January 17, 2014

2014 වර්ෂයේ විශේෂ තාරකා විද්‍යාත්මක සිදුවීම්.

පැහැදිලි රාත්‍රී අහසක අපට දැකීමට ඇති දෑ බොහෝය. ඒ තාරකා පමණක් නොවේ. සඳ, ග්‍රහලෝක, උල්කාපාත, තාරකා රාශි හා චන්ද්‍රිකා යනු රාත්‍රී අහසක තිබිය හැකි තවත් දේවල්ය. 2014 වර්ෂය තුළ දී අහස නිරීක්ෂණය කරන ඔබට වැදගත් විය හැකි සිදුවීම් කීපයක් පහත ගෙනහැර දක්වමු.
ජනවාරි 4
මෙදින අපේ පෘථිවිය මේ වසරේ අන් කිසිදු දිනයකට වඩා සූර්යයාට සමීපයෙන් පිහිටයි. එහිදී පෘථිවිය හා සූර්යයා අතර ඇති දුර ප්‍රමාණය කිලෝමීටර 147,104,780 ක් පමණ වේ. (සාමාන්‍යයෙන් පෘථිවිය හා සූර්යයා අතර ඇති දුර ප්‍රමාණය කිලෝමීටර 149,598,261ක් පමණය.)\
උල්කාපාත වර්ෂා
තවද මේ වසරේ ප්‍රථම උල්කාපාත වර්ෂාව වන ක්වඩ්රන්ටිඩ් උල්කාපාත වර්ෂාව ද මෙදින එහි උපරිම තීව්රතාවයෙන් (එනම් පැයකට උපරිම උල්කාපාත ප්‍රමාණයකින්) අපට දැකබලා ගත හැකිය. උල්කාපාත යනු අභ්‍යවකාශයේ සිට පෘථිවියේ වායුගෝලය හරහා පොළවට කඩා වැටෙන කුඩා පාෂාණ හෝ ලෝහ කැබලිය. මේවා වායුගෝලය හරහා ගමන් කිරීමේදී වාතය හා ගැටී ගිනිගෙන දැවී අළුවී යයි. එවිට අහස හරහා යන ආලෝකමත් රේඛා ලෙස ඒවා අපට පෙනේ. උල්කාපාත වර්ෂාවක් යනු මෙවැනි උල්කාපාත විශාල ප්‍රමාණයක් එකවර පෘථිවි වායුගෝලය හරහා ගමන් කිරීමයි.                                                                                                                                                                                                                                                                               
ජනවාරි 5

බ්‍රහස්පති සහ එහි විශාලතම චන්ද්‍රයින් හතර දෙනා
බ්‍රහස්පති ග්‍රහයා මේ වසර තුළදී පෘථිවියට වඩාත්ම සමීපවන දිනයයි. කුඩා දූරේක්ෂයකින් පවා බ්‍රහස්පති සහ එහි විශාලතම චන්ද්‍රයින් හතර දෙනා දැකගත හැකිය. මෙම චන්ද්‍රයින් නම් අයෝ, යුරෝපා, ගැනිමිඩ් සහ කැලිස්ටෝ ය. ගැලීලියෝ ගැලීලි නම් තාරකා විද්‍යාඥයා විසින් ප්‍රථම වතාවට දුරේක්ෂයකින් මේවා නිරීක්ෂණය කර සොයා ගත් බැවින් ඒවා ගැලීලියානු චන්ද්‍රයින් යනුවෙන් ද හැඳින්වේ. බ්‍රහස්පති හිරුගේ සිට පස්වන ස්ථානයේ පිහිටන අතර සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක 8 අතරින් විශාලතම ග්‍රහලෝකය ද බ්‍රහස්පති වේ.
ජනවාරි 31
බුධ ග්‍රහයා
බුධ ග්‍රහයා සහ සූර්යයා උපරිම කෝණික පරතරයකින් පිහිටයි. උපරිම කෝණික පරතරයකින් පිහිටීම යනු පෘථිවියේ සිට බලන විට කිසියම් අභ්‍යවකාශ වස්තූන් දෙකක් ඒවා අතර උපරිම  දුරකින් අපට පෙනීමයි. බුධ ග්‍රහයා සූර්යයාට සමීපතම ග්‍රහලොව බැවින් සූර්යාලෝකය නිසා බුධ නිරීක්ෂණය කිරීම බොහෝ විට අපහසුය. නමුත් මේ දිනවල බුධ හා හිරු එකිනෙකට දුරින් පිහිටන බැවින් සැඳෑ අහසේ බුධ ග්‍රහලොව දීප්තිමත්ව නිරීක්ෂණය කළ හැකිය. බුධ සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක 8 අතරින් කුඩාම ග්‍රහලෝකයයි.
පෙබරවාරි 14
පුර පසළොස්වක පොහොය.
මාර්තු 14
බුධ ග්‍රහයා සහ සූර්යයා උපරිම කෝණික පරතරයකින් පිහිටන බැවින් මෙදින ද බුධ ග්‍රහලෝකය දීප්තිමත්ව පාන්දර අහසේ නිරීක්ෂණය කළ හැකිය.
මාර්තු 22

සිකුරු ග්‍රහයා
සිකුරු ග්‍රහයා සහ සූර්යයා උපරිම කෝණික පරතරයකින් පිහිටයි. මෙවිට පාන්දර අහසේ සිකුරු ග්‍රහලෝකය දීප්තිමත්ව නිරීක්ෂණය කළ හැකිය. සිකුරු යනු හිරුගේ සිට බුධට පසුව පිහිටි ග්‍රහලොවයි. සාමාන්‍ය ඇසකට පෙනෙන ග්‍රහලෝක පහ අතරින් වඩාත්ම දීප්තිමත්ව පෙනෙන ග්‍රහලෝකය සිකුරුය. (සාමාන්‍ය ඇසට පෙනෙන අනෙක් ග්‍රහලෝක හතර වන්නේ බුධ, අඟහරු, බ්‍රහස්පති සහ සෙනසුරුය.) එමෙන්ම පෘථිවියට වඩාත් සමීපයෙන්ම පිහිටි ග්‍රහලෝකය ද වන්නේ සිකුරුය.  
අප්‍රේල් 8
අඟහරු ග්‍රහලොව
අඟහරු ග්‍රහලෝකය මේ වසර තුළදී පෘථිවියට වඩාත්ම සමීපයෙන් පිහිටයන දිනයයි. එබැවින් මෙදින අඟහරු නිරීක්ෂණයට සුදුසුම දිනයකි. අඟහරු ග්‍රහලොව හිරුගේ සිට හතරවන ස්ථානයේ පිහිටි ග්‍රහලෝකය වන අතර එය රාත්‍රී අහසේ රතු පැහැයෙන් දිස්වේ. තවද අඟහරුගේ විෂ්කම්භය(පළල) අපේ පෘථිවියේ විෂ්කම්භයෙන් හරි අඩක් පමණ වේ.
 අප්‍රේල් 15

පූර්ණ චන්ද්‍ර ග්‍රහණයක්
මෙදින පූර්ණ චන්ද්‍ර ග්‍රහණයක් සිදුවේ. නමුත් මෙම චන්ද්‍ර ග්‍රහණය ශ්‍රී ලංකාවට දර්ශණය වන්නේ නැත. උතුරු හා දකුණු ඇමරිකා මහාද්වීප වලට එය ඉතා හොඳින් දර්ශණය වේ. චන්ද්‍ර ග්‍රහණයක් සිදුවීමට නම් පෘථිවිය දෙපසින් සූර්යයා සහ චන්ද්‍රයා එක එල්ලේ පිහිටා තිබිය යුතුය. එවිට පෘථිවියේ ඡායාව සඳ මතට වැටීම නිසා සඳේ එළිය මඳක් අඩුවී යයි. පූර්ණ චන්ද්‍ර ග්‍රහණයක දී චන්ද්‍රයා මුළුමණින්ම පෘථිවියේ සෙවණැල්ලට මුවා වන අතර චන්ද්‍රයාගෙන් කොටසක් පමණක් පෘථිවියේ සෙවණැල්ලට හසුවන අවස්ථා වලදී ඊට අර්ධ චන්ද්‍ර ග්‍රහණයක් යයි කියනු ලැබේ. චන්ද්‍ර ග්‍රහණයක් සෑමවිටම සිදුවන්නේ පුර පසළොස්වක පොහොය දිනකය. නමුත් සෑම පුර පසළොස්වක පොහොය දිනකම චන්ද්‍ර ග්‍රහණයක් සිදුනොවේ. එයට හේතුව නම් පෘථිවි කක්ෂ තලයත්, ස‍ඳේ කක්ෂ තලයත් අතර ඇති අංශක පහක් පමණ වන ආනතියයි. චන්ද්‍ර ග්‍රහණ සාමාන්‍ය ඇසින් නිරීක්ෂණය කිරීමෙන් ඇසට හානියක් සිදුනොවේ.
අප්‍රේල් 29

වලයාකාර සූර්ය ග්‍රහණයක්
මෙදින වලයාකාර සූර්ය ග්‍රහණයක් සිදුවේ. මෙම සූර්ය ග්‍රහණය ද ශ්‍රී ලංකාවට දර්ශණය නොවේ. එය හොඳින්ම දර්ශණය වන්නේ ඕස්ට්‍රේලියා මහාද්වීපයටය. සූර්ය ග්‍රහණයක් සිදුවීමේ දී චන්ද්‍රයා දෙපසින් සූර්යයා සහ පෘථිවිය එක එල්ලේ පිහිටිය යුතුය. එවිට චන්ද්‍රයාගෙන් සූර්යයා මුවා වීම නිසා පෘථිවියේ යම් ප්‍රදේශයකට මඳ වේලාවකට සූර්යාලෝකය නොලැබී යයි. මෙවැනි සූර්ය ග්‍රහණයක් දර්ශණය වියහැකි ආකාර තුනකි. එනම් පූර්ණ, අර්ධ හා වලයාකාර වශයෙනි. පූර්ණ සූර්ය ග්‍රහණයක දී චන්ද්‍රයාගෙන් සූර්යයා මුළුමණින්ම වැසී යයි. අර්ධ සූර්ය ග්‍රහණයක දී හිරුගෙන් කොටසක් පමණක් චන්ද්‍රයාගෙන් මුවා වේ. වලයාකාර සූර්ය ග්‍රහණයක දී සූර්යයාගේ මැද ප්‍රදේශය අඳුරු වෘත්තයක් ලෙසත් එම අඳුරු කළාපය වටා වළල්ලක් ආකාරයට දීප්තිමත් දිස්වේ. සූර්ය ග්‍රහණයක් සෑමවිටම සිදුවන්නේ අමාවක දිනකය. නමුත් සෑම අමාවක දිනකම සූර්ය ග්‍රහණයක් සිදුනොවේ. ඊට ද හේතු වන්නේ පෘථිවි කක්ෂ තලයත්, ස‍ඳේ කක්ෂ තලයත් අතර ඇති අංශක පහක් පමණ වන ආනතියයි.සූර්ය ග්‍රහණ සාමාන්‍ය ඇසින් නිරීක්ෂණය කිරීමට යාම ඇසට ඉතා හානිදායක විය හැකිය. ඒ මන්ද යත් සූර්යයාගෙන් නිකුත්වන ප්‍රබල කිරණ වලට ඔබගේ සියුම් ඇස් සෘජුවම නිරාවරණය වීමයි. එබැවින් සූර්ය ග්‍රහණක් නිරීක්ෂණය කිරීමට යාමේ දී සූර්ය පෙරහනක් හෝ ඒ සඳහා සුදුසු වෙනත් උපක්‍රමයක් හෝ භාවිතා කළ යුතුය.
මැයි 10

සෙනසුරු ග්‍රහලොව
සෞරග්‍රහ මණ්ඩලයෙහි දෙවන විශාලතම ග්‍රහලෝකය වන සෙනසුරු පෘථිවියට වඩාත්ම සමීපයෙන් පිහිටන දිනයයි. එබැවින් මෙදින සෙනසුරු නිරීක්ෂණය සඳහා ඉතා උචිත දිනයකි. හිරුගේ සිට හතරවන ස්ථානයේ පිහිටන සෙනසුරු පියවි ඇසින් (එනම් දුරේක්ෂයක් වැනි උපකරණයක් භාවිතා නොකර) අපට දැකගත හැකි අවසාන ග්‍රහලොවයි. සෙනසුරු ග්‍රහලොවේ ඇති සුවිශේෂත්වයක් වන්නේ එහි කැපී පෙනෙන වළළු පද්ධතියයි. තරමක් ප්‍රබල දුරදක්නයක් තුළින් බැලීමෙන් අපට සෙනසුරුගේ වළළු ද දැකගත හැකිය.
මැයි 25
බුධ ග්‍රහයා සහ සූර්යයා උපරිම කෝණික පරතරයකින් පිහිටයි. සැඳ අහසේ බුධ ග්‍රහලොව දීප්තිමත්ව නිරීක්ෂණය කළ හැකිය.
ජූලි 12
බුධ ග්‍රහයා සහ සූර්යයා උපරිම කෝණික පරතරයකින් පිහිටයි. පාන්දර අහසේ බුධ ග්‍රහලොව දීප්තිමත්ව නිරීක්ෂණය කළ හැකිය.
අගෝස්තු 13
පර්සියස් තාරකා රාශිය
පර්සීඩ් උල්කාපාත වර්ෂාව පර්සියස් තාරකා රාශිය අසලින් දර්ශණය වේ. මෙදින රාත්‍රී 12.00 ට පමණ ඊසාන දෙසින් මෙම පර්සියස් තාරකා රාශිය උදාවේ. එම පර්සියස් තාරකා රාශියේ සිට විහිදෙන්නාක් මෙන් පැයකට උපරිම වශයෙන් උල්කාපාත 100 ක් පමණ දැකගත හැකිය.
සැප්තැම්බර්21
බුධ ග්‍රහයා සහ සූර්යයා උපරිම කෝණික පරතරයකින් පිහිටයි. සැඳෑ අහසේ බුධ ග්‍රහලොව දීප්තිමත්ව නිරීක්ෂණය කළ හැකිය.
ඔක්තෝබර් 8
පූර්ණ චන්ද්‍ර ග්‍රහණයක් සිදුවේ. මෙම චන්ද්‍ර ග්‍රහණයේ අවසාන අවස්ථා පමණක් සඳ පායනවාත් සමග (එනම් ප.ව. 6.00 ට පමණ) ශ්‍රී ලංකාවට දර්ශණය වේ.
ඔක්තෝබර් 23
අර්ධ සූර්ය ග්‍රහණයක්
අර්ධ සූර්ය ග්‍රහණයක් සිදුවේ. උතුරු ඇමරිකා මහාද්වීපයේ සමහර රටවලට දර්ශණයවන මෙම අර්ධ සූර්ය ග්‍රහණය ශ්‍රී ලංකාවට දර්ශණය වන්නේ නැත.
නොවැම්බර් 1
බුධ ග්‍රහයා සහ සූර්යයා උපරිම කෝණික පරතරයකින් පිහිටයි. පාන්දර අහසේ බුධ ග්‍රහලොව දීප්තිමත්ව නිරීක්ෂණය කළ හැකිය.
නොවැම්බර් 18
සිංහ රාශිය
ලියොනිඩ්ස් උල්කාපාත වර්ෂාව සිංහ රාශිය අසලින් දර්ශණය වේ. මෙදින රාත්‍රී 1.00 ට පමණ නැගෙණහිර දෙසින් සිංහ රාශිය උදාවේ. එම සිංහ රාශියේ සිට විහිදෙන්නාක් මෙන් පැයකට උපරිම වශයෙන් උල්කාපාත 15 ක් පමණ දැකගත හැකිය.
දෙසැම්බර් 14
මිථුන රාශිය
ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව මිථුන රාශිය අසලින් දර්ශණය වේ. මෙදින රාත්‍රී 9.00 ට පමණ නැගෙණහිර දෙසින් මිථුන රාශිය උදාවේ. එම මිථුන රාශියේ සිට විහිදෙන්නාක් මෙන් පැයකට උපරිම වශයෙන් උල්කාපාත 120 ක් පමණ දැකගත හැකිය.
ඉදිරිපත් කිරීම
ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය

0 comments:

Post a Comment