November 28, 2017

ඔබගේ සංගීත රසය පාලනයට විද්‍යාවෙන් මගක්

මිනිස්සු සංගීතයට විශාල ලැදියාවක් සහ ආශාවක් දක්වති. සංගීතය විශ්ව භාෂාවක් ලෙසද සැලකේ. මේ නිසාම සුපිරි සංගීත ශිල්පීහු තම ප්‍රේක්ෂකයන්ට විශාල ආශ්වාදයක් ලබාදෙමින් විශාල ආදායම් උපයති. බටහිර එක සුපිරි ගායිකාවකගේ වාර්ෂික ආදායම රු. කෝටි 3500 කට වැඩි වීමෙන් වාර්තාවක්ද පිහිටුවා තිබේ.

දැනට ක්‍රියාත්මක කරන Transcranial Magnetic Stimulation (TMS) ප්‍රතිකාර ක්‍රමය අනුව මොළයේ විශේෂිත ප්‍රදේශ උද්දීපනය හෝ අවහිර කිරීම සදහා මොලය තුලින් චුම්භක ස්පන්දන ගමන් කරවනු ලැබේ. මෙම TMS ක්‍රමය භාවිතා කර පුද්ගලයන්ගේ සංගීත රසය සත්‍ය ලෙසම වෙනස් හෝ පාලනය කිරීමට McGill විශ්ව විද්‍යාලයේ සහ Montreal ස්නායුමය ආයතනයේ විද්‍යායින් කණ්ඩායමක් සමත්වූ බව එහි අධ්‍යයන වාර්තාවක් පලකරමින් Nature Human Behavior සඟරාව පසුගියදා ප්‍රකාශයට පත් කර තිබේ.

මෙය ඉතාම අසාමාන්‍ය විද්‍යාත්මක ප්‍රබන්ධ තත්වයේ ක්‍රියාවක් වුවත් පර්යේෂකයෝ එය ක්‍රියාත්මක කළ ආකාරය විස්තර කිරීමේදී පෙනීගිය සරල බවද විශේෂත්වයකි. එනම් එවැනි පහසු ලෙස ක්‍රියාත්මක කළ හැකි පර්යේෂණාත්මක සොයාගැනීමක් මෙතරම් ප්‍රමාද වුයේ මන්ද යන්නයි. 

මිනිසුන් සංගීතය රසවිදීමට හෝ කිසියම් දෙයක් භුක්තිවිදීමට හේතුව නම් එයට අදාළ අපගේ මොළයේ යම් ප්‍රදේශයක් උද්දීපනයෙන් හා ක්‍රියාශීලිව නියැලීම නිසා ලබන ත්‍යාග පද්ධතියයි. තවද මොළයට ත්‍යාග ලබාදීමේ ක්‍රියාවලියේ ඉතාම වැදගත් ස්නායු සම්ප්‍රේක්ෂකය dopamine බවත් මොලය තුල මෙවැනි අවස්තාවක සිදුවන සිද්ධි දම්වැල නිසා dopamine නිදහස්වීම කුළුගැන්වෙන බවත්  වාර්තාවේ සදහන් වේ. මෙලෙස රසය හෝ භුක්තිය ලෙස අපට දැනෙන හැගීම් හෙවත් මොළයට ලැබෙන තෑගී හේතුවෙන් මොළයේ අදාළ ප්‍රදේශය තෑගි අපේක්ෂාවෙන්ද උද්දීපනය හා ක්‍රියාශීලිත්වය වැඩි කරයි. ශ්‍රවණය කරන සංගීතයේ උච්චාවචන හා පුද්ගලයා අනුවද මෙම උද්දීපනය හා ක්‍රියාශීලිත්වය අඩු වැඩි වීම ස්වභාවික තත්වයයි. පර්යේෂක විද්‍යායින් කණ්ඩායම මෙම ක්‍රියාවලිය බාහිරෙන් පාලනය කර ඇති බව වාර්තාවෙන් පැහැදිලි වේ.  

රසවත් සංගීතය ශ්‍රවණය කිරීමේදී මොළයේ වඩාත් ක්‍රියාකාරී වූ කොටස මොළයේ වම් පෘෂ්ඨිය පාර්ශවයේ වූ Prefrontal Cortex (DLPFC) හි fronto-striatal පරිපථය බව මෙයට පෙර ක්‍රියාත්මක කරන ලද බොහෝ මොළයේ මුර්තන අධ්‍යනයන් මගින් පැහැදිලි වී තිබේ. එනිසා පර්යේෂකයෝ මොළයේ එම කොටස (DLPFC හි fronto-striatal පරිපථයඉලක්ක කර TMS ක්‍රමයෙන් උද්දීපනය හෝ අවහිර කිරීම් සිදුකරන ලදී. එමගින් මොලයට ත්‍යාග මෙන්ම ත්‍යාග අපේක්ෂාවද වැදගත් වන විවධ විද්‍යාත්මක පර්යේෂණ හා නිරීක්ෂණ තුලින් පුද්ගල සහභාගිත්වයද සහිතව කරන ලද අධ්‍යයනය අනුව පුද්ගලයන්ගේ සංගීත රසය පාලනය කිරීමට හැකි බව පෙර සදහන් කළ අධ්‍යයන වාර්තාවෙන් ප්‍රකාශයට පත් කර තිබේ. සංගීතයට අමතරව මින්සුන්ගේ වෙනත් ආශාවන් පාලනයට හැකි ලෙස මෙම විද්‍යාත්මක ක්‍රියාවලිය සංවර්ධනය කිරීමට විද්‍යාඥයින් සමත්වේද?  

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර

https://youtu.be/RcHLVZcxT_8?t=2

0 comments:

Post a Comment