ව ඇත.

ආතතියෙන් අත්මිදීමේ මාර්ග සෙවීමට ප්‍රථමයෙන්, ආතතිය ඇති වීම කෙරෙහි බලපාන සාධක පිළිබඳව නිසි අවබෝධයක්‌ තිබීම ඉතා වැදගත් වේ. පුද්ගලයකු මානසික ආතතියට ලක්‌ වන අවස්‌ථා විවිධාකාර වේ. පොදුවේ ගත් කල පුද්ගලයන් තුළ පවතින අධික තරගකාරී බව, විවිධ වගකීම් හමුවේ ඇති වන කලබලකාරී බව, දෛනිකව නිම කිරීමට ඇති කාර්යයන් අධික වීම හා විවිධ පීඩාවන්ට ලක්‌ වෙමින් රැකියාවල නිරත වීමට සිදු වීම ආදිය ආතතිය ඇති කිරීමෙහි ලා සෘජු ව ම දායක වන සාධක වේ. ඒ අනුව පුද්ගල භේදයකින් තොර ව, පවුල, පාසල, රැකියා ස්‌ථානය ආදී සියලු සමාජ යන් තුළ දී විවිධාකාරයෙන් ආතතීන්ට ගොදුරු වීම සිදු වන බව පැහැදිලි වේ.



බොහෝ දෙනා නිතර සඳහන් කරන හිසේ කැක්‌කුම, ඇඟපතේ වේදනාව, අමතක වීම, අධික කෝපකාරී බව, පපුවේ කැක්‌කුම ආදිය ආතතිය මුල් කරගෙන ඇති වන අපහසුතා ලෙස දැක්‌විය හැකි ය. ප්‍රාථමික ව මේ ලක්‌ෂණ මතු වූව ද පසුකාලීන ව හෘදයාබාධ මානසික රෝග ශාරීරික ක්‍රියාකාරීත්වය අඩපණ වීම (Paralise) ආදී බරපතළ රෝග තත්ත්වයන් ඇති කරලීමේ විශාල අවදානමක්‌ ආතතිය සමග බැඳී ඇත. මෙකී අවදානම් සහගත තත්ත්වයන් හේතුකොටගෙන ආතති කළමනාකරණය (Stress management) යන සංකල්පය සමාජයට මුසු වී ඇත. කෙසේ වෙතත්, ආතතියට ලක්‌ වීම ඉතා පහසු වූව ද, ඉන් මිඳීම ඉතා අපහසු බව ද කිව යුතු ය. 



ආතතියෙන් අත්මිදීම සඳහා උපයෝගී කරගත හැකි විවිධ මාධ්‍යයන් සමාජයේ දක්‌නට ඇති අතර, මනෝ උපදේශනය ඉන් ප්‍රධාන තැනක්‌ ගනියි. සංගීතයට ඇහුම්කන් දීමල යම් කෙනකු සමග කතා කිරීම ආදිය මඟින් ආතතිය යම්තාක්‌ දුරකට පාලනය කරගත හැකි බවට සමාජයේ පොදු මතයක්‌ පැවතිය ද, ඒවා විධිමත් ක්‍රමවේදයන් ලෙස අර්ථ දැක්‌විය නොහැකි ය. ආතතිය පාලනය කිරීම සඳහා පුහුණු මනෝ උපදේශකවරයකු ගේ මාර්ගෝපදේශනය යටතේ මානසික අභ්‍යාසවල නිරත වීම, යෝග භාවනාවල යෙදීම, ඉහිල් වීමේ අභ්‍යාස, සැහැල්ලු වීමේ අභ්‍යාස ආදිය ඉතා යෝග්‍ය වේ. මන්ද මෙකී මනෝ අභ්‍යාසවල නිරත වීම ඔස්‌සේ ස්‌වකීය මානසික ශක්‌තීන් හදුනා ගැනීමටත්, ඒවා ප්‍රයෝජනයට ගෙන තම දිවිය හැඩ ගස්‌වා ගැනීමටත් ඉතා පහසු වන බැවිනි.

වත්මන් සමාජය තුළ පවතින අධික කාර්යබහුල පුද්ගල ජීවන රටා හේතු කොට ගෙන මිනිසුන් බහුතරයක්‌ මානසික ආතතියට ඉතා ඉක්‌මනින් ගොදුරු වන බව පැහැදිලි ව දක්‌නට ලැබේ. පුද්ගල ජීවිතයේ සියලු ක්‍රියාදාමයන් සඳහා මනසේ නිරවුල්භාවය අනිවාර්ය වන බැවින් ආතතිය වර්ධනය වීම වළක්‌වාගත යුතු වන අතර, ඒ සඳහා මනෝ උපදේශකවරයකු ගේ සහාය ලබාගැනීම ඉතා යෝග්‍ය වේ.
සකස්කළේ:
විද්‍යා හා තාක්ෂණ නිලධාරි,  රත්තොට  
උපුටා ගැනීම : අන්තර්ජාලය ඇසුරුණි.

0 comments:

Post a Comment