June 7, 2017

ජංගම දුරකතන සහ මොළයේ පිළිකා අතර සම්බන්ධයක් තිබේද ?

ජංගම දුරකතන සහ මොළයේ පිළිකා අතර සම්බන්ධයක් තිබේද ?

ජංගම දුරකතන භාවිතය අද වන විට ලෝකය පුරා ඉති ශීඝ්‍ර ලෙස ප්‍රචලිත වෙමින් පවතින අතර  මිනිසුන් අතර ඉතා විශාල ලෙස ව්‍යාප්ත වූයේ පසුගිය වසර දහයක පමණ කාලයක සිටය. ඒ හා
සමගාමීව දුරකතන නිෂ්පාදන  සමාගම් සහ සේවා සපයන ආයතනය ද විවිධ විශේෂාංග සහිත දුරකතන සහ සේවා සිය පාරිභෝගිකයන් ලබාදීම සක්‍රිය ලෙස ක්‍රියා කරමින් සිටියි.
ජංගම දුරකතන භාවිතය නිසා මොළයේ පිළිකා ඇති වන්නේද යන්න අප සමාජයේ බොහෝ  දෙනා අතර පවතින සැකයකි. මේ සම්බන්ධව ලෝකයේ  බොහෝ රටවල විවිධ අකාරයේ පර්යේෂණ රාශියක් සිදු කර ඇති අතර, මේ වන විටත් සිදු කරමින් පවතී.
විද්‍යානුකූලව යම් දෙයක් සනාථ කිරීම සදහා සිදු කරන පර්යේෂණවලට සමහර විට වසර ගණනාවක් ගත  වන අතර , ඉන් ලැබෙන ප්‍රතිඵල මත යම්යම් නිගමන වලට එළඹේ. අවදානම් තත්ව විවිධ රෝගාබාධ සමග දක්වන සම්බන්ධතා සනාථ  වන විට සමහර විටෙක එමගින් ජීවිත දහස් ගණනක් අනතුරට  පත් වී තිබීමට පුළුවන. මේ සදහා උදාහරණයක් ලෙස දුම්කොළ සහ පෙණහලු පිළිකා අතර සම්බන්ධතාව සදහන් කළ හැකිය. ඉහත ආකාරයට නිකුත් කර ඇති පර්යේෂණ වාර්තා අනුව ජංගම දුරකතන හා මොළයේ පිළිකා ඇති වීම පිළිබද විවිධ මතවාද ඉදිරිපත්ව ඇත. බොහෝ  පර්යේෂණ වාර්තා අධ්‍යයනය කිරීමෙන් පෙනී යන්නේ  ජංගම දුරකතන භාවිතය සහ මොළයේ පිළිකා ඇති වීම අතර නිශ්චිත සබදතාවයක් තවමත් හදුනාගැනීමට අපහසු වී ඇති බවයි.

මොළයේ පිළිකා ඇති වීමට හේතු වන්නේ යයි අනුමාන කරනුයේ ජංගම දුරකතන වල ඇති විකිරණශීලීතාවයි. රූපවාහිනිය , ගුවන් විදුලිය , පරිගණක , මයික්‍රොවේව් උදුන් වැනි උපකරණ වලද විවිධ ප්‍රමාණ වලින් විකිරණශීලීතාවක් තිබේ. X කිරණ වල ඉහළ විකිරණශීලීතාවක් තිබේ.  X කිරණවල ඇත්තේ අයනීකරණය වන විකිරණශීලී බවකි.
එහෙත් ජංගම දුරකතන සහ ඉහත සදහන් කළ තාක්ෂණික මෙවලම් වල ඇත්තේ අයනීකරණය නොවන විකිරණශීලීතාවකි.  X කිරණ ආදියේ ඇති අයනීකරණ විකිරණය මගින් සෛල වල ඇති DNA  වලට කෙළින්ම හානි වුවත් අයනීකරණ නොවන විකිරණ මගින් මනුෂ්‍ය සෛල වලට වන හානිය එතරම් පැහැදිලි නැත.
එසේ වුවද  සෛලගත  ඇතැම් ක්ෂුද්‍ර කොටස්වලට හානි වන බව සොයාගෙන තිබේ. ජංගම දුරකතන ක්‍රියාත්මක වන්නේ දුරකතනය සහ ඒ ආසන්නයේ ඇති දුරකතන කුලුනු අතර ඇති තරංග සම්ප්‍රේෂණය මගිනි. එසේම කුලුනු  අතර තරංග සම්ප්‍රේෂණය වැඩි ධාරිතාවකින් යුක්තව සිද්ධ වේ. මෙවැනි කුලුනු  දෙකක් අතර ප්‍ර‍දේශවල විකිරණශීලීතාව වැඩි වීම මගින් ඒ අවට ජීවත් වන්නන් වැඩිපුර   විකිරණශීලීතාවට ගොදුරු වන්නේ දැයි සැකයක් පවතී.

එහෙත්  වර්ධනය වන මොළයේ සෛල විකිරණශීලීතාවට වඩා සංවේදී බවක් දක්වන බව සොයාගෙන ඇත. එනිසා කුඩා දරුවන්ගෙන් ජංගම දුරකතන ඈත් කර තැබීඹ ඉතා වැදගත්ය.

එසේම සමහර හෘදය රෝගීන්ගේ හෘදය ස්පන්ධනය ක්‍රමාණුකූල කිරීම සදහා සමට යටින් තැන්පත්
කරන Pacemaker නැමැති උපකරණයටද යම් බලපෑමක් මෙමගින් ඇති වීමට ඉඩ තිබේ.


ජංගම දුරකතන සහ පිළිකා ඇති වීම  අතර සම්බන්ධතාවක් මෙතෙක් ස්ථීර ලෙස සනාථ කර නොමැති වුවත් හැකි සෑම විටම ජංගම දුරකතන භාවිත කරන විට එය හිසට දුරින් තබා ගැනීම , කථා කරන විට  Speaker Phone  භාවිතා කිරීම , සිරුරේ බාහිරය නිරාවරණය වන පරිදි  තබා ගැනීම, භාවිතා  කරන කාලය අවම කිරීම, වැනි ක්‍රම මගින් අප සිරුරට ලැබෙන විකිරණ ප්‍රමාණය අවම කරගත හැකිය.
රටක තාක්ෂණික දියුණුවේ උසස්ම ප්‍රතිඵල භුක්තිවිදීම  සදහා තාක්ෂණය බුද්ධිමත්ව සහ නිවැරදි අකාරයට  භාවිතා කිරීම සැමගේ වගකීමකි.


  සී.එම්.එස්.එම්. චන්ද්‍රසේකර
  විද්‍යා හා තාක්ෂණ නිලධාරි
  ගනේවත්ත

0 comments:

Post a Comment