April 25, 2016

ආහාරවල පවතින ස්වභාවික විෂ රසායන සංයෝග

ආහාර වශයෙන් අප ගනු ලබන ද්‍රව්‍ය මගින් පිෂ්ඨය, ප්‍රෝටීන, මේදය, විටමින, ඛනිජ ලවණ වැනි මිනිස් සිරුරේ ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය සංඝඨක බොහොමයක් ලබා ගනී. එහෙත් ස්වභාවිකව පවතින විෂ රසායන සංයෝග ද ඇතැම් විට ආහාරමය ද්‍රව්‍ය හරහා සිරුරට එකතු වීමෙන් විවිධ මට්ටමේ අසාද්මිකතා, රෝගී තත්ත්වයන් ඇති විය හැකිය.

මේ අතර එලෙස හඳුනා ගෙන ඇති රසායනික සංයෝග කිහිපයක් කෙරෙහි සැලකිල්ල යොමු කරමු.

01. Aflatoxin
ඇතැම් ආහාර මත වැඩෙන දිලීරවල පරිවෘත්තීය ඵලයක් ලෙස ස්වභාවිකවම සෑදෙන Aflatoxin යනු අනෙක් දිලීර විෂ රසායන සංයෝගවලට (Mycotoxins)  වඩා ප්‍රභල ලෙස බලපාන පිලිකාකාරකයක් බව මීයන් යොදා ගනිමින් කරන ලද විද්‍යාගාර පරීක්ෂණ මගින් තහවුරු වී ඇත.

විශේෂයෙන් ම Aspergillus flavus හා Aspergillus parasiticus යන දිලීර කාණ්ඩ දෙක මගින් ස්වභාවිකවම aflatoxin නිපදවන බවට හඳුනාගෙන ඇත. මෙම දිලීර කාණ්ඩ මගින් ආහාර දූහනය වීම අස්වනු නෙලීමට ප්‍රථම වගා බිමේදී මෙන්ම අස්වනු නෙලීමෙන් පසුව ආහාර ගබඩා තුලදී සිදු විය හැකිය.

පස, දිරාපත් වෙමින් පවතින ශාකමය කොටස් මත වැඩෙන මෙම දිලීර ව්‍යාප්තිය අතින් ඉතා පුළුල් වේ. ඒ අතර, වී, බඩ ඉරිඟු, තිරිඟු වැනි ධාන්‍යමය ආහාර මෙන්ම මේදමය රටකජු, සෝයා වැනි ඇට වර්ග ද, ගම්මිරිස්, මිරිස් වැනි කුළු බඩු වර්ග මත ද පහසුවෙන් හඳුනාගත හැකිය.

මීට අමතරව Aspergillus දිලීරය ආසාදනය වූ ආහාර මත යැපෙන සතුන්ගෙන් ලබා ගන්නා කිරි, බිත්තර වැනි නිෂ්පාදනයන් හි ද aflatoxin පවතින බවට හඳුනා ගෙන ඇත. අක්මාවේ ඇති වන පිලිකා තත්ත්ව Hepatocellular carcinoma (HCC) වලදී aflatoxin හේතු වන බව අධ්‍යනයන්ගෙන් හඳුනාගෙන ඇත.



02. Solanine සහ Chaconine
ඇල්කලොයිඩ් කාණ්ඩයට අයත් විෂ සහිත සංයෝග වේ. අර්ථාපල්, හිරු එළියට නිරාවරණය වීමෙන් එහි පොත්තට යටින් කොළ පැහැති පැල්ලම් ලෙස දැකිය හැකි කොටස් තුල මෙම සංයෝග වැඩි වශයෙන් එකතු වී ඇත. එමෙන්ම ප්‍රරෝහණය වන අර්ථාපල් වල ද වැඩි වශයෙන් සොලනීන් අඩංගුය.
මිනිස් සිරුර තුලදී සොලනීන් (Solanine) සොලනිඩීන් (Solanidine) බවට පත් වන අතර මෙය ආහාර මාර්ග පද්ධතියට මෙන්ම ස්නායු පද්ධතියට විෂ සහිත වේ. අර්ථාපල් හිරු එළියට නිරාවරණය නොවන සේ අඳුරු සිසිල් ස්ථාන තුළ ගබඩා කිරීමෙන් Solanine නිපදවීම වලක්වා ගත හැකිය.


03. Lectins
ප්‍රෝටීන යටතට අයත් ය. ධාන්‍යමය හා රනිලමය ආහාරවල බහුලව අඩංගුය. විශාල වශයෙන් ශරීරගත වීමෙන් අක්මාව, හෘදය, වකුගඩු වැනි අවයවයන්ට හානි සිදු වේ. රනිලමය ඇට වර්ග පැය 05 ක් වත් පෙගෙන්නට හැර තැම්බීමෙන් ලැක්ටීන් විෂවීම වලක්වා ගත හැකිය.

04. Trypsin inhibitors

මෙම රසායන ද්‍රව්‍ය මගින් Trypsin නම් ප්‍රෝටීන ජීරක එන්සයිමය නිශේධනය කරයි. සෝයා බෝංචිවල බහුලව අඩංගු වේ. යම් ප්‍රමාණයකට අමු බිත්තර සුදු මදයේ අඩංගු වේ.

(අන්තර් ජාලය ඇසුරිනි.)

ආර්.ඩී. එන්. ප්‍රියන්ති,
විද්‍යා හා තාක්ෂණ නිලධාරිණී,
කිිරින්ද පුහුල්වැල්ල

0 comments:

Post a Comment