පෙට්‍රෝලියම් හෙවත් පොසිල ඉන්ධන දහනයට ඇත්තේ කෙටි ඉතිහාසයකි. 1800ගණන් වල අගභාගයෙන් ඇරඹෙන කාර්මික විප්ලවය නම් දැවැන්ත යන්ත්‍රය දුවවන යාන්ත්‍රණය වූයේ පෙට්‍රෝලියම් හෙවත් පොසිල ඉන්ධනය දහනයයි. සැබැවින්ම මානව ශිෂ්ටාචාරයේ මූලික පදනම වූයේ ගින්දර පාදක කර ගත් දහන ක්‍රියා වලියයි. ඊට හේතුව වූයේ 17ලක්ෂයක් පමණ වූ ජීව විශේෂ අතරින් ගින්දරට බිය නොවූ එය දමනය කරගත් එකම ජෛව විශේෂය වූයේ මිනිසා බැවිනි. කෙසේ වෙතත් වසර බිලියන ගණනාවක් පුරා මහපොලව තුළ පොසිල බවට හැරවුණ පෙට්‍රෝලියම් ඉන්ධන හෙවත් තෙල් ගල් අඟුරු, හා ගෑස් වර්ග වලින් වැඩි ප්‍රමාණයක් අපි වසර එකසිය ගණනක් වැනි කෙටි කාලයක් තුළ වේගයෙන් දවා අවසන් කොට ඇත්තෙමු. මෙහි බරපතල බව ඇත්තේ පෙට්‍රෝලියම් ඉන්ධන වල ඇති භාවිතයත් සමඟ ක්ෂය වී යන ස්වභාවයයි.
කලකට ඉහතදී පර්යේෂකයන් විසින් ඉදිරිපත්කළ හබර්ට් තෙල් ශිඛරය (Hubbert Oil Peak) සංකල්පයට අනුව කවර හෝ පෙට්‍රෝලියම් නිධියක තෙල් නිෂ්පාදනය කාලයත් සමඟ උපරිම මුදුනතකට (peak) ලඟාවන අතර ඉන් අනතුරුව එය කෙමෙන් පහළ බසින්නට පටන් ගනී. මෙම ආකෘතිය හුදෙකලා නිධියකට පමණක් නොව සමස්ත ලෝක නිෂ්පාදයටද එකසේ වලංගු ය. එසේම තෙල් වලට පමණක් නොව ගල් අඟුරු හා ගෑස් වැනි අනෙකුත් ඉන්ධන ප්‍රෙභ්දයන්ටද අදාළය. සුබවාදී ආකල්ප සහිත බොහෝ විද්‍යාඥයන් පවසන්නේ ලෝක තෙල් නිශ්පාදනයේ මුදුනත 2013-2020 අතර කාලය තුළ ලඟාවන බවයි. මේ අතර අසුබවාදීන්ගේ මතය නම් එය මේ වන විටත් අප වෙත ළඟාවී අවසන් බවයි. ලෝකයේ ඇති සියලු තෙල් නිධි මේ වන විටත් ගවේෂණය කොට අවසන්ව ඇති අතර දැන් පරිහරණයටල පරිභෝජනයට ලක්වන්නේ ඒවාය. අලුතින් සොයාගැනීමට අමතර නිධි ලොව තුළ නොමැති බව පිළිගත් මතයයි.
මේ අනුව ලෝකයේ සියලු තෙල් සංචිත තවත් අවුරුදු 50 පමණ සීමාව තුළ සම්පූර්ණයෙන්ම ක්ෂය වී යාමට නියමිතව තිබේ. සරල ආර්ථික න්‍යායක් වූ ඉල්ලුම්-සැපයුම් න්‍යාය අනුව බලන කළ ඉල්ලුම ශීඝ්‍රෙයන් වැඩිවෙමින් පවත්නා පෙට්‍රෝලියම් වල සැපයුම පහළ බසිත්ම එහි මිලගණන් අහස උසට ලඟාවීම නතර කළ හැකි ජගතකු ලොව නොපවතිනු ඇත. සරල දේශපාලනික වචන හරඹයකදී හැර ලොව කිසිදු දේශපාලනඥයකුට, පක්ෂයකට හෝ රජයකට මේ අභියෝගය ජයගත හැක්කක් නොවනු ඇත. මේ නිසා නුදුරු අනගතයේම අපවෙත එළඹෙන තෙල් නැති ලොවක ජීවත් වන්නේ කෙසේද යන ගැටලුව අද මානවයා අබිමුවෙහි පවතින ප්‍රධානතම අභියෝගයයි. එහි බරපතල කම උග්‍රවන්නේ මානවයාගේ ප්‍රවාහන, නිශ්පාදන, ගෘහස්ත විදුලි හා තාප ශක්ති අවශ්‍යතාවන්ගෙන් 80-90% ප්‍රමාණයක් පිරිමැසෙන්නේ පොසිල ඉන්ධන මඟින් වීමයි.
පොසිල ඉන්ධන දහනය මඟින් නිර්මාණය කෙරෙන අනෙක් අර්බුදය වන්නේ පාරිසරික හා කාලගුණික අර්බුදයයි. මෙමගින් විමෝචනය වන හරිතාගාර වායු (Green house gas) නිසා ඇතිවන හරිතාගාර ආචරණය (Green house effect) මානව සංහතියෙහි පැවැත්ම බරපතල ලෙස අභියෝගයට ලක්කොට තිබේ. අපගේ ග්ලැසියර (අයිස් කඳු) දිය වීම හා බිඳ වැටීම දැනටමත් ආරම්භ වී තිබේ. ගෝලීය උණුසුම ඉහළ යාම නිසා කඳුකර පෙදෙස් වලට වසින වැසි තව දුරටත් හිම බවට පරිවර්තනය නොවේ. එහි අරුත වන්නේ වසන්තයේදී හා ගිම්හානයේදී ක්‍රමිකව දිය වී යාමට නියමිත හිම තට්ටු වෙනුවට ශීත සමයේ දී ගලායන ජල දහරා ඇති විම යි. එහි ප්‍රතිඵලයක් ලෙස වගා බිම් පාලුවී යාමෙන් ලෝක ආහාර අර්බුදයකට මඟ පෑදෙනු ඇත. මේ අතර ගෝලීය උණුසුම ඉහළ යාම තුළින් වීපරීත කාලගුණ තත්වයන් එනම් නියංල ගංවතුර, වැසි, කුණාටු නාය යෑම් ආදිය ඇතිවීමත් අනෙක් පසින් ග්ලැසියර දියවීම නිසා ඇති වන සාගර ජල මට්ටම ඉහළයාම හා එමගින් ඇතිවන සමුද්‍ර ඛාදන බලපෑමද, ග්ලැසියර බර අඩු වීම නිසා පෘථිවියේ මහාද්වීපික තැටි (tectonic plates) වල ක්‍රියාකාරිත්වය වැඩිවීම නිසා, භූ චලන, ගිනිකඳු පිපිරීම්, සුනාමි ආදී ස්වභාවික ව්‍යසනයන් ඇති වීම ද ඉහළ යනු ඇත.
එක් පසෙකින් ලෝකයේ ජනගහණය ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතී. 1980 වර්ෂයේ පැවති ලෝක ජනගහණ අගය 2030 දී දෙගුණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ. අනෙක් පසින් දැක්වෙන්නේ ජනතාවගේ ජීවන මට්ටම ඉහළ යාම ලෙස අප හඳුනාගන්නා ක්‍රියාවලිය තුළ ඒක පුද්ගල ශක්ති හා සම්පත් පරිභෝජනය ශීඝ්‍ර ලෙස ඉහළ යාමයි. අප භාවිතයට ගන්නා ඇමුණුම් කටුවේ සිට සුඛෝපභොගී රථ වාහන, ගුවන්යානා, නා නා විධ පරිගණක මෙවලම්, ස්මාර්ට් දුරකථන, පුවරු ගණක (tablet) ආදී මෙවලම් ආදියෙන් සන්නද්ධ වූ නූතන මානවයාගේ ඒක පුද්ගල ශක්ති පරිභෝජනය කිලෝකැලරි 234දහසකි. මෙය ප්‍රාග් ඓතිහාසික මානවයාගේ සරල ශක්ති අවශ්‍යතාවය වූ කිලෝකැලරි දෙදහස මෙන් 117 ගුණයකි. මේ ශක්තිය ඉපිදවීම සඳහා අප සූරා ගන්නේ මහපොළොව සතු ස්වාභාවික සම්පත් බව අමුතුවෙන් කිවයුතු නැත. මේ සම්පත් ලයිස්තුවේ ඉහළින්ම ඇත්තේ ලෝකයේ නිශ්පාදන හා ආර්ථික ක්‍රියාවලීන්ගෙන් 80-90% අතර ප්‍රමාණයක් බලගන්වන්නාවූ පෙට්‍රෝලියම් හෙවත් පොසිල ඉන්ධන දහනය යි. පොසිල ඉන්ධන භාවිතය මඟින් අපගේ ජීවන තත්වයන් උසස් වූවා සේම ඉන් පරිසරය මත ඇති කළ අනපේක්ෂිත මෙන් ම අනවශ්‍ය අතුරු ප්‍රතිඵල රාශියකි.
එහෙත් අර්බුදයේ ගැඹුරෙහි තිබෙන යටිපෙළ අර්ථය වටහා නොගන්නා ඇතැමෙකු තර්ක කරනුයේ ධනවාදී රටවල් මේ වන විට අත් කරගෙන සිටින භෞතික දියුණුව කරා යාමට සංවර්ධනය වෙමින් පවත්නාවූ අප වැනි රට වලටද සදාචාරාත්මක අයිතියක් ඇති බවයි. එහෙත් මේ තර්කය පසුබිමෙහි ඇති කටුක යථාර්ථය පහදා දෙන්නේ මේ සම්බන්ධව සිදුකරන ලද විද්‍යාත්මක ගවේශණයකි. ලෝක දෙකක සෙනාරිය (Two world scenario) යනුවෙන් දැක්වෙන මින් කියැවෙන්නේ ඉන්දියාව හා චීනය යන රටවල් දෙක පමණක් බටහිර ලෝකයේ පවතින භෞතික සංවර්ධන මට්ටම කරා ගෙන ඒමට පමණක් පෘථිවිය මෙන් දෙගුණයක සම්පත් අවැසි බවයි. මෙය කිසිදා අත් කැර ගත නොහැකි මනෝරාජික සිහිනයක් බව මින් පැහැදිලි වනු ඇත.
මේ අර්බුදයෙන් ගැලැවීගන්නේ කෙසේද යන්න දැන් දැන් ලොව විද්වතුන් අතර කතිකාවට ලක්වන මූලික කරුණකි. මේ සඳහා අන්තර් ජාතික මට්ටමින් සාකච්ඡාවට භාජනය වන කරුණු කිහිපයකි.
පළමු විසඳුම ලෙස ඉදිරිපත් වන්නේ පොසිල ඉන්ධන දහනය වෙනුවට විකල්ප වශයෙන්, පුනර්ජනනය වන්නාවූ (එනම් භාවිතය සමඟ ක්ෂය වී නොයන) අහිතකර විමෝචනයන් අවම වූ තිරසර හෙවත් හරිත ශක්ති ප්‍රභවයන් භාවිත කිරීමයි. සූර්ය, සුලං, භූ තාප, සාගර රළ හා උදම් වැනි තිරසර ස්වභාවික ප්‍රභවයන් මෙන්ම ශාකමය ජෛව ස්කන්ධ, කෘෂිකාර්මික හා ගෘහස්ත අපද්‍රව්‍ය පදනම් කරගත් දහන වායු ජනනය, ජෛවමීතේනකරණය, පෙට්‍රල් සඳහා ආදේශක වූ ජෛව එතනෝල් හා මෙතනෝල් නිෂ්පාදනය, ශාඛ තෙල් වර්ග ආශ්‍රයෙන් නිපැයෙන ජෛව ඩීසල්, හයිඩ්‍රජන් නිශපාදනය ආදී විවිධ තාක්ෂණයන් වාණිජ මට්ටමින් මෙන්ම පර්යේෂණ මට්ටමින්ද ක්‍රියාත්මක වේ. එහෙත් පවතින තාක්ෂණය අනුව ලෝකයේ මුළු ශක්ති අවශ්‍යතාව සපුරාලීමට මෙය ප්‍රමාණවත්වේද යන්න විවාදයට බඳුන් වූ කාරණයකි.
දෙවන විසඳුම වන්නේ බලශක්ති භාවිත කරණ උපකරණයන්හි කාර්යකෂමතාව ඉහළ නංවමින් වැය වන මුලුශක්ති ප්‍රමාණය ඉතිරි කර ගනිමින් කෂය වී යන සම්පත් වල ආයු කාළය තරමක් හෝ දිගුකැර ගැනීමයි. බලශක්ති කාර්යක්ෂම විදුලිපහන්, ගේ දොර උපකරණ, සංරක්ෂණ ක්‍රමවේද, නැණවත් බලශක්ති භාවිතය, දෙමුහුන් වාහන, විදුලි වාහන වැනි ඉන්ධන කාර්යක්ෂම තාවයෙන් ඉහළ හා කුඩා වාහන භාවිතය, නිසි මාර්ග ශික්ෂණය ආදී ක්‍රමෝපායන් යොදා ගැනීමයි.
තෙවනුව ඉදිරිපත්වන වඩාත් වැදගත් විසඳුම වන්නේ අපගේ ජීවන රටාවන්හි මෙන් ම බලශක්ති භාවිතය පිළිබඳ අප තුළ ඇති ආකල්ප උඩු යටිකුරු කරවන සුලු සුසමාදර්ශමය (paradigm) වෙනසකි. ඒක පුද්ගල ශක්ති හා සම්පත් පරිභෝජනය ශීඝ්‍ර ඉහළ යාම ගැන මුලදී සඳහන් කළෙමු. මෙහි ලා නිරීක්ෂණය වන සරදම් කාරී ලක්ෂණය වන්නේ ජීවන තත්වයෙන් ඉහළට පා තබමින් අපේ ජීවිතයේ කටයුතු පහසු කර ගැනීම සඳහා ලං කරගන්නා මෙවලම් මඟින් පහසුවකට අමතරව අත් වන කුසීතකමත් ඒ නිසාම පාලනයට ලක්වන ස්වභාවික ජෛව ක්‍රියාවලීන් නිසා ශරීරය තුළ ඉහළ යන සීනි හා කොලෙස්ටරෝල දවා ගැනීමට ව්‍යායාම් ශාලාවකට යන අපි, අපි අපේ ගෙදර මෙවලම් හා ව්‍යායාම් උපකරණ යන දෙවර්ගයටම බලශක්තිය වැය කරන්නෙමු. වර්තමාන සමාජ සන්දර්භය තුළ අප අත් කර ගැනීමට වෙර දරන්නේ අධිපරිභෝජනය පදනම් කරගත් අර්බුදයක් කරා ගමන් කරමින් තිබෙන ජීවන රටාවකි. සරල අවශ්‍යතා සපිරෙන බහු භාණ්ඩික හා සංකීර්ණ බවින් මිදුණු සරල දිවිපෙවෙතක රැඳෙන සුවදායක බව ආගම දහම විසින්ද සනාථ කොට තිබේ. පාගමනින් හෝ සරල වාහනයකින් යා හැකි ගමණකට අනවශ්‍ය බලශක්ති නාස්තියක් සිදුකිරීම අපරාධයක් මෙන්ම අර්බුදයට අත වැනීමකි. හිරුගෙන් එලිය වන සුළගින් සිසිල් වන පරිසරයක් කොටුකර එය එලිය කිරීමට හා සිසිල් කිරීමට ශක්තිය වැයකිරීම පාපයකි. ජීවිතයේ හැම අවස්ථාවකම සරල හා ස්වභාවික අයුරින් සපයාගත හැකි අවශ්‍යතාවයකට අනවශ්‍ය ලෙස බලශක්තිය නාස්ති නොකරන ජීවන රටාවක් හා සවිඥාණිකත්වයක් අපට වර්ධනය කර ගතහැකිනම් ඉන්ධන හා බලශක්ති අර්බුදය පියමං කළ හැකි මහා අත්වැල් පවුර එයම වනු ඇත.
2 comments:
thanx for this information
thanx for this information
Post a Comment