November 26, 2014

මොනවද මේ POPs ?


POPs යනු මොනවාදැයි ඔබ දන්නවාද? 

POPs හෙවත් Persistent Organic Pollutants යනු මිනිස් ක්‍රියාකාරකම් නිසා පරිසරයට එකතු වී නොනැසී පවතින කාබනික රසායනික දූෂක වේ.
පසුගිය දශක කිහිපය තුළ රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය මෙන්ම විෂ රසායනික දූෂක පරිසරයට මුදා හරින මිනිස් ක්‍රියාකාරකම් බහුල වීමේ ප්‍රතිඵලයක් ලෙස මේ  POPs  හෙවත් දිගු කල් පවතින කාබනික දූෂක පරිසරයට එකතු වී ඇත. මේ රසායනික දූෂක අද මිනිසාගේ සෞඛ්‍යයට මෙන්ම පරිසරයටද ඉතා විශාල තර්ජනයක් වෙමින් මහා ව්‍යසනයක් බවට පත්ව ඇත.

POPs කාබනික සංයෝග ඉතා දීර්ඝ කාලයක් පරිසරය තුළ විනාශ නොවී පවතින අතර වාතය, ජලය හෝ වෙනත් ක්‍රම මගින් ඉතා විශාල ප්‍රදේශයක් පුරා පැතිරයාමේ හැකියාව ඇත. එසේම ආහාර දාම ඔස්සේ යමින් සාන්ද්‍රගත වීමේ  හැකියාව   ( bioaccumulation ) වැඩි අතර විෂ භාවයද ඉතා ඉහළය.
 මේ හේතු නිසා POPs රසායනික දූෂක පරිසරයේ බහුලව පවතින අතර ආහාර දාම වල ඉහළ පුරුක්වල සිටින විලෝපික සත්ත්වයන්ගේ මෙන්ම මිනිසාගේද මේද පටකවල මෙම සංයෝග ගබඩාවීමේ ප්‍රවනතාවය වැඩිය. එය ඉතා ප්‍රබල සෞඛ්‍ය ගැටළු ගණනාවකටම උරුමකම් කියයි. නිදසුනක් ලෙස ගත්කල, පිළිකා ඇතිවීම, ස්ත්‍රීන්ගේ හා පුරුෂයන්ගේ වභාවය, රෝග වලට ඔරොත්තුදීමේ හැකියාව අඩුවීම, මතකය හා බුද්ධිය අඩුවීම සිදු විය හැකිය.  

දැනට ලෝකයේ මේ ආකාරයේ  දිගු කල් පවතින කාබනික දූෂක හෝ POPs වර්ග 12ක් හුනාගෙන ඇත. එම සංයෝග 12 “ Dirty Dozen” හෙවත්  කිළිටි දුසිම ලෙස නම් කර ඇත. මේ  කිළිටි දුසිම පහත සඳහන් පරිදි ප්‍රධාන කාණ්ඩ 3ක් යටතේ වර්ග කළ හැක.

1.      පලිබෝධනාශක -  ‍ඇල්ඩ්‍රීන් (Aldrin), ක්‍‍ලෝරඩේන් (Chlordane), හෙප්ටක්ලෝර්
                            (Heptachlor),   ඩයිෆීනයිල් ට්‍රයික්ලොරො ඊතේන් (DDT), ඩිල්ඩ්‍රීන්
                            (Dieldrin), මයිරෙක්ස් (Mirex), ටොක්සෆීන් (Toxaphene),
                            එන්ඩ්‍රින්( Endrin)
2.      මිනිසා විසින් නිපදවන කාර්මික රසායනික දූෂක -  පොලි ක්ලෝරිනේටඩ් බයිෆීනයිල්ස් (PCB), 
                                                                             හෙක්සා ක්ලොරො  බෙන්සීන්
3.      මිනිසාගේ නොසැලකිළිමත්කම නිසා ඇතිවන දූෂක - ඩ‍යොක්සීන්  හා  ෆියුරාන්

මෙම POPs වල ඇති පාරිසරික හා සෞඛ්‍යමය හානිකර තත්ත්වයන් හේතුවෙන් 2001 වර්ෂයේ පැවති ස්ටොක්හෝම් සමුළුවේදී ජාත්‍යන්තර වශයෙන් මෙම කිළිටි දුසිම භාවිතයෙන් ඉවත් කිරිම හෝ තරයේ තහනම් කිරීම පිළිබඳ තීරණ වලට එළඹී ඇත.

‍ඇල්ඩ්‍රීන් (Aldrin)

කෘෂිකාර්මික බිම් වල පාංශු කෘමීන් මර්දනය සහාත්  වී  සහ තේ  වගාවන්ට හානි කරන කෘමීන් මර්දනය සහාත් බහුලව භාවිතා වේ. එසේම නැවත වනවගා යෝජනා  ක්‍රමයන්හිදී  වේයන් ඇතුළු කෘමීන් මර්දනයටත් ඇල්ඩ්‍රීන් යොදා ගනී. ඇල්ඩ්‍රීන් පරිසරයේදී ඉතා ඉක්මණින් ඩිල්ඩ්‍රීන් බවට බි වැටේ.

මෙම සංයෝග මිනිස් අක්මාවට හා වකුගඩුවලට හානි කරන අතර අධික ලෙස නිරාවරණය වීම මගින් ස්නායු ආබාධ ඇතිවේ.

ක්‍‍ලෝරඩේන් (Chlordane)

සංස්ථානික නොවන ස්පර්ශ හා ආමාශයික විශ කෘමිනාශකයකි. මෙය ශ්‍රී ලංකාවේ කෘමිනාශකයක් ලෙසත් දැව ආරකිෂිතයක් ලෙසත් භාවිතා කරයි. විසිතුරු මල් වගාවේදී හා පොල් වගාවේදී වේයන් පාලනය සදහා භාවිතා කරයි.

පිළිකාකාරකයක් වන මෙම සංයෝග ස්වසන රෝග හා ස්නායු රෝග වලට හේතුවේ.

ඩයිෆීනයිල් ට්‍රයික්ලොරො ඊතේන් (DDT)

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට භාවිතා  කරන ලද කෘත්‍රිමව නිෂ්පාදනය කරන ලද පලිබෝධනාශකයයි.  දෙවන ලෝක යුද්ධයෙන් පසු වසංගතයක්ව පැවති මැලේරියා මදුරු මර්දනය සහා මෙය මුල් වරට භාවිතා කරන ලදී.

පිළිකාකාරක සංයෝගයක් වන මෙය අක්මාවට, වකුගඩුවලට හා ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි කරයි.

ඩිල්ඩ්‍රීන් (Dieldrin)

සංස්ථානික නොවන ස්පර්ෂ ආමාශයික විෂ කෘමිනාශකයක් වන අතර ඉතා දීර්ඝ කාලයක් පරිසරය තුළ විනාශ නොවී පවති. දැව ආරක්ෂකයක් ලෙසත්, ඉදිකිරීම් කර්මාන්තයේදී වේයන් මර්දනය සදහාත්, කෘෂිකාර්මික භෝග ආරක්ෂකයක් ලෙසත් භාවිතා කර ඇත.

එන්ඩ්‍රින්( Endrin)

කෘෂිකර්මාන්තයේදී ක්ෂේත්‍ර භෝග සදහා භාවිතා කර ඇති මෙම කෘමිනාශකය ඉතා දිගු කලක් පරිසරය තුළ හායනය නොවී පවතී.

හෙප්ටක්ලෝර්  (Heptachlor)

ස්පර්ශ ආමාශයික විෂ කෘමිනාශකයකි.  පාංශු කෘමීන් හා වේයන් මර්දනය සදහා යොදා ගෙන ඇත.

ටොක්සෆීන් (Toxaphene)

මෙය කෘමිනාශකයක් මෙන්ම ඇකරිනාශකයක්ද වේ. එලවළු, පළතුරු හා ධාන්‍ය වගාවන් සදහා බහුලව භාවිතා කර ඇත.

හෙක්සාක්ලෝරොබෙන්සීන්

මෙය පළිබෝධනාශකයක් ලෙස ශ්‍රී ලංකාවේ භාවිතා කළ බවට මෙතෙක් සාක්ෂි ලැබී නැත.

මයිරෙක්ස් (Mirex)

මෙයද  ශ්‍රී ලංකාවේ භාවිත කළ බවට සාක්ෂි හමුවී නැත.

පොලි ක්ලෝරිනේටඩ් බයිෆීනයිල්ස්  (PCB)

රසායනිකව අක්‍රීය, ගිනිගන්නා සුළු නොවන, වාෂ්ප පීඩනය අඩු, තාපයට ප්‍රතිරෝධී කාබනික රසායනික සංයෝගයක් වන බැවින් කර්මාන්ත සදහා බහුලව යොදා ගන්නා PCB  දිගුකල් පවත්නා වූ කාබනික දූෂකයකි.

ඩයොක්සීන හා ෆියුරාන

මිනිසාගේ නොසැලකිළිමත්කම නිසා ඇතිවන දූෂක වන මේවා ක්ලොරිනිකෘත කාබනික සංයෝග කාණ්ඩ 2කට අයත් වන අතර ඉතා සමාන රසායනික ගුණ පෙන්වයි. දිගුකල් පවත්නා වූ කාබනික දූෂක වේ. වාෂ්පෂීලී බවින් අඩු අතර අංශු සහ පෘෂ්ඨ වලට තදින් උරා ගනී. අක්මාවේ ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇති කරන අතර ලිපිඩ පරිවෘත්තිය ක්‍රියා වෙනස්වීම් සිදු කරයි.

මූලාශ්‍ර:
                 http://www.sobasri.org/
                 http://www.chem.unep.ch/pops/

                සැකසුම:

                         K.Y.P. දර්ශිකා- විද්‍යා හා තාක්ෂණ නිලධාරී- වත්තල

0 comments:

Post a Comment