September 24, 2014

මහපොළවේ මහා සුවදායි බලය

ජීවය ආරම්භයේ සිටම  මහපොළව හා  මිනිසා අතර ඇත්තේ අපූරු සබැඳියාවකි.  මහපොළව මිනිසාගේ  පැවැත්මට බොහෝ දේ දායාද කර ඇත. එසේම සෑම මිනිස්  ක්‍රියාකාරීකමක්ම සිඳුකරනුයේ ද මේ මහපොළව මත සිටය. මිනිස් ජීවිතය හා පුදුමාකාර අයුරින් බද්ධ වී ඇති මෙම මහපොළව සතුව රෝග සුව කිරීමේ මහා බලයක් ඇති බව ඔබ දැන සිටියාද ?  එම අපූරු බලය අත් විඳීමට ඔබට අවශ්‍ය නම් සුවපහසුව සඳහා ඔබ පැළඳ සිටින පාවහන් ඉවත් කර   නිරාවරණ දෙපා වලින්  මහ පොළව මත ඇවිදීමට  ඔබ සූදානම් විය යුතුයි.
නිරාවරණ දෙපා වලින් (පාවහන් නොමැතිව) මහ පොළව මත ඇවිදීමෙන් සිතට මෙන්ම ගතටද  මහත් සුවයක් අත්විඳිය හැකි බව අතීතයේ සිටම මානවයා දැන සිටියේය . මේ පිළිබඳව නොයෙකුත් පර්යේෂණ සිදුකළ නූතන මානවයාද රෝග සුව කිරීමේ පුදුමාකාර බලයක් මහපොළව සතු බව මේ වන විට ඔප්පු කර ඇත. ඒකෙසේදැයි මඳක් විමසා බලමු.
මිනිසාගේ ප්‍රධානම සංවේදී ඉන්ද්‍රිය වන්නේ සමයි. එමෙන්ම මිනිස් සම ඉතා හොඳ සන්නායකයක් ලෙසද ක්‍රියා කරයි. විශේෂයෙන්ම මිනිසාගේ යටිපතුලේ මැද ප්‍රදේශයේ  බලවත් සන්නායක ගුණ ඇති බව කටුචිකිත්සකවරුන් පවා හඳුනාගෙන ඇත. අද වන විට සීඝ්‍රයෙන් පැන නඟිමින් පවතින බොහොමයක් නවීන  රෝග වලට නිරාවරණ දෙපා වලින් ඇවිදීම නොහොත්   “Earthing”  සංකල්පයෙන් සුවයක් ලබා ගැනීමට හැකිවන බව වෛද්‍යවරු පෙන්වා දෙති.

ඒ කෙසේද  ?
 අපගේ බොහොමයක් ලෙඩරෝග වලට හේතුව වන්නේ  ශරීරය තුල වැඩිපුර ඇති ක්‍රියාකාරි  ඔක්සිජන් සංඝටක (reactive oxygen species) හෙවත් නිදහස් මුක්ත ඛණ්ඩ  ( free  radicals) බව සොයාගෙන ඇත.  ශරීර අභ්‍යන්තරයේ සිඳුවන  පරිවෘත්තීය ක්‍රියාවලියේදී  (metabolism) අතුරුඵලයක්  ලෙස මෙන්ම ප්‍රතිශක්තීකරණ ක්‍රියාවලියේදී  මෙම නිදහස් මුක්ත ඛණ්ඩ ශරීර අභ්‍යන්තරය තුල එක්රැස්වේ. මේවාට ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කිරීමට හැකියාව ඇත. එනම් මේවා ඔක්සිකාරක වේ. එසේම මෙම නිදහස් මුක්ත ඛණ්ඩ ධන ආරෝපිත වේ. මෙම නිදහස් මුක්ත  මිනිසාගේ නිරෝගීභාවයට අත්‍යවශ්‍ය වන්නා සේම වැඩිපුර ඇති නිදහස් මුක්ත ඛණ්ඩ මිනිසාට හානිදායක වන බව වෛද්‍යවරු පවසති.  ශරීරයට ඇතුළුවන බැක්ටීරියා විනාශ කිරීමට මෙන්ම විනාශ වූ  සෛල සහ පටක අලුත්වැඩියා කිරීමට ද  මෙම නිදහස් මුක්ත ඛණ්ඩ වලට හැකියාව ඇත .එබැවින් මේවා මිනිස් ශරීරයට අත්‍යවශ්‍ය වේ. එසේම නිරෝගී සෛල තුලට ගොස් ඒවා විනාශ කර ශරීරයේ නොයෙකුත් ආකූලතා ඇති කිරීමට ද වැඩිපුර ඇති නිදහස් මුක්ත ඛණ්ඩ වලට හැකියාව ඇත.
අපට වැළදෙන බොහොමයක් ලෙඩ රෝග වලට (පිළිකා, දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘද රෝග වැනි) හේතුව වන්නේ වැඩිපුර ඇති   නිදහස් මුක්ත ඛණ්ඩයි. එපමණක් නොව මිනිසා වයසට යෑමට හේතුවන ප්‍රධාන සාධකය වනුයේද මෙම වැඩිපුර ඇති   නිදහස් මුක්ත ඛණ්ඩ බව පර්යේෂකයින් විසින් සොයාගෙන ඇත. මෙනිසා ශරීර අභ්‍යන්තරයේ වැඩිපුර ඇති නිදහස් මුක්ත ඛණ්ඩ උදාසීන කර ගැනීමෙන් මිනිසාට සුවයක් ලබා ගත හැකි බව ඔවුන්ගේ මතය වී ඇත. නිදහස් මුක්ත ඛණ්ඩ ඔක්සිකාරක බැවින් ඒවා උදාසීන කිරීමට ප්‍රතිඔක්සිකාරක අවශ්‍ය වේ. අප දිනපතා ගන්නා ආහාර වලින් සහ ශ්වසන ක්‍රියාවලියෙන් ශරීරය තුලට ප්‍රතිඔක්සිකාරක ඇතුළු වුවද  ශරීර අභ්‍යන්තරයේ වැඩිපුර ඇති සියළුම නිදහස් මුක්ත ඛණ්ඩ උදාසීන කිරීමට ඒවා ප්‍රමාණවත් නොවේ.රෝග සෑදීමට මෙන්ම වයසට යෑම තීරණය කරන ප්‍රධාන සාධකයක් වවන නිදහස් මුක්ත ඛණ්ඩ වැඩිපුර ප්‍රමාණයක් උදාසීන කර ගැනීමට ක්‍රමවේදයක් සොයා ගත හැකි නම් එය මහත් අස්වැසිල්ලක් වනු ඇත.
සැබවින්ම අප දෙපා තබා ඇවිදින මහපොළව අපට එය සිදුකර දීමට සූදානම්ය. මහපොළව සතු රෝග සුව කිරීමේ මහා බලය එය වේ.

ඒ කෙසේද?
අප දෙපා තබා ඇවිදින මහපොළව මත ඉලෙක්ට්‍රෝන පිරී පවතී. අවට පරිසරයේ නිරන්තරයෙන් සිඳුවන වර්ෂා , අකුණු කෙටීම් වැනි ස්වාභාවික ක්‍රියාවලීන්ගේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවන  ඉලෙක්ට්‍රෝන පෘථිවිතලය මත ගබඩා වී ඇත. සොයාගෙන ඇති පරිදි මේවා ඉතා හොඳ ප්‍රතිඔක්සිකාරක වේ. පාවහන් රහිතව නිරාවරණ දෙපා වලින් මහපොළව මත ඇවිදීමේදී  ( earthing) පෘථිවියේ ඇති ඉලෙක්ට්‍රෝන අපේ සම හරහා ශරීරයට ඇතුළු වේ. එමඟින් ශරීරය තුල ඇති අනවශ්‍ය නිදහස් මුක්ත ඛණ්ඩ උදාසීන වේ.ජලය සහිත මතුපිටක විශේෂයෙන්ම පිණි වැටුණු තණකොළ මත හෝ මුහුදු වෙරළක ඇවිදීමෙන් ශරීරය තුලට ඉලෙක්ට්‍රෝන උරා ගැනීමේ හැකියාව වඩාත් පහසු වන බව හෙලිවී ඇත.

Earthing  ක්‍රමවේදයෙන් මිනිසාට ලබා ගත හැකි ප්‍රයෝජන කීපයක් පහත දක්වා ඇත.
1.      නින්දේ අක්‍රමිතා අඩු වීම.
2.      දරුණු වේදනාත්මක කැක්කුම් සහ සන්ධි කැක්කුම් වලට සහනයක් ලබා ගත හැකි වීම.
3.      ශ්වසන පද්ධතියේ ක්‍රියාකාරිත්වය  වැඩිදියුණු කිරීම.
4.      ආතරයිටිස් , රූමැටික වැනි ආබාධ වලට සහනයක්  ලැබීම
5.      අධිරුධිර පීඩනය අඩු වීම.
6.      මානසික ආතතිය අඩු වීම.
7.      ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩිදියුණු  වීම
8.      රුධිර සංසරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කිරීම
නමුත් අපි නිරතුරුව පැළඳ සිටින පාවහන් නිසා ස්වභාවිකව ලබාගත හැකි මේ මහඟු ඖෂධය අපට අහිමි වී යයි. පාවහන් නොමැති නිරාවරණ දෙපා වලින් මහපොළව මත ඇවිදීමට ඔබට හැකි නම් ඒ මහා බලය ඔබටත් අත්විඳිය හැකිවනු ඇත. නිරාවරණ දෙපා වලින් ඇවිදීම දිනපතා පුරුද්දක් කර ගැනීමට ඔබත් උත්සාහ කර බලන්න.

Earthing  - The most important discovery ever
( by  Clinto Ober, Stephen T . Sinatra  M.D.  Martin Zucker)
ග්‍රන්තය ඇසුරින් සකසන ලද්දේ
කාංචනා හෙට්ටිආරච්චි
විද්‍යා හා තාක්ෂණ නිලධාරි
කැලණිය

0 comments:

Post a Comment