February 14, 2017

පිරිසිදු ජල හිගයට ලාභදායි සුර්ය බලශක්ති ජල පෙරණය

ලොව මිලියන ගණන් මිනිසුන් මුහුණ දෙන ශෝචනීය ගැටළුවක් ලෙස පිරිසිදු ජල හිගතාවය සදහන් කළ හැකිය. ශ්‍රී ලාංකිකයන්ටද මෙම ගැටලුව පිළිබද බොහෝ කටුක අත්දැකීම් තිබේ. ලොව පුරා පවතින මෙම ගැටලුවට යම් ප්‍රමාණයක සහනයක් ලෙස ලවණ මිශ්‍ර හා අපිරිසිදු ජලය පිරිසිදු කිරීමට හැකි ඉතා අඩු වියදම් ජල පෙරණයක් නිපදවීමට පර්යේෂක කණ්ඩායමක් සමත් වී ඇතැයි වාර්තා වේ.

වානිජමය නිෂ්පාදනයන්ට වඩා 2.4 ගුණයක වැඩි වේගයකින් ජලය පිරිසිදු කළ හැකි ලාභදායි ජංගම උපකරණයක් මගින් පිරිසිදු ජලය නිපදවීමේ කාර්යක්ෂමතාව පර්යේෂකයන් විසින් වර්ධනය කර තිබේ. ඔවුන් විසින් සාමාන්‍ය සුර්ය ස්ථාලිය වර්ධනය කිරීම සහ මෙම පර්යේෂණ වල ප්‍රතිඵල Global Challenges (ලෝක ව්‍යාප්ත අභියෝග) සගරාවේ පළ කර තිබේ.

වාෂ්පීකරණ ක්‍රියාවලියේදී සුර්ය බල ශක්තිය උපරිමව භාවිතා කළ හැකි ක්‍රමයක් නිර්මාණය කළ බවත් ඒ සදහා ඉතා අඩු මිල අමුද්‍රව්‍ය යොදා ගැනීමට තමන් සමත් වූ බවත් පර්යේෂණ කණ්ඩායමේ නියමු  Qiaoqiang Gan ප්‍රකාශ කරයි. ඉන්ජිනේරු ශිල්පය සහ ව්‍ය්වාහරික විද්‍යාව සදහා වූ Bufffalo School නම් විශ්ව විද්‍යාලයේ විදුලි ඉන්ජිනේරු මහාචාර්යවරයා වන Gan වාෂ්පීකරණ ක්‍රියාවලියේදී උෂ්ණත්ව හානි වන ප්‍රමාණය අවම කර ගැනීමටද තම කණ්ඩායම සමත් වූ බවද සදහන් කරයි.

සුර්යාගේ රශ්මිය උපයෝගී කරගෙන ජලය වාෂ්පීකරණය මගින් ජලයේ ඇති බැක්ටීරියා, ලවණ සහ වෙනත් අපද්‍රව්‍ය ඉවත් කිරීම මෙම සුර්ය වාෂ්පීකරණ උත්පාදක උපකරණය මගින් සිදු කරයි. ඉන්පසුව ජල වාෂ්ප ඝනීභවනය කර පිරිසිදු ජලය ලබා දේ.

  
ජලය උරා ගැනීමට සහ හිරු එලිය උපරිම වශයෙන් උරා ගැනීමට හැකි ලෙස කාබන් කළු වර්ණයෙන් වර්ණ ගැන්වූ කඩදාසිය මෙම ක්‍රමය සදහා යොදා ගත් සුවිශේෂී අංගය වේ. කුඩා ශීතකරණයක් තරම් විශාල වූ උපකරණය ජලය මත පාවෙමින් මතුපිට ජලය පමණක් පිරිපහදුව සදහා භාවිතා කරයි. එනිසා එය ඕනෑම ජල ප්‍රභවයකදී භාවිතා කළ හැකි අතර දිනකදී වතුර ලීටර 3-10 අතර ප්‍රමාණයක පිරිසිදු ජලය නිපදවයි. වර්තමාන මිල ගණන් අනුව උපකරණයේ වර්ග මීටරයක මිල $ 1.60 ක් පමණක් වන නමුත් විශාල ප්‍රමාණයෙන් ජලය පිරිසිදු කරන්නේ නම් එම මිලද තවදුරටත් අඩු කළ හැකි බව සදහන් වේ.

පිරිසිදු ජල හිගයෙන් පිඩා විදින මිලියන 700 ක පමණ ජනගහනය පිළිබද සලකා බැලීමේදී මෙවැනි පිරිවැය-ඵලදායී සාර්ථක නිර්මාණ වල අවශ්‍යතාව බොහෝ සේ වැදගත් වේ.


අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙණි. 

සකස්කළේ : හර්ෂ ලංකේශ්වර , විද්‍යා හා තාක්ෂණ නිලධාරි

0 comments:

Post a Comment