October 10, 2013

ප්‍රදර්ශණ පුවරුවෙන් බොන ජලය


ජලය ජීවයේ උල්පතයි. කාන්තාර ආශ්‍රිත ප්‍රදේශ වල පමණක් නොව ලොව පුරා ජීවත් වන බොහෝ මිනිසුන්ට පානීය ජල ගැටළු තිබේ. සාමාන්‍යයෙන් ජල පවිත්‍රාගාර, ළිං යනාදී ප්‍රභව මඟින් පිරිසිදු පානීය ජලය මිනිසුන්ට ලැබේ. එසේ නමුත් ප්‍රදර්ශන පුවරුවක් බීමට සුදුසු ජලය ලබා දෙන බව ඔබ දන්නවාද? පේරු රාජ්‍යයේ ඉංජිනේරු හා තාක්‍ෂණ විශ්ව විද්‍යාලය, තුනී වායු  උපයෝගී කරගෙන බීමට සුදුසු ජලය නිපදවන ලොව ප්‍රථම ප්‍රදර්ශන පුවරුව තැනීමට සමත්ව ඇත.
ඉංජිනේරු විද්‍යා ක්‍ෂේත්‍රය පිළිබඳ තරුණ පරපුරේ උනන්දුව ඇති කිරීමේ අරමුණෙන් නිර්මාණය වූ මෙම සොයා ගැනීම ප්‍රාදේශීය ගැටළු සඳහා විද්‍යාව හා තාක්‍ෂණය යොදා ගැනීමට හොඳ නිදසුනකි. බොහෝ විට ඇසට ප්‍රිය මනාප නොවූ ප්‍රදර්ශණ පුවරු දැන් ජනතාවට ප්‍රයෝජනයක් ගෙන දී තිබේ. අන්තර්ජාලයේ සඳහන් පරිදි ඉංජිනේරු හා තාක්‍ෂණ විශ්ව විද්‍යාලය Mayo Draft FCB ආයතනය සමඟ එක්ව පේරු රාජ්‍යයේ වූ ඉහල ආර්ද්‍රතාව ජලය බවට පරිවර්තනය කිරීමේ අදහස ක්‍රියාවට නංවන ලදි.

 කාන්තාර භූමියක පිහිටි ලොව දෙවන විශාලම අගනුවර වූ පේරු රටේ ලිමා අගනුවර වෙසෙන මිලියන 07 ක පමණ ජනගහනයක් බීමට ගන්නා ජලය හිඟකමින් පීඩාවට පත්ව සිටිති. ලොව වියලිම ප්‍රදේශයක් වූ අටකමා (Atacama) හි වෙරළබඩ කාන්තාරයේ කොටසක පිහිටි ලිමා නගරය අයිස්කඳු දියවීමෙන් හා ඇන්ඩීස් කඳුවැටියෙන් (Andes) ගලා බසින ජලයෙන් යැපෙති. එහෙත් මෙම ප්‍රභවයන් දෙකද කාලගුණික විපර්යාස  නිසා සිඳෙමින් පවතී. මෙයට අමතරව අතිශය වියළි දේශගුණය, වාර්ෂික අවක්‍ෂේපණය 1” ට අඩු වීම, අපවිත්‍ර ජලය සහිත ලිං යනාදිය නිසා අපිරිසිදු ජලය පානයෙන් ලොව මිලියන 2.2 ක ජනගහනයක් වාර්ෂිකව මිය යති. එනිසා මෙම සංකල්පය ලොවපුරා ඇති වෙනත් නියඟයෙන් පීඩිත නගර වල ජල හිඟයට පිළියමක් විය හැකිය.

ක්‍රියාකාරීත්වය
විදුලි බලය ලබා දී ප්‍රදර්ශණ පුවරුව තුල ඇති ප්‍රතිලෝම ආශ්‍රැති පෙරෙණ (Inverse Osmosis filtration) ක්‍රමයෙන් ක්‍රියාත්මක උපකරණ 5 ක් වාතයේ ආර්ද්‍රතාව ආධාරයෙන් ජලය උරා පිරිසිදු කර එහිම තිබෙන ලිටර 20 ටැංකි ජලයෙන් පුරවනු ලැබේ. මෙම ජලය ප්‍රදර්ශණ පුවරුවේ පාදම ඇති විශාල ටැංකි වෙත නල මඟින් ප්‍රවාහනය කර කරාමයෙන් බීමට සුදුසු ජලය ලබා දෙයි.
එක් ප්‍රදර්ශණ පුවරුවක් මඟින් මාස 03 කට වතුර ලීටර 9450 ක් නිපදවන අතර එය පවුල් 100 ක මාසික ජල පරිභෝජනය බව Mayo ආයතනය පවසයි. මුළු නගරයටම ජලය ලබා දීම සඳහා ප්‍රදර්ශණ පුවරු සිය ගණනක් නගරය තුල උපාය මාර්ගිකව ස්ථානගත කිරීමේ කාර්යයට  මෙම ප්‍රදර්ශණ පුවරුව මූලික වනු ඇතැයි පේරු රාජ්‍යයේ ඉංජිනේරු හා තාක්‍ෂණ විශ්ව විද්‍යාලය බලාපොරොත්තු වේ.



උපුටාගැනීම:



0 comments:

Post a Comment