January 1, 2014

කලලයට හානි නොකරන ප්‍රවේණි පරීක්ෂණය

බාහිර සංසේචන ක්‍රියාවලිය හෙවත් IVF  හී සඵලතාවය ඉහළ නංවමින්, කලලයක් සතු ජානමය දුර්වලතා නැතහොත් විකෘති සොයා ගැනීමේ ක්‍රමයේ වැඩි දියුණු කිරීමක් දැන් හඳුනාගෙන ඇත.
IVF ක්‍රමයට සකස්කළ කලලයක් තැන්පත් කිරීමට ප්‍රථම කලලයේ ජාන අනුපිළිවෙළගත කිරීම හරහා, ජානමය විකෘති සහිත දරුවෙකු බිහිවීමේ අවදානම අවම කරගැනීමට පුළුවන. මෙහිදී  බෙදෙමින් පවතින කලලයේ සෛලයක් ඉන් ඉවත් කිරීම සිදුකරන අතර එමඟින් කලලය ගර්භාෂය තුළ තැන්පත්වීමට ඇති හැකියාව බොහෝදුරට අවදානමට ලක්වේ.
හාවඩ් විශ්ව විද්‍යාලයේ සනීක්සයි සහ ඔහුගේ සගයින් එක්ව කලලයෙන් සෛලයක් ඉවත් නොකර මව් පාර්ශ්වයේ ආවේණික ජීනෝමීය අනුපිළිවෙළ සොයාගත හැකි ක්‍රමයක් වැඩි දියුණු කර ඇත. මෙම ක්‍රමය ඔවුන් හඳුන්වන්නේ MALBAC (Multiple Annealing & Lopping Based Amplification Cycles ) නමිනි. ධ්‍රැවීය දේහ එනම් බෙදෙමින් පවතින ඩිම්බයේ ඉදිරියට නෙරූ සෛල දෙකක් ජාන අනුපිළිවෙල ගත කිරීම සඳහා භාවිතා කෙරේ.
ක්සයි පවසන පරිදි මීට පෙර පැවති ක්‍රම වලදි නිරවද්‍ය ජාන රටාවක් ලබාගැනීම අපහසු වු අතර විශාල වර්ණ දේහ විකෘති මෙන්ම ඉතා කුඩා ජාන අනුපිළිවෙල වෙනස්කම්ද සොයාගැනීමට නොහැකිවිණි. අළුත් ක්‍රමවේදය මඟින් පිය පාර්ශ්වයෙන් ප්‍රවේණිය ලබන ජාන සංකූලතා හඳුනාගැනීමට නොහැකි නමුත් IVF   සඳහා භාජනය වන වයස්ගත කාන්තාවන්ගේ ගබ්සාවීම් සඳහා බොහෝ විට හේතුවන 70% වැඩි වර්ණදේහ විකෘති හඳුනා ගැනීමට පුළුවන. කණ්ඩායමේ සාමාජිකයෙකු වන බිජිං හී පීකිං විශ්ව විද්‍යාලයේ ෆුචෝ ටැන්ග් පවසනුයේ මෙම ක්‍රමය මඟින් සජිවි දරු උපත් සඳහා IVF  සඵලතාවය 30% -60% තෙක් වැඩි දියුණු කළ හැකි බවයි.
පර්යේෂණ කණ්ඩායම මෙම පරීක්ෂණය ආරම්භකර ඇත්තේ ජානමය සංකූලතා සහිත කාන්තාවන් තිස් දෙනෙකුගේ ජීනෝම අනුපිළිවෙළ  ගත කිරීම මඟින් වන අතර 2014 වර්ෂයේදී නිරෝගී MALBAC ළදරුවන් බිහිකිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
උපුටා ගැනීම
December 2013 by Alyssa Botelho
New Scientist ඇසුරෙනි

0 comments:

Post a Comment