November 22, 2017

ජෛව පළිබෝධ පාලනය


හරිත විප්ලවයත් සමග කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වාරි ජල සම්පාදනය, නව බෝග ප්‍රභේද හඳුන්වාදීම, කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතයට යොමු වීම ප්‍රධාන වශයෙන් සිදු වූ වෙනස්කම් විය. මෙම වෙනස්කම්කම් සමග කෘෂි නිෂ්පාදනවල අස්වැන්න සැළකිය යුතු මට්ටමින් ඉහළ යාම සිදු විය. එහෙත් කෘෂි රසායන ද්‍රව්‍ය වැඩි වශයෙන් හා අවිධිමත් ලෙස භාවිතයත් සමග වෙනත් ශාක, සතුන් කෙරෙහි මෙන්ම සමස්ථයක් ලෙස පරිසර පද්ධති කෙරෙහි අයහපත් අයුරින් බලපෑම් ඇතිවීම අභාග්‍යයකි.

තවද කෘත්‍රිම පළිබෝධනාශක ජෛව හායනයක් සිදු නොවන නිසා අවශේෂ ද්‍රව්‍ය පරිසරයේ රැදීමෙන් ඒවායේ ඇති විෂභාවය තව දුරටත් දීර්ග කාලීනව අහිතකර ප්‍රතිඵල සියලු ජීවීන් කෙරෙහි ඇති කරමින් පවතී. මෙම තත්ත්වය හදුනාගැනීමෙන් පසු, කෘත්‍රිම කෘෂි පළිබෝධනාශක වෙනුවට හරිත පළිබෝධනාශක වෙත යොමුවීමට අද වන විට නැඹුරුවක් ඇත.

තවද කෘත්‍රිම පළිබෝධනාශක භාවිතයේ අහිතකර ප්‍රතිඵල පිළිබද පාරිභෝගිකයා දැනුවත් වීමත් සමග කාබනික ආහාර සදහා වන ඉල්ලුම දිනෙන් දින ඉහළ යමින් පවතී. මේනිසා තිරසර කාබනික වගාවන් වෙත යොමුවීම ඉතා වැදගත්ය. මෙහිදී කෘත්‍රිම පළිබෝධනාශක භාවිතය වෙනුවට බෝග ශාකවලට වැළදෙන රෝග හා පළිබෝධ පාලනය පරිසර හිතකාමී අයුරින් සිදු කිරීම මෙන්ම, කෘෂි නිෂ්පාදනවල ප්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක තුලිතතාවය පවත්වා ගැනීම ද වැදගත්ය.

මේ අනුව ජෛව පළිබෝධ පාලන ක්‍රම පහත පරිදි වෙන් කර පෙන්වා දිය හැකිය.
01. Botanical Pesticide -ශාකමය ජෛව පළිබෝධනාශක
02. Microbial Pesticide - ක්ෂුද්‍රජීවී ජෛව පළිබෝධනාශක
03. Plant - Incorporated- Protectants) ( PIPs) - ශාක සංස්ථාපිත ආරක්ෂක

01. Botanical Pesticide
අතීතයේදී ද විවිධ ශාක හා එම ශාකවලින් ලබා ගන්නා කොටස් වගාවන් ආරක්ෂා කිරීමට මෙන්ම, පළිබෝධකයින්ගෙන් ආහාර ගබඩා ආරක්ෂා කිරීමට ද භාවිතා කර ඇත. ස්වභාවිකවම ඇතැම් උසස් ශාක මගින් කෘමීන් සදහා ප්‍රතිරෝධී ද්විතීයික පරිවෘත්තීය ද්‍රව්‍ය නිපදවීම සිදුවන අතර, මේවා ශාකයේ පත්‍ර, මුල්, පොතු, ගෙඩ්, බීජ යන කොටස් තුළ දැකිය හැකිය. මෙම පරිවෘත්තීය ද්‍රව්‍ය මගින් කෘමි සතුන්ගේ චර්යාවන් හා ජීවන චක්‍ර වෙනස් කිරීමක් සිදු වන බව සොයා ගෙන ඇත.

මේ අතර, Azadirachta indica (Neem) කෘමි පළිබෝධ පාලනයට වඩාත් පුළුල්ව හා ඵලදායී ලෙස භාවිත වන ශාකයක් වන අතර, එහි බීජවලින් ලබා ගන්නා Azadirachtin නම් සංයෝගය ක්‍රියාකාරී රසායන ද්‍රව්‍ය වේ. මේ අතර, Azadirachtin වල රසායන ව්‍යුහය හඳුනාගෙන එය කෘත්‍රිමව නිෂ්පාදනයට 2007 වර්ෂයේදී විද්‍යාඥයින් සමත්වීමෙන් ස්වභාවික ජෛ පළිබෝධනාශක නිෂ්පාදයේදී එය මහත් පිටුවහලක් වනු ඇත. තවද Azadirachtin අඩංගු නිෂ්පාදන පරිසරයේ රැදීම හා විෂවීම් නොවන බව වෙනත් පර්යේෂණ හරහා සිදු කිරීම මගින් තහවුරු කර ඇත. (EPA- Environmental Protection Agency)

මේ අතර, ආසියාතික රටවල Chrysanthemum Spp. ජෛව පළිබෝධනාශක නිෂ්පාදනයට භාවිත කෙරේ. එම ශාකයේ වියළි මල් පොහොට්ටු වලින් ටර්පිනොයිඩ් එස්ටර් (Terpinoid Esters) 6ක් පමණ ලබා ගන්නා අතර, මෙම එස්ටර්වල කෘමිනාශක ලෙස ක්‍රියා කරයි. (Insecticidal Compound)

මීට අමතරව බොහෝ ශාකවල පවතින සගන්ධ තෙල් යනු ඇල්කොහොල්, (Alcohol) ෆීනෝල්,(Phenol) කීටෝන්ස්, (Ketones) ඇල්ඩිහයිඩ් (Aldehydes) හා අම්ල වර්ග (Acids) ඇතුළත් වාෂ්පශීලී සංයෝග ගණනාවක එකතුවක් වන අතර, එම සංයෝග ශාකයේ විවිධ කොටස්වල දැකිය හැකිය. ශාක මගින් මේවා නිදහස් කිරීමෙන් එම ශාකය, රෝග කාරකයින්ගෙන් මෙන්ම ශාක භක්ෂකයින්ගෙන් ආරක්ෂා වීමට හේතු වේ. එමෙන්ම මෙම සංයෝග කෘමීන්ගේ අන්තරාසර්ග ග්‍රන්ථි මගින් ස්‍රාවය වන හෝමෝන කෙරෙහි බලපෑමෙන් කෘමි සතුන්ගේ වර්ධනය වෙනස් කිරීම ද සිදු වන බව සොයා ගෙන ඇත. මේ අතර, කොත්තමල්ලි (Coriander) වැනි ශාක මගින් ප්‍රභල සුවඳ විහිදෙන හෙයින් එමගින් අවට ඇති බෝග ශාක ද ආරක්ෂා වීමක්  ද සිදු වේ. මෙවැනි කෘමි ප්‍රතිරෝධී රසායන සංයෝග Zingiberaceae, Piperaceae වැනි ශාක කුලවල අඩංගු වේ.

කාබනික ආහාර නිෂ්පාදනයේදී මෙම රසායන සංයෝග නිස්සාරණයෙන් ලබා ගන්නා ජෛව රසායන සංයෝග කෘමිපළිබෝධ පාලනයට වැදගත් වනු ඇත.

02. Microbial Pesticide
මීට අමතරව දිලීර, බැක්ටීරියා, වෛරස් ඇතුළු වෙනත් ක්ෂුද්‍ර ජීවීන් භාවිතා කරමින් ද කෘමි පළිබෝධ පාලනය දැකිය හැකිය. මේ අතර ප්‍රකට උදාහරණයක් වනුයේ Bacillus thuringiensis  හෙවත් Bt.බැක්ටීරියා භාවිත කරමින් පළිබෝධ පාලනයයි. පසේ ජීවත් වන Bt.බැක්ටීරියා මගින් ස්‍රාවය කරන විෂ සහිත Crystal ප්‍රෝටීන මගින් කෘමීන්ගේ කීට අවධි පාලනය සිදු කෙරේ.

තවද Agrobacterium tumefaciens බැක්ටීරියාව යොදා ගනිමින් ශාකවල ඇති වන Crown Gall නම් රෝගය මර්දනය ද තවත් එක් උදාහරණයක් ලෙස පෙන්වා දිය හැකිය.


03. Plant - Incorporated- Protectants ( PIPs)

Bacillus thuringiensis  බැක්ටීරියා මගින් විෂ සහිත Crystal ප්‍රෝටීන නිපදවීම කෙරෙහි බලපාන ජානය වෙන් කර ගෙන ශාක වෙත හඳුන්වා දී ශාකය මගින් එම ප්‍රෝටීන නිපදවීමෙන් මෙහිදී පළිබෝධ පාලනය සිදු වේ. මේනිසා ශාකය කෘමි සතුන්ගෙන් ආරක්ෂාවීම සිදු වේ. European Corn Borer, Cotton bollworm, Tobacco budworm මර්දනයේදී මෙම ක්‍රමය භාවිතා කර ඇත.

මෙලෙස ජෛව පළිබෝධ පාලන ක්‍රම අනුගමනය කිරීමෙන් අත්වන වාසි අතර,

1. විෂ භාවය අවම වීම (Less Toxic)
2. ඉලක්කගත කෘමි පළිබෝධකයින් වෙත බලපෑම් නිසා පරිසරයට වන හානිය අවමවීම.
3. ජෛව හායනය  (Biodegradable) නිසා පරිසරයේ රැදීමක් නොමැත. මේනිසා ඉක්මනින් වියෝජනය වීම.
4. ඉතා අඩු ප්‍රමාණවලින් භාවිතය නිසා කෘත්‍රිම පළිබෝධනාශක වලින් වන දූෂණ ගැටළු මග හැරීම.
5. ඒකාබද්ධ පළිබෝධ කළමනාකරණ වලදී (IPM) කෘත්‍රිම පළිබෝධනාශක භාවිතය අවම කිරීමට ඇති හැකියාව හා බෝග අස්වැන්න වැඩිවීම
වැනි වාසි පෙන්වාදිය හැකිය.
(අන්තර්ජාලය ඇසුරිනි)

ආර්.ඩී.එන්.ප්‍රියන්ති,
විද්‍යා හා තාක්ෂණ නිලධාරී,
කිරින්ද පුහුල්වැල්ල.

1 comments:

Post a Comment