January 23, 2015

කෘත්‍රීම වර්ණක, සීනි සහ රසකාරක


ළමයින්ගේ මොළයට හානි කරන කෘත්‍රීම වර්ණක, සීනි සහ රසකාරක ලෙසවර්ණ ගන්වා සකස් කළ පැණි රස අධික රසකාරක අඩංගු ටොපි, චුයින්ගම්, ලොසින්ජර්, පැණි බීම වැණි කඩ කෑම ජාති කන්නට පුංචි ළමයි හරිම ආසයි. ආහාර වලට එක් කරන කෘත්‍රිම වර්ණක, සුදු සීනි හෝ කෘත්‍රීම සීනි, කල් තබා ගැනීමේ රසායනික ද්‍රව්‍ය, රසකාරක වැනි රසායනික ආකලන වලින් ආහාරයට කිසිම පොෂණීය අගයක් එක් නොකළාට කුඩා ළමුන් සහ තරුණ තරුණියන් පාටට සහ රසයට, සුවදට රැවටෙන නිසාවෙන් ආහාර කර්මාන්තකරුවෝ තම ආහාර නිෂ්පාදන දේදුනු වර්ණ වලින් පාට කරවන්නටත් රසයෙන් ඉමිහිරි කරවන්නටත් වග බලා ගනිති. ඒ වගේම දරුවන් ඉල්ලන ඉල්ලන හැම එකක්ම ලබා දීම ආදරය යැයි වරදවා තේරුම් අරන් ඉන්න අම්මලා තාත්තලාද මේ පාට පාට කෑම බීම වලින් තම දරුවන්ගේ අමාශ පුරවන්නටද පසුබට නොවේ.
කෘත්‍රීම ආහාර වර්ණක සාදනු ලබන්නේ ගල් අගුරු තාර (coal tar extraction)වලින් වන අතර, මෙම වර්ණක නියමිත මාත්‍රා වලට අනුව ආහාර සදහා භාවිතා කිරීමට ආහාර නිෂ්පාදකයින්ට ලොව විවිධ රටවල අවසර ලබා දී ඇත. විශේෂයෙන්ම කෘත්‍රීම ආහාර වර්ණක නිසා ඇතැම් පිළිකා රෝග ආසාත්මිකතා වැනි රෝගාබාධයන් පවා ඇති විය හැකි යැයි විද්‍යාඥයින් අතර සැක සංකා පැවතීම නිසාවෙන් වර්ණක බොහෝමයක් දියුණු රටවල භාවිත කරන්නට අවසර ලබා දී නැත. යුරෝපය, ජපානය වැනි රටවල ප්‍රවණතාවය වන්නේ ස්වභාවික ආහාර වර්ණක ප්‍රවර්ධනය කිරිමයි. අපේ රටේ මෙයට පෙර එවැනි කෘත්‍රිම ආහාර වර්ණක දහයක් භාවිතා කරන්නට අවසර ලබා දී තිබුනත්, දැනට අවසර ලබා දී ඇත්තේ කෘත්‍රීම වර්ණක අටකට පමණි.
කෙසේ වෙතත් කෘත්‍රීම ආහාර වර්ණක සහිත ආහාර වර්ග නිතර නිතර තම දරුවන්ට දීමෙන් බරපතල සෞඛ්‍ය ගැටළු ඇති වන්නට පිළිවන් බව අවධාරණය කරන වෛද්‍යවරුන්ගේ සහ විද්‍යාඥයින්ගේ හඩවල් යටපත් කරගෙන ඇති දැවැන්ත වෙළද ප්‍රචාරණයේ ආනුභාවය නිසාවෙන් පාට පාට කඩචෝරු ලෝකයක අපේ පුංචි දරුවන් අතරමං වී ඇත. කොහොම වුනත් දැන් කාලයේ කුඩා ළමුන් සුළභව දකින්ට ලැබෙන “කඩි කුලප්පුව, විසේ වැඩි වීම” ලෙසින් සාමාන්‍ය ව්‍යවහාරයේ පැවසෙන අසාමාන්‍ය හැසිරීම් රටාවන් සහ අවධානය අඩු ළමුන් පිළිබද වාර්තා වීම වැඩි බව වෛද්‍යවරුන් පවසයි.
            කෘත්‍රීමව වර්ණ ගැන්වූ ආහාර අනුභවයෙන් ළමයින්ගේ මොළයට සිදු වන හානි පිළිබද පර්යේෂණ රාශියක් සිදු කර ඇත. වර්ෂ 2007 දී සදම්ටන් සරසවියේ මහාචාර්ය ජිම් ස්ටීවන්සන් මහතා (Professor Jim Stevenson from Southamphon University, UK) විසින් කර ඇති පර්යේෂණයට අනුව, ළමුන් තුළ ළමුන් සමාජ ගත වීමේදී ඇති වන දුර්වලතා (social impairment in kids) හැසිරීමේ අසාමාන්‍යතා (Behavioral disorders) මතක ශක්තිය සහ බුද්ධිය අඩු වීම, (Lower IQs) ළමුන්ට වැළදෙන අවධාන ඌනතා අධි ක්‍රියාකාරී ආබාධය,(Attention deficit Hyperactivity disorder /ADHD) වැනි අබාධ තත්වයන් ඇති විය හැකි බව සනාත වී ඇත.
එවැනි ආබාධ සහිත දෙමවුපියන් තම දරුවන්ට ලබා දෙන කෘත්‍රීම වර්ණක සහිත ආහාර කපා හැරීමෙන් වෛද්‍ය ප්‍රතිකාර වලින් තොරවම මෙම ආබාධ තත්වයන් අවම කර ගන්නට හැකි වූ බවද වාර්තා වී ඇත.

සීනි සහ කෘත්‍රීම පැණිරසකාරක 
අධික සීනි පරිභෝජනය මොළයේ යහපත් ක්‍රියාකාරිත්වයටද බරපතල ‍ලෙස හානි කරන බව සනාථ වී ඇත. දිනකට ළමයෙකුට උපරිම ලෙස අනුභව කල හැකි නිර්දේශිත සීනි ප්‍රමාණය තේ හැදි 4ක්  5ක් (ග්රෑම් 20)  පමණ වුවද අපේ රටේ අම්මලා සීනි තේ හැදි දෙක තුනක් දමා දරුවන්ට කට කපලා කිරි වීදුරු දෙක තුනක්ම පොවන නිසාත්, සීනි දමා සකස් කළ ටොෆි, චොක්ලට්, කේක්, බනිස්,බිස්කට්, ජෙලි, කිරි පැකට්, අයිස් පැකට් වැනි ලටපට කෑම මහ ගොඩක් ඒ දරුවන් විසින් ආමාශ ගත කර ගන්නා නිසාත් අපේ රටේ දරුවකු දිනකට අනුභව කරන සීනි ප්‍රමාණය ග්රෑම් 100 ද ඉක්මවන බව අවධාරණය කල යුතුව ඇත. තවද සුක්‍රලෝස්, ඇස්පාටේම්, ඇසෙසල්ෆෙම් කේ සහ සැකරින් (Sucralose, Aspartem, Acesulfame K, Saccharin)  වැනි කෘත්‍රීම පැණි රස කාරකයන් ද, මන්ද මානසික වර්ධනය ස්නායු ආබාධ ඇතැම් පිළිකා වර්ග, කාන්තාවන්ගේ ඔසප් චක්‍රයේ අක්‍රමිකතා සහ මදසරු භාවයටද හේතු විය හැකි බව විද්‍යාඥයින් ප්‍රකාශ කරයි. සීනි සහ ඇතැම් කෘත්‍රීම පැණි රසකාරක මොළයේ මතක ගබඩා වන හයිපොකැම්පස් (Hippocampus) මත අහිත කර ලෙස බලපාන බවත් සොයාගෙන ඇත. පැණි බීම, සිසිල් බීම, ශක්ති ජනක පාන වර්ග, අඩු කැලරි ආහාර, සීනි රහිත පැණි රසකෑම වැනි ආහාර නිෂ්පාදන වල කෘත්‍රීම පැණිරසකාරක වර්ග තිබිය හැකිය.

මේ අතර මහ බ්‍රිතාන්‍යයේ සූරි විශ්ව විද්‍යාලයේ (Dr. Neil Ward, a senior lecturer in analytical chemistry at the University of Surrey)   සිදු කෙරුණු අධ්‍යයන කිහිපයකින්ම සනාථ වී ඇත්තේ කෘත්‍රීම වර්ණක, ග්ලූටමේට් කාණ්ඩයේ ආහාර රසකාරක (අජිනෝමොටෝ වැනි), ඇතැම් කෘත්‍රීම ආහාර කල් තබා ගැනිමේ රසායනික ද්‍රව්‍යයන් නිසාවෙන් මොළයට සිදු කෙරෙන බලපෑමට අමතරව හතිය, ඇදුම, චර්ම රෝග වැනි අසාත්මිකතා රෝග දියවැඩියාව, හෘද රෝග වැනි ඇතැම් පිළිකා වර්ග වලට පවා හේතු විය හැකි බවය. තම දරුවන් තුළ ඉගෙනීමේ අපහසුතා, මතකයේ සහ අවධානයේ යොමු කිරීමේ අඩු ලුහුඩු කම් සහ නොසන්සුන්කාරී ගති ලක්ෂන වර්ධනය වනවා නම් අධික සීනි සහ කෘත්‍රීම වර්ණක සහිත රසායනික ද්‍රව්‍ය වලින් පොහොසත් කෑම බීම වර්ග ලබා දීම අවම කිරීමටත්, ඒ වෙනුවට ස්වභාවික පළතුරු සහ එළවළු සහිත ආහාර වැඩි වැඩියෙන් ලබා දීම කෙරෙහිත් වැඩිහිටියන්ගේඅවධාණය  යොමු කිරීම මැනවැයි පර්යේෂකයින් අවධාරණය කරයි.
දැන් කාලයේ ළමයින් හරිම වසයි, හිතුවක්කාරයි, කොච්චර පංති යැව්වත් මත‍කයේ රැදෙන්නේ නෑ. අනේ කාලේ වනේ වාසේ කිය කියා ඉන්නේ නැතිව ආදරයට තම දරුවන්ට කඩචොරු කවන එක නතර කළොත් නරකද?

මූලාශ්‍ර -

අනුෂා එන් ගමගේ
විද්‍යා හා තාක්ෂණ නිලධාරී - බදුල්ල

0 comments:

Post a Comment