November 26, 2015

අඹ

ඹ ඝර්ම කාලාපීය පලතුරකි. පලතුරු ලො‍වේ රජු අඹය.අඹ, Mangifera ගෝත්‍රයට අයත් වන්නා වූ Anacardiaceae සපුෂ්ප ශාක කුලයට අයත් ශකයකි. උද්භිද විද්‍යාත්මකව Mangifera indica  ලෙස හැදින්වේ. පිලිපීනයේ ජාතික සංකේතය ද අඹ වෙයි. හින්දු වේදයේ අඹ "food of the gods" ලෙස හැඳින්වෙන අතර හින්දු මංගලෝත්සව හා ආගමික උත්සව අවස්ථා වලදී චාරිත්‍රයක් වශයෙන් අඹ කොළ ශාකමය සැරසිලි ( floral decorations ) සඳහා භාවිතා වේ.
අඹ ගස් මීටර් 35 - 40 උසක් දක්වා වැඩෙන මීටර් 10 ක් පමණ වූ අරයක් ඇති කිරුළකින් යුත් විශාල ගස්ය පත්‍ර සෙ.මි. 15 - 35 ක් දිග සෙ.මි. 6 - 16 ක් පළලැති,සරල , එකාන්තරික, සදාහරිත ඒවා වෙයි. ඵල ලපටි අවස්ථාවේදී තැඹිලි-කහ පැහැතිය. පැසිමේදී සිලුටු රතු පැහැයේ සිට තද කොළ පැහැය දක්වා ශීඝ්‍රයෙන් වෙනස් වේ. පුෂ්ප සෙ.මි. 10 - 40 ක් දිගු අග්‍රස්ත  සංයුක්ත ඒකාක්ෂකකහටගනියි. සෑම සුදු පැහැති කුඩා පුෂ්පයකම මි.මි. 5-10 ක් දිගැති දල/පෙති පහක් සෞම්‍ය මිහිරි ගන්ධයක් පවතියි.
අඹ ඵලය අෂ්ටිලයකි. මේරූ විට ගසේ සිට පහළට දිගු නටුවකින් එල්ලී පවතියි. සෙ.මි. 10 - 25 ක් දිගු සෙ.මි. 7 - 12 ක විෂ්කම්භයකින් යුක්ත වේ. ඉදුණු ඵලය කහ,තැඹිලි හා රතු යන විවිධ වර්ණ වලින් යුක්තය. සුර්යාලෝකය පතනය වන මුහුණත වඩාත් රතු පහන් යුක්ත අතර අඳුරේ පවතින මුහුණත කහ පැහැති වෙයි.
ඉදුණු අඹ ඵලයෙහි මාංසල කොටසේ සීනි 15% ක්ද 1%දක්වා ප්‍රෝටීන්  විටමින් A,B සහ C සැලකිය යුතු ප්‍රමාණයක් ද පවතියි.මෙම පලතුර මිහිරි රසයක් ඇත. ඇතැම් ප්‍රභේද අම්ලමය ඇඹුල් රසයකින් යුක්තය.මාංශල කොටසෙහි වයනය ප්‍රභේදයෙන් ප්‍රභේදයට පැහැදිලිව වෙනස් වෙයි. අඹ චට්නි සැදිමේදි බහුලව යොදා ගැනෙයි.චට්නි, බටහිර රටවල පැණිරසැති ලෙසද ඉන්දියානු උප මහාද්වීපයෙහි රටවල දෙහි හා මිරිස් යොදා තියුණු රසයකින් යුක්තවද සාදනු ලබන ආහාරයකි.ඉන්දියාවෙහි පැසුණු අඹ සිහින් ස්ථර වලට කපා , වියළා , නමා නැවතත් කපා , පිය හැකි තීරු ලෙස විකුණනු ලැබේ.කොලොම්බියාවේ විකුණනු ලබන වියලි පේර තීරු වලට මේවා සමාන වෙයි. නොමේරු අඹ ලුණු සමඟ ආහාරයට ගැනීමට බොහෝ දෙනා ප්‍රිය කරයි. මේවා ලෙමන් වලටත් වඩා අතිශය ඇඹුල් රසැතිය. උෂ්ණාධික ලෙස ආහාර පිළියෙළ කරනා ප්‍රදේශ වල අමු අඹ ලුණු හා මිරිස් සමඟ ආහාරයට ගනී. ඇමෙරිකානු සමාජයේ බොහෝ දෙනා අඹ ලෙලි ආහාරයට ගැනීම ප්‍රිය කරයි. මක්නිසාද යත් එහි කැල්සියම් හා විටමින් B6 යහමින් අඩංගු වෙයි.
ඖෂධයක් වශයෙන් ප‍්‍රයෝජනයට ගන්නා අතර ආහාර දිරවීමට මහත් සේවයක් ඉටුකරයි. නොඉදුණු අඹවලින් චට්නි සාදන අතර ඉදුණු අඹවලින් බීම වර්‍ග නිෂ්පාදනය කරනු ලබයි. අඹ ව්‍යාංජනය ඉතා රසවත් වේ. අඹ ඇට මදයේ මාංශජනක ධාතු 5.6% ඇති බව නයිජීරියාවේ කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානය මගින් සොයාගෙන ඇත. තවද මදයෙන් ලබාගන්නා තෙල්වලින් සබන් සෑදීම සඳහාත් තෙල් ලබාගැනීමෙන් පසු යුෂවලින් සත්ව ආහාර නිෂ්පානය කරනු ලබයි.
   ඉදුනු අඹ ‍වල මෙන්ම, නොඉදුනු අඹවලද නොයෙක් ඖෂධීය ගුණ පවතී. පරිසර උෂ්ණත්වය වැඩිවීම නිසා සිරුරේ හට ගන්නා නොයෙක් ආබාධ වලකා ගැනීම සඳහා අමු අඹ වලින් සාදාගන්නා පානයක් භාවිතා වේ. මෙයට අමතරව, අමාශයේ ආබාධ සඳහාද පිත ශ්‍රාවය කිරීම උත්තේජනය කිරීම සඳහා ද රුධිරය ආශ්‍රීත නොයෙක් ආබාධයන් වලකා ගැනීම පිණිසද අමු අඹ යොදා ගැනේ.ඉදුනු අඹ වල ඇති ඖෂධීය ගුණ රාශියකි. රාත්‍රි අන්ධභාවය වලක්වා ගැනීම සඳහාද, සමෙහි නිරෝගි බව ආරක්ෂා කර ගැනීමටද ඉදුනු අඹ ආහාරයට ගැනීම සුදුසුය. ඉදුනු අඹ සහ එළකිරි නිතර ආහාරය‍ට ගැනීම මගින් සිරුරේ බර වැඩි කර ගත හැකි යයි විශ්වාසයක් පවතී.මෙයට අමතරව පාචනය හා ස්ත්‍රීන්ගේ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත නොයෙක් රෝගී තත්ත්වයන් හට ප්‍රතිකාර කිරීමේදී අඹ ඇට මද භාවිතා කරනු ලබන අතර, අඹ කොළ හා ගසේ පොතු යොදාගන්නා ප්‍රතිකර්ම රාශියක්දවේ. කෙසේ වෙතත් අද වෙළද පොලෙහි පවතින බොහෝ අඹ රසායනික ද්‍රව්‍ය යොදා ඉදවන ලද ඒවා බැවින් මිලදී ගැනීමේදී ඒ පිළිබදව සැලකිලිමත් වීමද වැදගත්ය. 

පී.ඩී.පී.ධනසේන,
විද්‍යා හා තාක්ෂණ නිලධාරී අඹන්ගගකෝරළේ

0 comments:

Post a Comment