December 8, 2013

බයිපාස් සැත්කම අතීතයට එක්වෙයිද?

බයිපාස් සැත්කම අතීතයට එක් කරන අළුත්ම සොයා ගැනීමක් ඉදිරිපත් කිරීමට ටෙල් අවිව් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් සමත් වී ඇත. ප්‍රෝටීනයක් එන්නත් කිරීම මඟින් මිනිස් හදවතේ රුධිර වාහිනි ප්‍රතිවර්ධනය කිරීම මෙම නවතම සොයා ගැනීමයි.
හෘද රෝගයකදි රුධිර වාහිනි අවහිර වීම හෝ මියයෑම හේතුවෙන් හදවතට ඔක්සිජන් සැපයීම අඩාල වීම නිසා හෘදයාබාධයකට නැඹුරුවීම සිදුවේ. වෛද්‍ය බ්‍රීටා හාඩි (Taus Shackler School of Medicine ) සහ ඇගේ පර්යේෂක කණ්ඩායම විසින් නිපදවා ඇති ප්‍රෝටීනමය එන්නත මාංශ පේශින්ට සෘජුවම ඇතුලත් කිරීම මඟින් කුඩා රුධිර වාහිනි ප්‍රතිවර්ධනය වීම ආරම්භ වී ඇත. හදවතේ වර්ධනය වන නව රුධිර වාහිනි ලොව වටා සිටින මිලියන ගණන් ජනතාවට ජිවිතය පිළිබඳව නව බලාපොරොත්තු ගෙන එනු ඇත.

"මානවයාගේ ප්‍රෝටීන ප්‍රතිකර්ම වලට පසුබිම් වු ජෛව තාක්ෂණ විද්‍යාව ඉතා සංකීර්ණ වුවද අපේ ඉලක්ක ගත ප්‍රතිඵලය සරල මෙන්ම විසදුමද සංකීර්ණ බවින් තොරයි. මේ දක්වා සත්ව ආකෘති භාවිතයෙන් සිදු කළ පර්යේෂණ වලදී පාද වලට ඖෂධීය එන්නතත් ලබාදීමෙන් කිසිදු අහිතකර ප්‍රතිඵල හෝ ආසාත්මිකතාවයක් ඇතිවී නැති බව" වෛද්‍ය හාඩි පවසයි.

මෙම ප්‍රෝටීන් ද්‍රාවණය (Stent) ස්ටේන්ට් (Mesh Tube) සඳහා ආලේපනයක් ලෙසද යොදා ගත හැකියි. සාමන්‍යයෙන් ස්ටේන්ට් තැන්පත් කිරීම සිදු කරන විට රුධිර කැටි ඇතිවීමේ අවදානම ඉහළ බැවින් ඒ සඳහා රුධිරය ඝනකම අඩුකරන ද්‍රව්‍ය හෙවත් blood thinners භාවිතා කෙරේ. ස්ටේන්ට් (Stent) එකක් පෙප්ටයිඩ් මඟින් ආලේපනය කිරීමෙන්, ස්ටේන්ට් එකේ මතුපිට තුනී පටලයක් නිර්මාණය කිරීම සඳහා අධශ්චර්මීය කඳ සෛල උත්තේජනය වේ. ස්ටේන්ට් එක මත ඇති මෙම අධශ්චර්මීය සෛල හේතුවෙන් රුධිරය කැටි ගැසීම වැලැක්වීමට භාවිතා කරන blood thinners භාවිතා කිරීමට අවශ්‍ය නොවෙන බව වෛද්‍ය හාඩි පවසයි.

ආයෝජන ඉලක්ක සපුරාගත හොත් වසර 2 ක් ඇතුලත මෙම පර්යේෂණයට අදාල දුලක (Toxicity) අධ්‍යයනයන් සහ පළමු පෙළ අත්හදා බැලීම් සම්පුර්ණ කර ගත හැකි බව පර්යේෂකයින් පවසයි. පර්යේෂක කණ්ඩායම පාදවල කොටස් කපා ඉවත්කරන ශෛල්‍යකර්ම (amputations) වැලැක්වීම සඳහා අධ්‍යයනයන් ආරම්භ කළ අතර නව රුධිර වාහිනි වර්ධනය වේගවත් කරන මිනිස් සිරුරේ ඇති ප්‍රෝටීන පිළිබඳ උපකල්පනයන් සිදුකරන ලදී.

වෛද්‍ය හාඩි ඇගේ අධ්‍යයනයන් ආරම්භ කළේ පෙප්ටයිඩ් සියල්ල අධ්‍යයනය කර, විද්‍යාගාරයේදී ඒවා පරීක්ෂා කිරීමෙන් අනතුරුව මුලික ප්‍රතිඵල තහවුරු කර ගැනීමෙනි. අනතුරුව ඇය වෙන් කරගත් සහ කෘත්‍රිමව සංස්ලේෂණය කරන ලද පෙප්ටයිඩ් කීපයක් ගෙන ඒවා දියවැඩියාව හේතුවෙන් මියයමින් පවතින පාද සහිත මීයන් යොදා ගෙන පරීක්ෂාවට ලක් කරන ලදී.

"ඉතා කෙටි කාලයක් තුළ කේෂනාලිකා සහා ඉතා කුඩා රුධිර වාහිනි නිපද‍වෙන අයුරු අපි දුටුවා. සති තුනකට පසු ඒවා වර්ධනය වී රුධිර සංසරණ පද්ධතිය හා එකතු වුණා." යැයි වෛද්‍ය හාඩි පවසයි. රුධිර සංසරණය සීමා වී පවතින මීයන්ගේ රුධිර වාහිනි සම්පුර්ණයෙන් යථා තත්වයට පත්කර ඔවුන්ගේ පාද රැක ගැනීමට ඇයට හැකියාව ලැබිණි.

හෘද රෝගීන් සඳහා මෙම පර්යේෂණ ප්‍රතිඵල යොදාගෙන අධ්‍යයනයන් සිදුවුයේ ඉන් පසුවයි. මෙම තාක්ෂණය රුධිර වාහිනි දැලක් මෙන් නැවත වර්ධනය වීම සනාථ කරන අතර එමඟින් හෘදය ශක්තිමත් වේ. නුදුරු අනාගතයේ දී පෙප්ටයිඩ එන්නත් භාවිතා කළහොත් නැවත බයිපාස් සැත්කම් සිදු කිරීම අවශ්‍ය නොවන බව වෛද්‍ය හාඩිගේ නිගමනයයි.

මෙම අධ්‍යයනය Biochemical Pharmacology හි ප්‍රකාශනයට පත්කර ඇත.

විශේෂ ස්තූතිය : තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම්, ධාරා විජයතිලක මැතිනිය

0 comments:

Post a Comment