November 24, 2015

රට වටකර තිබෙන සාගරයේ ශක්තිය හදුනා ගනිමු

ඈත අතීතයේ සිටම මිනිසා විවිධ බලශක්තීන් පිළිබදව පරීක්ෂණ නොකඩවාම සිදුකරන ලදී. සාගර ශක්තිය පිළිබදවද අවධානය යොමුව ඇත්තේ අද ඊයේ සිට නොවේ. සාගරය යනු  අනාගතයේදී අපට අවශ්‍ය ශක්තිය ලබාගත හැකි ප්‍රභලම සම්පතකි.  දැනට සාගර ශක්ති බලාගාර ඇත්තේ ඉතා සුලු වශයෙන් හෝ පරීක්ෂණ මට්ටමේය.  පෘථිවියෙන් 70% පමණ වසාගෙන සිටින සාගරය විශාලතම සුර්ය කිරණ ග්‍රාහක ලෙස ක්‍රියාකරයි. නමුත් මෙම සාගර ශක්තිය අප ලබාගන්නේ කෙසේද? මේ පිළිබදව යම් දැනුම් සම්භාරයක් ලබා ගැනීමට උත්සාහ කරමු. සාගරය මගින් ශක්තිය උකහාගත හැකි ප්‍රධාන ආකාර තුනකි. ඒවා නම්,
1.    සාගර තරංග ශක්තිය
2.    උදම් (වඩදිය බාදිය) ශක්තිය
3.    සාගර තාප ශක්තිය
සාගර තරංග ශක්තිය
සාගර ජලයේ තරංගමය සොබාවය නිසා එහි චාලක ශක්තිය ගබඩා වී ඇත.  මෙම ශක්තිය ටබයිනය කරකැවීමට යොදාගත හැක. 

රූපයේ දැක්වෙන ආකාරයට තරංගය කුටීරය තුලට ගලන විට එහි ඇති වාතය ඉහලට තල්ලු වී යයි.  මේ වායු ධාරා වලින් ට'බයිනය භ්‍රමණය කර ජනකය කැරකැවීමට ශක්තිය ලබාදෙයි.  තරංගය පහළට යනවිට වාතය ට'බයිනයේ සිට නැවත, ජල කුටීරයට වැසී ඇති දොරවල් ඇරගෙන පහලට ගමන් කරයි.  මෙය එක් ආකාරයක තරංග ශක්ති පද්ධතියකි. 
මීට අමතරව තරංගය ඉහල පහල යාම භාවිතා කර සිලින්ඩරයක ඇති පිස්ටනයක් ඉහල පහල කරවීම මගින් විදුලිය ජනනය කල හැක. නමුත් තරංග ශක්ති පද්ධති මගින් ජනනය කල හැකි විදුලි ශක්තිය කුඩාය. එනමුත් මෙම බලයට කුඩා ප්‍රදීපාගාරයක් ආලෝකමත් කිරීමට හැකියාව ඇත.
වෙරළෙහි බිඳීයන සාගර තරංග වල ගණනය කළ හැකි ශක්තිය 2-3 මිලියන් මෙගාවොට් පමණවේ. සමහර ස්ථාන වල තරංග ශක්ති ඝනත්වයේ සාමාන්‍ය, සැතපුමකට මෙගාවොට් 65ක් පමණවේ.
උදම් (වඩදිය බාදිය) ශක්තිය Tidal  Energy


උදම් ඇතිවීමේදී වෙරළට ගලා එන ජලය වේල්ලක් ඉදිකර ජලාශයක රඳවා ගත හැක.  නැවත උදම අඩු වී බාදිය ඇතිවිට එක්රැස් කරගත් ජලය ජල විදුලි බලාගාරයක ආකාරයට භාවිතයට ගත හැක.  නමුත් මේ සඳහා ඉතා විශාල ප්‍රමාණයේ උදම් ඇතිවිය යුතු අතර අවම වශයෙන් වඩදිය බාදිය අතර පරතරය අඩි 16ක් පමණ විය යුතුය.  මෙවන් ආකාරයක බලාගාරයක් ප්‍රංශයේ ඇති අතර එමගින් මෙගා වොට් 240ක පමණ විදුලිය සපයයි.

 සාගර තාප ශක්තිය
මෙහිදී අදහස් වන්නේ සාගරයේ ඇති උෂ්ණත්ව වෙනස් කිරීමයි.  මේ සඳහා උෂ්ණත්ව අන්තරය අවම වශයෙන් 38ºf පමණ විය යුතු බව සොයාගෙන ඇත.  මේ පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කරගෙන යනු ලබන අතර ප්‍රදර්ශනාත්මක මට්ටමින් ජපානය වැනි රටවල දැනට භාවිතා කෙරේ.
සාගරයෙහි ගැබ් වී ඇති තාප ශක්තිය අතිමහත්ය.  දිනකට සාගරය මගින් අවශෝෂණය කරගනු ලබන සුර්ය ශක්තිය තෙල් බැරල් බිලියන 250ක අඩංගු තාප ශක්තියට සමානවේ.  මෙම ශක්තිය විද්‍යුත් ශක්තියට පරිවර්ථනය කිරීමටත් එලෙසම මෙහිදී ජලයෙහි ලවණත්වය ඉවත් කිරීමටත් අපට හැකි වේවිද?

සැකසුම - විද්‍යා හා තාක්ෂණ නිලධාරී මහවැව
මූලාශ්‍ර - http://vidunanakirana.vidumanpetha.com/science%20lipi/Ocean%20Energy.html

0 comments:

Post a Comment