February 5, 2015

රුධිරයේ සීනි මනින ටැටූ එක (TATTOO – පච්චය)

දියවැඩියා රෝගියෙකුගේ රුධිරයේ සීනි මට්ටම මැන බැලීමේදී සියුම් කටුවකින් සම සිදුරු කර රුධිර බිදුවක් ලබා ගෙන රුධිරයේ සිනි මට්ටම මැනීමට බාවිතා කරනු ලබන සම්ප්‍රදායික ඉඳිකටුව සහිත සීනි මිටරය වෙත ඇතුලත් කර දත්තයන් ලබා ගැනීම වෙනුවට  අපූරු හඳුන්වා දීමක් ඇමෙරිකාවේ සැන්ඩියාගෝ හි පිහිටි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ Amay Bandodkar ඇතුළු පර්යේෂකයින් පිරිසක් විසින් සොයාගෙන තියෙනවා. ඒ තමයි සීනි මට්ටම බලන ස්මාර්ට් ටැටූ එකක් (tattoo) හෙවත් පච්චයක්. 

මෙමගින් සම සිදුරු කිරීමකින් තොරවම රුධිරයේ සීනි මට්ටම මැනීමට හැකියාව ඇති  අතර නොකඩවා එක දිගට සීනි මට්ටම නිරීක්‍ෂණය කිරීමට ඇති හැකියාවක් පවතිනවා.
මෙහි වෙන්ව පෙනෙන කොටස් දෙක වන ඉලෙක්ට්‍රොඩ දෙකක් මගින් මිනිත්තු 10ක පමණ කාලයකට ඉතා කුඩා විදුලි ධාරාවක් සම තුලට යැවීම සිදුකර මෙමගින් සමේ සෛල අතර ඇති තරළයේ තිබෙන සෝඩියම් අයන  ඉලෙක්ට්‍රොඩ වෙත තල්ලු කිරිම සිදුවෙනවා. මෙසේ සෝඩියම් අයන ගමන් කරන විට ඒ හා සමග එම තරළයේ තිබෙන ග්ලුකෝස් (සීනි) ද යම් ප්‍රතිශතයක් පැමිණෙන බැවින්  මෙසේ පැමිණෙන සීනි මගින් ජනනය කරන විදුලි අරෝපණයේ ප්‍රබලතාවය මැනීම ටැටූ එකේ ඇති සෙන්සර් (sensor) මගින් සිදුවෙනවා.‍ මේ ආකාරයට ශරීරයේ ඇති සමස්ත සීනි මට්ටම ගණනය වීම සිදුවේ.
ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ බොහෝ පිරිසකට මෙම ටැටූ එක පළඳවා ඔවුන්ගේ රුධිරයේ සීනි මට්ටම සාර්ථකව නිර්ණය කිරීමට මෙම පර්යේෂකයින් සමත් වී ඇති අතර මෙසේ ඉදිරිපත් වූ පිරිස පවසා ඇත්තේ මෙම ටැටූ එක භාවිතයේදී ඔවුනට කිසිදු වේදනාවක් හෝ අපහසුතාවයක් ඇති නොවූ බවයි.
ස්මාර්ට් ටැටූ එක

පර්යේෂකයින් විසින් මෙම සමීක්‍ෂණයට සහභාගී වූ පිරිසට කබෝහයිඩ්‍රේට අධික ආහාර වේලක් විද්‍යාගාරයේදී ලබා දී ඔවුන්ගේ රුධිරයේ සීනි මට්ටම දැනට වාණිජව භාවිතා වන ඉඳිකටුව සහිත සීනි මිටරය මගින්  සහ මෙම ටැටූ එක මගින් නිරීක්ෂණය කර තිබෙනන අතර මෙහිදී ටැටූ එක මගින් මැනගත සිනි මට්ටම හා දැනට භාවිතා වන ක්‍රමවේදය මගින් මැනගත් සිනි මට්ටමටම සංසන්දනය කිරීමේදී ටැටූ එක දැනට භාවිතා වන ක්‍රමය තරමටම නිවැරදි බව තහවුරු කර ගැනීමට සමත්වීඇති බව සදහන්.
මොවුන්ගේ මීළඟ ඉලක්කය වන්නේ මෙම ටැටූ එකෙහි ආයු කාලය වැඩි කිරීම සහ එහි මිල අඩු කිරීමයි.  නුදුරු අනාගතයේදී ඔබට මෙය බොහොම අඩු මිලකට වෙළඳපොලෙන් මිලදී ගැනීමට හැකියාව පවතීවි.

0 comments:

Post a Comment