June 30, 2014

පරිසර සමතුලිතතාවයට බලපාන බැලාස්ට් ජල (Ballast Water) තර්ජනය

ලොව පුරා භාණ්ඩ ප්‍රවාහනය බහුලවම සිදුවන්නේ නැව් මගිනි.  නැව් මගින් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී නැවේ සමතුලිතතාවය සහා යොදා ගන්නා ජලය බැලාස්ට් ජලය ( Ballast Water)  ලෙස හැදින්වේ. ඒ අනුව, එක් එක් වරායන්හිදී භාණ්ඩ පැටවීමේදී හා බෑමේදී ඊට සමානුපාතික ලෙස බැලාස්ට් ජලය ඉවත් කිරීම හෝ පිරවීම මගින් නැවේ සමතුලිතතාවය පවත්වා ගනී. නැවකට භාණ්ඩ පැටවීමේදී එම වරාය ආශ්‍රිත සමුද්‍රයට බැලාස්ට් ජලය මුදා හැරීම සිදුවන අතර එලෙසින් සමුද්‍රයට එකතුවන්නේ ආගන්තුක පරිසරයකින් රැගෙන එන ආගන්තුක නව ජීවී විශේෂ සහිත ජලයයි. මෙය සමුද්‍ර දූෂණය කෙරෙහි බලපාන විශාලතම තර්ජන වලින් එකක් බවට පත්වී ඇත්තේ අද ලෝකයේ භාණ්ඩ ප්‍රවාහනයෙන් 90% ක් පමණම නැව් මගින් සිදුවන බැවිනි.
බැලාස්ට් ජලය සමග නව  පරිසරයට එකතුවන ආගන්තුක ජීවීන් බොහෝ විට වෙනත් පරිසරයක සිට
සංක්‍රමණය වූ ආක්‍රමණශීලී ජලජ  ජීවීන්, ශාක හෝ ව්‍යාධීජනකයන් විය හැක. විද්‍යාඥයන් ගණන් බලා ඇති ආකාරයට ලොව වටා වාර්ෂිකව බැලාස්ට් ජලය මෙට්ට්‍රික් ටොන් බිලියන 10-15 දක්වා ප්‍රමාණයක් සංසරණය වන අතර එමගින් දෛනිකව ආගන්තුක ජීවී විශේෂ (Alien Species) 3000 ක් පමණ එක් පරිසරයක සිට තවත් පරිසරයකට සංක්‍රමණය වේ. මෙලෙස සංසරණය වන සියළුම  ජීවී විශේෂ එම චාරිකාව තුළදී හා තමා ඇතුළුවන නව පරිසරය තුළදී නොනැසී නොපවතින අතර එසේ නොනැසී ඉතිරිවන ජීවීන් ආක්‍රමණික ජීවීන් (bio invaders) ලෙස සැලකිය හැකිය.
zebra mussel
බැලාස්ට් ජලය  සමග සංසරණය වූ ලොව කරදරකාරී ජීවී විශේෂ කිහිපයක් නම් comb jelly, sea star, zebra mussel, Asian kelp, European green crab, toxic algae වර්ග හා  cholera ව්‍යාධිකාරක.
Asian kelp
European green crab
 
comb jelly
එලෙසින් බැලාස්ට් ජලය මගින් එක් පරිසර පද්ධතියක සිට වෙනත් පරිසර පද්ධතියකට සංක්‍රමණය වූ   ආගන්තුක ශාක හෝ සත්ත්ව විශේෂ නව  පරිසරයේ භෞතික හා ජෛව රසායනික තත්ත්වයන්ට ඔරොත්තුදීමේ හැකියාව සහිත නම්  නව  පරිසරය තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්තවී පරිසර සමතුලිතතාවයට බලපෑම් ඇති කරයි. එනම්,
·        එම පරිසරයට උරුමකම්කී අනෙකුත් ජීවීන්ගේ ආහාර දාම මත බලපෑම් ඇති කිරීම හා විලෝපිකයකු සේ ක්‍රියා කිරීම,   ඔවුන්ගේ අභිජනන නිකේතන වලට බලපෑම් ඇති කිරීම, ලෙඩ රෝග ඇති කරන පරපෝෂිතයකු සේ  ක්‍රියා කිරීම,   පරිසරයට විෂ එකතු කිරීම,     අධික ලෙස ගහණය වර්ධනයවීම මගින් අනෙකුත් ජීවීන්ගේ වාසස්ථාන ආක්‍රමණය කිරීම, ජල සැපයුම් මාර්ග හා කාණු පද්ධති අවහිර කිරීම හා ජල ජීවී වගාවන්ට හානි පැමිණවීම.
එසේම, සංක්‍රමණය වූ  ජීවීන්ගෙන් දූෂිත වූ ජලය පරිභෝජනය කිරීම නිසාත්, සංක්‍රමණික ජීවීන් මගින් විෂ වූ මත්සයන් ආහාරයට ගැනීම නිසාත් විවිධ රෝගාබාධ වැළඳීමටත්,  මරණය වැනි භයානක සෞඛ්‍ය තත්ත්වයන්ට  මුහුණදීමටත් සිදුවිය හැකිය.
මේ තර්ජනයෙන් මිදීමට නම් බැලාස්ට් ජලය මාරු කිරීම ආරක්ෂිතව හා නිසි කළමණාකාරීත්වයකින් යුතුව සිදු කළ යුතුය. මෙහිදී වඩාත්ම වැදගත් වන්නේ බැලාස්ට් ජලය පිරිපහදු කර මුදා හැරීමයි. බැලාස්ට් ජල තර්ජනය ගෝලීය ප්‍රශ්නයක් බවට පත්වී ඇති බැවින් ජාත්‍යන්තර සමුද්‍රිය සංවිධානය (IMO) මගින් බැලාස්ට් ජල සම්මුතියක් සකස් කර ඇති අතර ලෝකයේ බොහෝ දියුණු රටවල් බැලාස්ට් ජල කළමණාකරණය සහා ජාතික වශයෙන්ද නීතී සකස් කරගෙන ඇත.
කෙසේ වෙතත් මේ ක්‍රියාදාමයන් නිසි  අයුරින් සිදු නොවන්නේ නම් සාගර පරිසර පද්ධතියේ සමතුලිතතාවය බිවැටීම කිසිවකුට හෝ වළක්වාලිය නොහැක.

මූලාශ්‍ර:

            සැකසුම:

                         K.Y.P. දර්ශිකා- විද්‍යා හා තාක්ෂණ නිලධාරී- වත්තල

2 comments:

Post a Comment