January 23, 2015

ජංගම දුරකථන හා සෞඛ්‍යය

ජංගම දුරකථන දැළි පිහියෙන් දරුවාගේ බෙල්ල කැපෙන්නට පෙර.ද වන විට ලංකාවේ බොහෝ පාසැල් දරුවන් අතට දෙමාපියන් විසින් ජංගම දුරකථන අරන් දී ඇත. පවතින කාර්ය බහුල සමාජ රටාව තුළ, දරුවා සමග අත්‍යාවශ්‍යය සංනිවේදනයක යෙදීමේ පහසුව පිළිබදව සිතා ජංගම දුරකථන දරුවන්ට අරන් දෙනවා විය හැකිය. කෙසේ වෙතත් දරුවන්ගේ පැත්තෙන් බැලු විට ජංගම දුරකථන වලට දරුවන් ලොල් වීමට වෙනත් හේතුන් ඇත. ඒ , ඒවායේ ඇති නවීන පහසුකම් නිසාය. “ත්‍රී.ජී”, “වීඩියෝ”,වැප්”, ගේම්, ඇන්ඩ්‍රොයිඩ් වැනි නවීන පහසුකම් දරුවන් ගිණි දැල්ලට කදෝපැණියන් සේ ආකර්ෂණය කිරීමට සමත්ය. කවුරුත් දන්නා පරිදි අද පාසැල් සිසුන් පමණක් නොව, තලත්තෑනි උදවිය පවා නන්නත්තාර කර, විනාශයට පත් කරවන මෙවලමක් බවට මෙම උපාංගය පත් වී ඇත.
කෙසේ වෙතත් පැසැල් දරුවන්ට මෙම දුරකථන ලබා දිය යුත්තේ දෙමාපියන් විසිනි. දරුවන් කොහොමටත් කුතුහලයෙන් පිරි, ගවේෂණය කරන, අත්හදා බලන වයසේ පසු වන අය බැවින්, තම දරුවා රැක ගනිමින්, ජංගම දුරකථනයක් අරන් දීමේ දෙමාපියන්ගේ පැත්තන් වන උවමණාවන් සාධනය වන අයුරින් ක්‍රියා කිරීමට ප්‍රවේෂම් විය යුතුය. ඒ නිසා තම දරුවාට ජංගම ‍දුරකථනයන් අරන් දීමට පෙර, පහත සදහන් කරුණු පිළිබදව නුවණින් සිතා බලන මෙන් දෙමාපියන්ට ආයාචනා කරමි.

දරුවන්ගේ සෞඛ්‍ය බරපතල අනතුරක.
ලංකාවේ කුඩා දරුවන්ට පවා ජංගම දුරකථන රිසිසේ පරිහරණය කරන්නට ඇතැම් දෙමාපියන් ඉඩදී ඇතත්, බොහෝ රටවල් ළමුන් සහ නව යෞවන වයසේ අයට (ඔවුන්ගේ සෞඛ්‍යට වන අහිතකර බලපෑම් නිසාවෙන්) ජංගම දුරකථන භාවිතා කිරීම තහනම් කර ඇත. උදා. අපේ අසල්වැසි ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්ත රජයද වයස අවු 16 ට අඩු අයට ජංගම දුරකථන භාවිතා කිරීම නොබෝදා තහනම් කරන ලදී.
ජංගම දුරකථන වලින් හා රැහැන් රහිත අන්තර්ජාල සම්බන්ධතා සහ වෙනත් රැහැන් රහිත උපාංග හා විදුලි උපකරණවලින් (Remote Control)  විමෝචනය කෙරෙන ක්ෂ්‍රද්‍ර තරංග වලට හානිකර ලෙස නිරාවරණය වීම, එක් අතකට ළමා වියේ ඇති වන ලියුකීමියා රෝග තත්වයට ළමයින් යොදුරු වීමට පවතින අවදානමද ඉහළ යන බව තවත් පර්යේෂණයකින් සොයා ගෙන ඇත.
නිතර ජංගම දුරකථන, වයිෆයි පරිගණක, මියුසික් ගේමින් උපකරණ වැනි, විද්‍යුත් චුම්භක විකිරණ විමෝචනය කරනු ලබන උපාංග හා උපකරණ සමග වැඩි කාලයක් ගත කරන නූතන තරුණ පරපුර, විද්‍යාඥයින් විසින් හදුන්වන්නේ, “එක්ස් - රේ” පරපුර ලෙසය. (X – ray genaration) ස්වීඩන් විද්‍යාඥයින් පිරිසක් මෑතකදී අනාවරණය කළේ, ජංගම දුරකථන හා පරිගණක උපාංග වලින් නිකුත් කෙරෙන අහිතකර විකිරණ වලට වැඩි කාලයක් නිරාවරණය වන එක්ස් -රේ පරපුරේ ඈයින්, එසේ නොවන ඈයින්ට වඩා මොළයේ සෑදෙන දරුණු පිළිකා තත්වයක් වන, ග්ලයෝමා (Glioma) පිළිකා තත්ත්වයට ගොදුරු වීම සදහා පස් ගුණයක අවදානමක් දරන බවයි.
නූපන් දරුවාගේ මොළයට සිදුවන හානි.
ගැබිනි සමයේ දී ජංගම දුරකථනවලින් සහ රැහැන් රහිත විදුලි උපාංග වලින් නිකුත් කෙරෙන විකිරණවලට නිරාවරණය වීම, උපත ලබන දරුවන්ගේ මොළයේ වර්ධනයට ස්ථිර ලෙසම හානිකරව බලපාන බව, තවත් අධ්‍යයන රාශියකින්ම හෙළි වී ඇත. චෙන්මාර්ක් ජාතික මහාචාර්ය, වෛද්‍ය ලීකා කීෆට්ස් විසින් කාන්තාවන් දහතුන් දහසක් සහභාගී කරගෙන කර ඇති අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ , ගර්භනී සමයේදී වැඩි කාලයක් ජංගම දුරකථන භාවිතා කළ මවුවරුන්ගේ දරුවන් එසේ භාවිතා නොකළ සහ කලාතුරකින් ජංගම දුරකථන භාවිතා කළ මවුවරුන්ගේ දරුවන්ට සාපේක්ෂව හැසිරීමේ අසාමාන්‍යතා, මතකයේ අඩු ලුහුඩුකමි, නොසංසුන්කම, තරහ යාම, වැනි ADHA රෝග ලක්ෂන (අවධාන ඌණතා අධි ක්‍රියාකාරී සංකූලතාවය) සුලභව ඇතිව තිබූ බවය. (රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ දරුවාට වයස අවුරුදු 5 – 7 ක් පමණ වන විටය). එමෙන්ම, ගර්භනී කාලයේදී ජංගම දුරකථන විකිරණ වලට හානිකර ලෙස නිරාවරණය වූ දරුවන්, කුඩා කල සිටම ජංගම දුරකථන භාවිත කරනවානම්, ඉහත කී රෝග ලක්ෂණ සියයට අසූවකින් පමණ තීවුර වන බවද සොයා ගෙන ඇත.
දරුවා පිළිබද සෝදියෙන් ඉන්න.
‍            ඔබේ දරුවා ඉන්නේ කොතැනද? පංතියට ගියාද ? කෑම කෑවද? වැනි පණිවුඩයක් ලබා ගැනීම වෙනුවෙන් ඔවුනට අරන් දෙන දුරකථනයේ අති  නවින අමතර සහසුකමි තිබිය යුතු නැත. ඇමතුමක් ලබා දීමට, කෙටි පණිවුඩයක් යැවීමට පිළිවන්නම් ඒ හොදටම ප්‍රමාණවත්ය. මෙවැනි අනවශ්‍යය පහසුකම් ඇති විට දරුවා නොමග යෑමේ සම්භාවිතාව ඉහළය. මක් නිසාද යත් දරුවා අත රැදි ජංගම දුරකථනය දෙස ඇස් යොමා සිටීම කළ නොහැක්කක් නිසාය.
            ඔබ දුරකථනය මගින් පමණක් ඔබ ‍ඔබේ දරුවා පිළිබද සොයා බලන්නෙකුනම් ඔබ ලොකු අමාරුවක වැටෙනු ඇත. මන්ද ‍ජංගම දුරකථන මගින් සම්බන්ධතා පවත්වා ගැනීමේදී දරුවන්ට දෙමාපියන්ව රැවටීමේ හැකියාව වැඩි බැවිනි. වෙන කොහේ හෝ සිටිමින් “මං දැන් ඉන්නේ පංතියේ” කියා කීමට හැකියාවක් නැත්තේ නොවේ. ඒ නිසා ජංගම දුරකථනය අතට දුන් පමණින්, එයට ඇමතුමක් දි විපරම් කර බැලූ පමණින් ඔබේ වගකීම ඉවරද? කියා සිතා බැලිය යුතුයි. දුරැවා නිසි ලෙස පංති වලට සහභාගී වනවාද, පොත් පත් වල වැඩ නිසි ලෙස කරනවාද, දරුවා ඇසුරු කරන්නේ කවුරුන්ද, වැනි දේවල් දරුවාට නොදැනෙන්නට සොයා බැලීම ඔබට කළ හැකියි. පොත් පත් පරීක්ෂා කිරීම දරුවාගේ ගුරුවරුන්ද  හමු වී විචාලීම වැනි ක්‍රම ඒ සදහා ඇත. එමපමණක් නොව, දරුවාගේ දුරකථනයද පරීක්ෂා කර බලන්න.  දරුවා දුරකථනයෙන් සම්බන්ධතා පවත්වන්නේ කා සමගද? කෙටි පණිවුඩ යවන්නේ කාටද? ඒවායේ අඩංගුව ඇත්තේ මොනවාද? මේ දේවල් පිළිබදව සොයා බැලීම දෙමවුපියන්ගේ වගකීමකි. නොදන්නා අංක වලට ඇමතුම් ලබා ගෙන ඇත්නම්, ඒ පිලිබදව විමසීමට තරම් හැකියාවක් දෙමවුපියන් සතු විය යුතුය. එමෙන්ම දුරකථනය පරීක්ෂා කිරීමට නොහැකි වන පරිදි ආරක්ෂිත ක්‍රම (security code) යොදා ඇත්නම් ඒ පිළිබදව විමසීමට හැකියාවක් තිබිය යුතුය. එවැනි ආරක්ෂිත උපක්‍රම යෙදීමේ පහසුකම් නොමැති දුරකථනයක් අරන් දීමද වැදගත්ය.

දරුවන්ට හොද ප්‍රී පේඩ් ද, පෝසට් ද.?

දරුවාට දුරකථන සම්බන්ධතාවයක් අරන් දීමේදීම දෙමවුපියන් මොළය පාවිච්චි කිරීමට අවශ්‍ය වෙනවා. එය පෙර ගෙවුම් (Pre-paid) පැකේජයක් නොවී, පසු ගෙවීම්(post-paid) පැකේජයක් වීම වැදගත්ය. පසු ගෙවීමි පැකේජයක් ඔබේ නමට ලබා ගත හැකි අතර, බිල් පත ලැබෙනුයේ ද ඔබටය. අවශ්‍ය නම් විස්තර සහිත බිල්පතක් අදාල ආයතනයෙන් ලබා ගැනීමේ පහසුකම මෙවැනි පැකේජයක තිබෙන නිසා අදාල සිම්පතේ සියලු විස්තර ඔබට ලබා ගැනීමට හැකි වීමද වාසියකි. එමෙන්ම දරුවාට ජාතික හැදුනුම්පතක් තිබිය හැකි වුවද කිසි විටෙක දරුවාගේ නමින් ලියාපදිංචි මුදල් අවසන් වූ විට නැවත මුදල් යොදා ගැනීමට හැකි බැවින්, (reload) කොහෙන් හෝ මුදල් සොයාගෙන රී - ‍ලෝඩ් කර ගැනීමට දරුවන් ට හැකියාව ඇත. මෙහි සැගවුණු අවාසියද ඇත. මේ වෙළෙන්දාට ලබා දිය යුතු වෙනවා. ‍ඒ මගින් ඔබේ දරුවාගේ දුරකථන අංකය අන්‍යයන් අතර පැතිර යෑමට ඉහල අවදානමක් මේ ක්‍රමයේදී පවතී. මේ නිසා නොදන්නා කරදරකාරී අංක වලින් ඇමතුම් ලැබීම, රැවටිම් වලට ලක්වීම, අනවශ්‍ය සම්බන්ධතා ඇති කර ගැනීම, අවසන ජිවිතයම විනාශ වන තැනට වැඩ කටයුතු ස්ද්ධ වීමටද පිළිබන.
අනෙක් අතට රීලෝඩ් කර ගැනීමට අතැම්විට මුදල් සොරා ගැනීමට පවා දරුවන් පෙළඹිය හැකිය.
කෙසේ වෙතත් ජංගම දුරකථන බිල් පත සදහා වියදම් කිරීමේ යම් සීමාවක් පනවා ගන්න. ඔබත් දරුවාත් ජංගම දුරකථන තාක්ෂණය පිළිබදව විශාල පරතරයක් තබා නොගන්න.
තාක්ෂණයන් හා ඒවායේ භාවිතයන් පිළිබද දැනුමෙන් ඔබ යතාවත් විය යුතු අතර අනවශ්‍ය යෙදවුම් පිළබදව හා ඒවා අවහිර කිරීම පිළිබව වන දැනුමක් ඔබ සතු විය යුතුය. ජංගම දුරකථන සහ පරිගණක තාක්ෂණයේ අවභාවිතයෙන් සහ ඒවායින් පරිස්සම් වන ආකාරය පිළබද ඔබේ දරුවා දැනුවත් කරන්න.
කිසිම විටක ජංගම දුරකථනයක් සමග හෝ පරිගණකයක් සමග කාමරයක හුදකලාව තන් වන්නට දරුවන්ට ඉඩ නොදෙන්න. එවිට ජංගම දුරකථන හරහා යහළුවන් සොයා යාමත් ඉන් එහා ගිය දේවල් කරා යාමටත් නොහැකි වනු ඇත. එමෙන්ම යන යන තැන ජංගම දුරකථනය අරන් යනවා නම් දෙමාපියන් අතට දුරකථනය නොදීමට උත්සුක වනවා නම්, කොටින්ම නානා කාමරයට යන විට ජංගම දුරකථනය අරන් යනවා නම් ඔබේ දරුවාට ඔබෙන් වසන් කිරීමට රහස් තිබෙනවා වන්නට පිළිවන. එවැනි දරුවන් පිළිබද වඩාත් විමසිලිමත් වන්න.
දරුවන් සමග සතුටින් ආදරයෙන් අන්‍යෝන්‍ය අවබෝධයෙන් කාලය ගත කරනවා නම් මේ දෙවල් අපහසු නොවනු ඇත. ඔබ භෞතිකව දරුවාගෙන් ඈත් වන්නට වන්නට දරුවා මානසිකවද කායිකවද ලංවන්නේ අනවශ්‍ය හානි කර දේවල් වීමට හොදටම ඉඩ ඇත.
එබැවින් මේ දෙවල් පිළිබද සිතේ තබා ගෙන සිහි බුද්ධියෙන් දරුවන් සමග සහ තාක්ෂණය සමග ගණුදෙනු කරනවා නම් ඔබ සහ ඔබේ දරුවා අමාරුවේ නොවැටෙනු ඇත. නොඑසේ නම් ජංගම දුරකථන වැරදි භාවිතාවෙන් සිදු වන්නේ දැළි පිහිය අතට ගත් වදුරාට සිදු වූ දේය. බෙල්ල කපා ගත් පසුව ගිය නුවණ බුල්ඩෝසර් දමා වත් ඇත්ද විය නොහැකිය.
මූළාශ්‍ර -

අනුෂා එන් ගමගේ.
විද්‍යා හා තාක්ෂණ නිලධාරි - බදුල්ල.

2 comments:

ඔව් මේවා ඇත්තක්

Post a Comment