August 10, 2017

අනාගත අඟහරු චාරිකා කාලය කෙටි කිරීම.

අභ්‍යවකාශ යානා රොකට් එන්ජිම් ක්‍රියාකිරීම සදහා න්‍යෂ්ටික තාප ප්‍රචාලන තාක්ෂණය යොදාගැනීමෙන් අඟහරු ග්‍රහයා වෙත යන අනාගත චාරිකා මාස 04 දක්වා අඩු කළ හැකි බව වාර්තා වේ. න්‍යෂ්ටික රොකට් භාවිතය සදහා NASA ආයතනය විසින් ඩොලර් මිලියන 18.8 ක ගිවිසුමක් BWX Technologies ආයතනය සමග අත්සන් කර ඇත. Virginia, Lynchburg හි බිහිවූ BWX Technologies ආයතනය අනාගතයේදී සංචාරකයන් අඟහරු ග්‍රහයා වෙත රැගෙන යාමට සමත් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක රොකට්ටු නිපදවීම මෙමගින් ආරම්භ වේ.

න්‍යෂ්ටික ප්‍රතික්‍රියා භාවිතා කර න්‍යෂ්ටික තාප ප්‍රචාලනය (Nuclear Thermal Propulsion) මගින් ඉන්ධන උණුසුම් කිරීම සිදුවේ. සාමාන්‍යයෙන් එම කාර්ය සදහා යොදා ගන්නා දියර හයිඩ්‍රජන් (ජලකර වායුව) උණුසුම් වීමෙන් ප්‍රසාරණය වී රොකට් පුඩුවෙන් (nozzle) විදීම හේතුවෙන් තෙරපුම (thrust) නිර්මාණය කෙරේ. නව තාක්ෂණය මගින් ඉන්ධන ඒකකයකට ලබාගත හැකි තෙරපුම දැනට භාවිතාවන රොකට් එන්ජිමකට වඩා බොහෝසේ වැඩිය. එනම් වසර 40 ක කාලයක් භාවිතා කළ ඉතාම හොඳ තත්වයේ රොකට් එන්ජිමකින් කළ අභ්‍යවකාශ ගමන් වලට වැයවූ ඉන්ධන ප්‍රමාණය අඩකින් පමණ අඩු කිරීමට මෙම තාක්ෂණය සමත් වේ.

ඉහළ කාර්යක්ෂමතාවයක් ඇති නව තාක්ෂණය විශේෂයෙන් වැඩි ඉන්ධන ප්‍රමාණයක් අවශ්‍ය දීර්ඝකාලීන අභ්‍යවකාශ ගමන් සදහා ඉතා ප්‍රයෝජනවත් වේ. අඟහරු ග්‍රහයා වෙත් කෙරෙන චාරිකා සදහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය අඩු වෙනවා පමණක් නොව එමගින් යානයෙන් ගෙනයා හැකි මගීන් සහ භාණ්ඩ ප්‍රමාණයද වැඩි වේ. තවද න්‍යෂ්ටික තාක්ෂණයෙන් ලබාගත හැකි අධි වේගය නිසා අඟහරු ග්‍රහයා වෙත වූ චාරිකා කාලය මාස 06 සිට මාස 04 දක්වා අඩු කර ගත හැකිවීම සුවිශේෂයකි.

NASA ආයතනය න්‍යෂ්ටික තාප ප්‍රචාලන තාක්ෂණය අත්හදාබැලිමට බොහෝ කාලයක සිට උත්සහ කර ඇති අතර මුලාදර්ශ එන්ජිමක් අත්හදාබැලීමද 1972 නවතා දමා ඇත.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ ; හර්ෂ ලංකේශ්වර  

https://youtu.be/miy2mbs2zAQ?t=20

0 comments:

Post a Comment