October 3, 2013

ග්‍රහයන් යන එන ඔත්තු බැලීම



ස්විස්ටර්ලන්ත ජාතික තාරකා විද්‍යාඥයින්දෙදෙනෙකු වන මයිකල් මේයර් සහ ඩිඩියර් එලෝස් අළුත් ග්‍රහ වස්තුවක් පිළිබඳව තොරතුරු සොයා ගත්හ. මෙම ග්‍රහ වස්තුව අපේ සෞරග්‍රහ මණ්ඩලයට අයත් එකක් නොවන බවත් තහවුරු විය. එය අයත් වූයේ පෙගාසි 51 තාරකාවටයි. ස්විස් ජාතික තාරකා විද්‍යාඥයන් දෙදෙනාගේ මේ සොයා ගැනීමත් සමඟ පෘථිවියෙන් පරිබාහිරව ග්‍රහලෝක ඇතිබව පළමුවෙන්ම අනාවරණය වූයේය. ඒ 1995 වසරේ ඔක්තෝම්බර් 05 වැනිදාය.

ඇමරිකා කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්‍ෂය ඔස්සේ ලබා ගන්නා තොරතුරු විශ්ලේෂණය කිරීමත් සමඟම තාරකා විද්‍යාඥයින් තුල පැන නැගෙන ගැටළු වැඩිවිය. කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්‍ෂය හරහා මෙම මන්දාකිණියට අයත් තාරකා එක්ලක්‍ෂ පනස්දහසක් පමණ දැකගන්ට ලැබිණි. මේ අතර යුරෝපයේ CORT (Convection Rotation & Planetary Transition) අභ්‍යවකාශ වැඩ පිළිවෙල යටතේ පාෂාණමය ග්‍රහවස්තු පිළිබඳ තොරතුරු අනාවරණය වීමට පටන් ගත්තේය. මෙවැනි අභ්‍යවකාශ වැඩපිළිවෙල හා දුරේක්‍ෂ හරහා සෑම මාසයකම මේ සෞරග්‍රහ මණ්ඩලයට අයත් නොවන වෙනත් ග්‍රහලෝක ගැන වාර්තා වන්නට විය. ග්‍රහලෝක පිළිබඳ වාර්තා වන්නට පටන් ගත් විට ඒවා සම්බන්ධ තවත් බොහෝ ගැටළුවක් පැන නැගීම වළක්වන්නට නොහැකි විය.

විද්‍යාඥයින් පවසන අන්දමට ග්‍රහලෝක හඳුනාගැනීම තරමක් අපහසුය. එයට හේතුව ග්‍රහලෝක ආලෝකය පරාවර්තනය කිරීමයි. අනෙක් අතට ඒවා තාරකා සමඟ සසඳන විට ඉතා කුඩාය. එසේ වුවත් ග්‍රහ වස්තූන් තාරකා මත බලපෑමක් ඇති කරයි. මේ බලපෑම වූ කලී ග්‍රහලෝකය අයත් ග්‍රහ මණ්ඩලයේ තාරකාව ඉදිරියෙන් ග්‍රහලෝකය චලනය වන විට තාරකාවෙන් නිකුත් කරන ආලෝකයේ දිස්නය අඩු කිරීමයි. තාරකාවේ ආලෝකය දීර්ඝ කාලයක් නිරීක්‍ෂණය කරමින්ද, එය මනිමින්ද, තොරතුරු ලබා ගන්නා විට ග්‍රහ වස්තුවත් තාරකාවත් අතර දුර නිශ්චිතවම කිව හැකිය. වඩාත් පහසුවෙන් හඳුනාගන්නට හැකි වන්නේ කුඩා ග්‍රහ වස්තූන් නොව විශාල ග්‍රහ වස්තූන්ය. එමෙන්ම සෞරග්‍රහ මණ්ඩලයක තාරකාවට ආසන්නයෙන් පිහිටි ග්‍රහ වස්තු හඳුනාගැනීමත් පහසුය. මේ නිසා දැනට හඳුනාගෙන තිබෙන එවැනි ග්‍රහ වස්තු ප්‍රමාණයෙන් ඉතා විශාල ඒවාය. එමෙන්ම වායුමය ඒවාය. එපමණක් නොව ඒවා අදාල සෞරග්‍රහ මණ්ඩල වල තාරකා වලට ඉතා ආසන්නයෙන් පිහිටි ඒවාද වේ. මේ තත්වය තුල විද්‍යාඥයින් දැන් වෙහෙසෙන්නේ වඩාත් සාර්ථක ක්‍රම උපයෝගී කරගෙන පෘථිවිය තරමට විශාල වූ ග්‍රහ වස්තුවක් පිළිබඳ සොයා ගැනීමටයි.

පෘථිවිය පිහිටා තිබෙන්නේ සූර්යයාට තරමක් ඈතින්ය. විද්‍යාඥයින් බලාපොරොත්තු වන්නේ වෙනත් සෞරග්‍රහ මණ්ඩලයක එයට අයත් තාරකාවට තරමක් ඈතින් පිහිටි ග්‍රහ වස්තුවක් තිබේ දැයි කියා සොයා ගැනීමටය. හරියටම කිවහොත් විද්‍යාඥයින් බලාපොරොත්තු වන්නේ පෘථිවියත් සූර්යයාත් අතර දුර ප්‍රමාණයට සමාන දුර ප්‍රමාණයකින් පිහිටි තාරකාවකුත් ග්‍රහලෝකයකුත් පිළිබඳ තොරතුරු ලැබේ දැයි කියාය. අභ්‍යවකාශය නිරීක්‍ෂණය කිරීමේ පහසුකම් චිලී රාජ්‍යයේ අන්දීස් කඳු මුදුනෙහි සකසා තිබේ.

එහි තිබෙන දුරේක්‍ෂ සහ අවශේෂ උපකරණ වලින් අභ්‍යවකාශයේ තිබෙන සියුම් දේවල් වඩාත් හොඳින් නිරීක්‍ෂණය කරන්නට පුළුවන. අභ්‍යවකාශ නිරීක්‍ෂණයට තිබෙන හොඳම උපකරණ පද්ධති තිබෙන්නේත් චිලී රාජ්‍යයේ අන්දීස් කඳු මුදුනෙහි බව කියැවේ. මේ නිරීක්‍ෂණ මධ්‍යස්ථානය හැඳින්වෙන්නේ “ලා සීලා” නිරීක්‍ෂණ මධ්‍යස්ථානය යනුවෙනි.

(La Silla) එහි ස්ථාපිත විශේෂ දුරේක්‍ෂ වලින් අභ්‍යවකාශය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට බොහෝ පහසුකම් තිබේ. HARPS නැතිනම් High Accuracy Radial Velocity Planet Searcher වශයෙන් හැඳින්වෙන වර්ණාවලී දර්ශකය එහි ස්ථාපිතයි. එය ඉතා නිවැරදි තොරතුරු ලබා දෙන්නකි. HARPS භාවිතා කර ඉතා ඈත තිබෙන ග්‍රහ වස්තු චලනය වන වේගය මැන ගන්නට හැකියාව තිබේ. එසේ වුවත් පෘථිවියට සමාන ග්‍රහ වස්තුවක් සොයා යන ගමනේදී HARPS මඟින් ලබා ගන්නා තොරතුරු වලින් පමණක් සෑහෙන්නට හැකියාවක් නැත. මේ නිසා 2012 මැයි මාසයේදී තවත් අළුත් උපකරණ පද්ධතියක් භාවිතයට ගැනීම ඇරඹිණ. එය නිපදවූයේ ටොබියාස් විල්කෙන් (Tobias Wilken) නම් විද්‍යාඥයෙකි. හෙතෙම ජර්මනියේ මැක්ස් ප්ලාන්ක් ක්වොන්ටම් ප්‍රකාශ විද්‍යා ආයතනයේ (Max plank Institute of Quantum optics) විද්‍යාඥයෙකි. විල්කෙන් සහ විද්‍යාඥයින් කණ්ඩායමක් ලේසර් සංඛ්‍යාත සහිත පනාවක් වැනි උපකරණයක් නිපදවා ඇත. ග්‍රහවස්තු වලින් නිකුත් වන වර්ණාවලියක් විද්‍යාඥයින් නිපද වූ මෙවලමෙන් නිකුත් වන වර්ණාවලියත් එකිනෙකට සසඳමින් ග්‍රහවස්තු චලනය වන වේගය පිළිබද තොරතුරු සොයා ගැනීමට පුළුවන. මේ මන්දාකිණියේ තිබෙන පෘථිවිය හා සමාන ග්‍රහවස්තුවක් පිළිබඳ තොරතුරු දැනගැනීම තවදුරටත් සිහිනයක් නොවනු ඇති බව මෙවැනි උපකරණ නිසා පෙනෙන්නට තිබේ. මේ වන තෙක් නිපදවා තිබෙන දුරේක්‍ෂ වලින් සහ සෙසු මෙවලම් වලින් කියන්නට පුළුවන් වී තිබෙන්නේ ග්‍රහවස්තුවක තරම, ස්කන්ධය සහ එය එයට අයත් තාරකාවේ සිට කොපමණ දුරකින් පිහිටියේ ද යන්න පිළිබඳ තොරතුරුයි. තාරකා විද්‍යාඥයන්ගේ ඊළඟ අභිප්‍රාය වන්නේ ග්‍රහයාගේ අභ්‍යන්තර තොරතුරු සොයා ගැනීම වේ. එනම් ග්‍රහයාගේ වායුගෝලය පිළිබඳ වූ කාලගුණ තත්වය පිළිබඳව තොරතුරු ආඳිය දැක්විය හැකිය. ඒ ඇසුරෙන් ග්‍රහයා මතුපිට ජීවයක් තිබේද යන්න විමසා බැලිය හැකිය.

(උපුටා ගැනීම අන්තර්ජාලය ඇසුරිනි)

0 comments:

Post a Comment