October 20, 2017

ලොව විශාලතම බැටරිය

උත්පාදනය කරන විදුලියෙන් ඉතා සීමිත විදුලි ප්‍රමාණයක් පමණක් පවතින සීමිත ක්‍රම මගින් ගබඩා කළ හැකි බැවින් සාමාන්‍යයෙන් උත්පාදනය කරන විදුලිය සම්පුර්ණයෙන්ම පාහේ එම අවස්ථාවේදීම භාවිතා කළයුතු වේ. මෙලෙස විදුලිය ගබඩා කළ හැකි එක් සීමිත ක්‍රමයක් ලෙස බැටරිය (කෝෂ) සැලකිය හැකිය.

ලොව විශාලතම බැටරිය දකුණු ඔස්ට්‍රේලියාවේදී නිපදවිය හැකි බවත් එය දැනටමත් අඩකින් සම්පුර්ණ කර ඇති බවත් සුප්‍රසිද්ධ Tesla ප්‍රධාන විධායක Elon Musk පවසයි. එම විදුලි බැටරිය (කෝෂය) ප්‍රධාන විදුලි ජාලයට සම්බන්ධ කිරීම සදහා Electranet නම් විදුලි සම්ප්‍රේෂණ සමාගම සමග ගිවිසුමක් Musk පසුගියදා Jamestown හිදී අත්සන් කර තිබේ.

පසුගිය වසරේදී දකුණු ඔස්ට්‍රේලියාවට විදුලිය හිඟයක් ඇතිවූ බැවින් නව තාක්ෂණය ඇසුරෙන් මෙම ලොව විශාලතම බැටරිය මාස 02 ක කාලයක් තුල නිමකර ප්‍රධාන විදුලි ජාලය හා සම්බන්ධ කරන මෙන් ඕස්ට්‍රේලියානු රජය දින නියම කරන ලද බව වාර්තා වේ.

නව බැටරිය ලොව මෙතෙක් නිපදවූ විශාලතම Lithium-Ion (ලිතියම්-අයන්) බැටරිය වනු ඇති අතර එමගින් මෙගාවොට් පැය 129 ක විදුලිබල ශක්තියක් නිපද වේ. ප්‍රංශයේ Neoen සමාගමට අයත් Hornside හි පිහිටි මෙගාවොට් 100 ක ධාරිතාවයකින් යුත් සුළං බලශක්ති ගොවිපළට ආසන්නව නව බැටරිය නිපදවයි. එවිට එම වායු ට’බයිමය (තලබමරය/Turbine) පැයකට මදක් වැඩි කාලයකදී නව බැටරිය සම්පුර්ණයෙන් ආරෝපණය කිරීමට සමත් වේ. ආරෝපිත බැටරිය නිවාස 30,000 ක විදුලි අවශ්‍යතාවය සම්පුර්ණ කිරීම සදහාද යොදා ගැනේ.

වර්ග කිලෝමීටර 1,890 (වර්ග සැතපුම් 730) ක් පුරා පැතිරුණු සුර්ය පැනල මගින් මුළු ඔස්ට්‍රේලියාවටම පුනර්ජනන බලශක්තිය ලබා දිය හැකි බවත් එම පුනර්ජනන බලශක්ති ජාලය සදහා වර්ග කිලෝමීටර 7 ක බැටරියක් භාවිතා කළ යුතු බවත් Elon Musk පවසයි. සුර්ය නගර නිර්මාණයෙන් ඔහුට පැනල සහ බැටරි දෙවර්ගයම නිපදවීමට හැකි වේ. ඇමෙරිකානු ඩොලර් මිලියන 39 ක් ලෙස ඇස්තමේන්තු ගත කර ඇති නව බැටරිය  සදහා දකුණු ඕස්ට්‍රේලියානු රජය මුල්‍ය දායකත්වයේ කොටස්කරුවෙකු වේ.
 
අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: ඩි.හර්ෂ ලංකේශ්වර

https://youtu.be/HCzcqt5pQps?t=25

0 comments:

Post a Comment