September 2, 2014

සොබා දහමේ නැනෝ තාක්ෂණයේ යෙදුම් කිහිපයක්

Lotus Effect (නෙළුම්) 
නෙළුම් කොළයක් මතට වතුර බිඳුවක් වැටුන විට සිදුවන දෙය ඔබ අප කවුරුත් දැක ඇත. එමෙන්ම එහි මතුපිට පෘෂ්ඨය ඉතාමත් සුපිරිසිදුය. එබැවින් නෙළුම් ශාකය ස්වයංසේදුම් ශාකයක් ලෙස හදුන්වයි. නෙළුම් කොළය ඉතාමත් ජලභීතිකය (Hydrophobic). මතුපිට පෘෂ්ඨය හා ජල පෘෂ්ඨය අතර ස්පර්ශ කෝණය මත ද්‍රව්‍යයක් ජලභීතික ද ජලකාමී ද (Hydrophillic)යන්න තීරණය වේ. ස්පර්ශ කෝණය (Contact Angle) අංශක 90 ට අඩුනම් ජලකාමීද,
ස්පර්ශ කෝණය අංශක 90 ට වැඩි නම් ජලභීතික ද වන අතර සමහර ශාක ස්පර්ශ කෝණය අංශක 160 කට වඩා වැඩි වන අතර එම ශාක සුපිරි ජලභීතික(Super Hydrophobic)ලෙස හදුන්වයි.නෙළුම් පත්‍රවල මතුපිට පෘෂ්ඨය හා ජල පෘෂ්ඨය අතර ස්පර්ශ කෝණය අංශක 170 කට පමණ ළඟා විය හැක.නෙළුම් කොළයේ ඇති නැනෝ ව්‍යුහ සැකැස්ම (නැනෝ අංශු ගැටිති ) නිසා ජලභීතික බව ඇතිවී ඇත.එම නැනෝ ගැටිති මගින් පත්‍රය මත වැටෙන ජල බිංදු ගැස්සේ. එසේ වන්නේ ජලයේ පෘෂ්ඨික ආතතිය වැඩිවීම හේතුවෙනි. එවිට ජලබි ගෝලාකාර වී මතුපිට නොරැදී ගලා යයි. ඉන්පසු ජල බින්දු ගුරුත්වය සමග පහළට ගලා යාමේදී නෙළුම් කොළය මත ඇති දූවිලි අංශූන්ද ඉවත් කරගෙන යයි.
 හූනාගේ පාද
හූනාට ඕනෑම පෘෂ්ඨයක පහසුවෙන් ඇවිද යා හැක. හූනාගේ පාද වල ඇති විශේෂ නැනෝ ව්‍යුහ සැකැස්ම හේතුවෙන් ඇලෙන සුළු භාවයක් ඇතිවී ඇත. ඉතා කුඩා(නැනෝ) පරිමාණයේදී හූනාගේ පාද වල ඇති නැනෝ නාලිකා සහ ඇලුම් පෘෂ්ඨය අතර ඇතිවන අන්තර්අණුක ආකර්ෂණය හේතුවෙන් ඇතිවන වැන්ඩවාල්ස් බල නිසා හූනාගේ පාද වලට මෙම ඇලෙන සුළු භාවය ඇතිවී ඇත.
ඇලුම් පෘෂ්ඨය සමාන්තරව පහළට ඇදෙන විට වැන්ඩවාල්ස් බල වල ඇති ප්‍රබල තාව හේතුවෙන් ඇලීම සිදුවේ. පෘෂ්ඨයට ලම්භක වන විට ඇලීම සිදු නොවේ. එනිසා හූනාට පහසුවෙන් ඕනෑම පෘෂ්ඨයක ගමන් කළ හැක.

මකුළු දැල්
ප්‍රෝටීනමය නැනෝ පදාර්ථ කෙදි මගින් සෑදී ඇති මකුළු දැල් නැනෝ පරිමාණයේදී වානේ වලට වඩා ශක්තිමත්ය.එහි ප්‍රත්‍යස්ථ බව ඉහළවේ.
1.3 GPa ක පමණ (Tensile Strength) ආතන්‍ය ප්‍රබලතාවක් ඇති අතර තරමක ඝනත්වය අඩු ද්‍රව්‍යයක් ලෙස සැලකේ. තවද එක සමාන බරක් ඇති වානේ සහ මකුළු දැලක් සැලකූ විට මකුළු දැලෙහි ශක්තිය වානේ මෙන් පස් ගුණයක් පමණ වේ යැයි සැලකේ. 


ටෝකන්(Toucan) නැමැති පක්ෂියාගේ හොට 

ටෝකන් නැමැති පක්ෂියාගේ හොට සෑදී ඇත්තේ නැනෝ පරිමාණයේ එකට ඇලී පවතින කෙරටීනමය (Keratin Tiles) ඵලක වැනි ව්‍යුහයකිනි. එනිසා ඒවා ශක්තිමත් මෙන්ම සැහැල්ලු වේ. 
තවද හොටෙහි අභ්‍යන්තරයේ ඇති නැනෝ ව්‍යුහ සැකැස්ම නිසා ශක්තිය අවශෝෂණය කිරීමේ හැකියාවද වැඩිය.
 
විවිධ වර්ණ වලින් සමන්විත සමනල පිහාටු


 ස්ථර වශයෙන් සකස්වූ සමනල පිහාටු වල විශේෂත්වය වන්නේ නැනෝ පරිමාණයේ ඇති ව්‍යුහ සැකැස්ම නිසා විවිධ වර්ණයන්ගෙන් යුත් පිහාටු ඇතිවීමයි. ස්ථර වශයෙන් ඇති නැනෝ ව්‍යුහ අතර ඇති පරතරය හේතුවෙන් ආලෝකයේ ඇතිවන Coherent Scattering නිසා නිල්, කොළ, රතු ආදී වර්ණ ඇති ලෙස පිහාටු වල දිස්වේ.


හිරු පෙරණයක් (Sun screen) වූ හිපොපොටේමස් සතාගේ දහඩිය
 හිපොපොටේමස් නැමැති සත්වයාගේ දහඩිය හිරු ආවරණයක් ලෙස ක්‍රියාකරයි එමෙන්ම එය ප්‍රතික්ෂුද්‍ර ජීවී ද්‍රව්‍යයක් ලෙසත් ජලකාමී ද්‍රව්‍යයක් ලෙසත් හැදින්වේ. ලේ දහඩිය (Blood Sweat) ලෙස හැදින්වූවත් සත්‍යය වශයෙන් එය ලෙයත් නොවන දහඩියත් නොවන  ද්‍රව්‍යයක් වේ. මෙහිදී සිදුවන රසායනික ක්‍රියාවලියේදී පිටවන රතු පැහැති hipposudoric acid  නිසා දහඩිය නැනෝ පරිමාණයේ නැනෝ මීටර 200 -600  තරංග ආයාමය සහිත ආලෝකය අවශෝෂණය කරන ද්‍රව්‍යයක්  බවට පත්වේ. එනිසා එය ස්වභාවික හිරු පෙරණයක්(Sun screen) ලෙස ක්‍රියා කරන අතර ප්‍රතික්ෂුද්‍ර ජීවී ද්‍රව්‍යයක්ද වේ.


උපුටා ගන්නා ලද්දේ

ඩී.එස්. උඩහේන්තැන්න
විද්‍යා හා තාක්ෂණ නිළධාරි

0 comments:

Post a Comment