November 21, 2014

විටමින් B1 (තයමින්)

විටමින් යනු ඉතා අල්ප වශයෙන් සිරුර තුළ නිෂ්පාදනය කරනු ලබන ආහාර මඟින් ලබා ගත යුතු ඉතා වැදගත් පෝෂක කොට්ඨාශයකි. මේවා ශරීරයේ ආරක්ෂාවට සහ වැඩීමට අත්‍යාවශ්‍යය වේ.එසේ වුවද මේවා ශරීරයට ඉතා සුළු ප්‍රමාණයන්ගෙන් අවශ්‍යය වන අතර ආහාරවල අඩංගු වන්නේද ඉතා සුළු ප්‍රමාණයන්ගෙනි. විටමින් A,B,C,E යනු විටමින් වර්ග සඳහා නිදසුන් කිහිපයකි.
මෙම විටමින් වර්ග අතරින් විටමින් B සංකීර්ණයට අයත් වන්නා වූ විටමින් වර්ගද අපේ ශරීරය තුළ විශාල කාර්යය භාරයක් සිදු කරයි. විටමින් B සංකීර්ණයට පැහැදිලිව හඳුනාගෙන ඇති විටමින් වර්ග අටක් හා ඒවාට අනුබද්ධ තවත් රසායනික සංයෝග කිහිපයක් අයත් වේ. එම විටමින් වර්ග අතරින් විටමින් B1 හෙවත් තයමින් යනු අපගේ ශරීරය තුළ වැදගත් කාර්යක් ඉටු කරන්නා වූ විටමින් B සංකීර්ණයට අයත් විටමින් වර්ගයකි.
 
විටමින් B1 හෙවත් තයමින් සොයා ගන්නා ලද්දේ දහනමවන සියවසේදී පමණය. එකල ජාවා දූපතේ වාසය කළ ඹ්ලන්ද ජාතික වෛද්‍යවරයෙක් බෙරි බෙරි රෝගයට ගොදුරු වූ රෝගීන් විසින් ඉතුරු කරන ලද ආහාර වලින් පෝෂණය කරන ලද කුකළු පැටවුන්ට ද දෙපා පණ නැතිවන සේ බෙරි බෙරි රෝගය වැලදී ඇති බව නිරීක්ෂණය කළේය. එම කුකුළු පැටවුනට රෝගීන් ඉතුරු කළ බත් වෙනුවට සම්පූර්ණ කුඩ්ඩ සහිත සහල් ඇට ආහාරය සඳහා දුන් පසු මෙම කුකළු පැටවුන්ට සුවය ලැබෙන බව නිරීක්ෂණය කළේය. මේ අනූව සහල් කුරුට්ටේ සහ බිජාංකුරයේ බෙරි බෙරි ස්නායු රෝගය වළක්වන සුළු සංයෝගයක් තිබෙන බව හදුනා ගන්නා ලදි.සහල් පෑහීම නිසා එම සංයෝගය ඉවත් වන බව හඳුනා ගන්නා ලදි. මෙම සංයෝගය පසුව විටමින්  B1 හෙවත් තයමින් ලෙස හඳුන්වන ලදි. මේ නිසා කුරුට්ට සහිත සහල් අනුභව කිරීම නිසා ආසියාතිකරයේ බෙරි බෙරි උවදුර බොහෝ දුරට අඩුවී ගොස් ඇතත් නොදැනුවත් කම නිසා සමහර ප්‍රදේශවල මෙම රෝගය අදටත් දැක ගත හැකිය.
තයමින් හෙවත් විටමින් B1 වෙනත් එන්සයිම සමඟ එක්ව ශරීර පරිවෘත්තිය ක්‍රීයා උත්තේජනය කරයි. පිෂ්ටය බිඳී ශක්තිය පිට කිරීමේ ක්‍රීයාවලිය සඳහා විටමින් B1 අවශ්‍යය  වේ. තයමින් නොමැති වු විට අර්ධ වශයෙන් බිඳී ගිය පිෂ්ඨය ඉතුරු වේ. ඒවා සිරුර තුළ එකතුවන බැවින් පිෂ්ඨය මඟින් ශක්තිය ලබා ගැනීමේ ක්‍රියාවට බාධා වේ. මේ නිසා ස්නායු පද්ධතියේ සහ මොළයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍යය ශක්තිය ලබා ගත නොහැකි වන අතර ස්නායු පද්ධතියට හානි වීමට ද ඉඩ ඇත. එමෙන්ම මේදය හා ප්‍රෝටීන මඟින් ශක්තිය ලබා ගැනීමේ ක්‍රියාවටද විටමින් B1 (තයමින්) අවශ්‍යය වේ.

විටමින් B1 (තයමින්) ජලයේ දිය වන සුළු බැවින් තයමින් අඩංගු එළවළු හා පළතුරු කපා සේදීමේදී හා ඉවුම් පිහුම් කිරීමේදී ඒවා ඉවත් වේ. මේ නිසා තයමින් අඩංගු ආහාර බොහෝ වේලා ජලයේ ගිල්වා තැබීම නොකළ යුතු අතර එළවළු හා පළතුරු කැපීමට පෙර සේදිය යුතුය. එමෙන්ම එම ආහාර පිසීමේදී අඩු ජල ප්‍රමාණයක් භාවිතා කළ යුතුය. එපමණක් නොව 1000C උෂ්ණත්වයට වැඩි උෂ්ණත්වයක් යටතේ දීර්‍ඝ කාලයක් ආහාර පිසීමද නොකළ යුතුය. කුරුට්ට සහිත ධාන්‍යය, රනිල බීජ, තෙල් බීජ ආදිය සිසිල් ස්ථානවල ගඩඩා කර කෘමීන්ගෙන් සිදු වන හානිවලින් තොරව තබා ගත හැකිනම් ඒවායේ අඩංගු විටමින් B1 ආරක්ෂා කර ගත හැකිය. 
           
යීස්ට් සහ සූර්යයකාන්ත බීජවල විටමින් B1 (තයමින්) බෙහෙවින් අඩංගු වේ.සෝයා බෝංචි, රටකජු, තල හා කව්පි බීජ වල වැඩි වශයෙන් තයමින් අඩංගු වේ. සහල් කුරුට්ටේ තයමින්(වි.B1) බොහෝ ප්‍රමාණයක් ඇතත් සහල් ඇටය සම්පූර්ණයෙන් ගත් කළ අඩු ප්‍රතිශතයක් පවතී. පිෂ්ඨය ප්‍රධාන කොටගත් ආරහාරවලින් ශක්තිය ලබා ගන්නා පුද්ගලයින් හට ශක්ති ජනනය සඳහා විටමින් B1 හෙවත් තයමින් අත්‍යාවශ්‍ය විටමින් වර්ගයකි. එම නිසා සහල් ඹ්නෑවට වඩා පෑහීම සහ සේදීම සිදු නොකළ යුතුය.     

උපුටැ ගැනීම:    http://wikipedia/wiki/Thiamine

                     පෝෂණය පිළිබඳ ප්‍රකාශනය -   කෘෂිකර්ම දෙපාර්තමේන්තුව                                                                                                     

0 comments:

Post a Comment