March 10, 2017

ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ රොබෝ තාක්ෂණය

වෛද්‍ය විද්‍යාව සදහා වූ තාක්ෂණය ඉතා වේගයෙන් වෙනස් වේ. විවිධාකාර කෘතිම බුද්ධියන්, පරිගණක සහ රොබෝ ආදේශනයෙන් ඇතිවී ඇති නව දිශානතිය මගින් එය සුභවාදී දියුණුවක් වෙත යොමු වී තිබෙන බව බොහෝ විද්‍යාත්මක වාර්තා වලින්  පැහැදිළි වේ.

I knife (i පිහිය) යනු ශල්‍ය කර්ම සඳහා භාවිතා කරන නවතම උපකරණයකි. එම පිහියෙන් කැපෙන ශරීරයේ සෛල කෘතිමව වාෂ්පීකරණය වන අතර එම වාෂ්ප I knife විශ්ලේෂණය කර කැපීමට භාජනය වුයේ පිළිකා සෛලද නැතිනම් නිරෝගිමත් සෛලදැයි යන්න වෛද්‍යවරයාට දැනුම් දෙයි. එමඟින් වෛද්‍යවරයා අතින් නිරෝගි සෛල කැපී යෑම වැළැක්වේ.

කාර්මික කූඩැල්ලා (Mechanical leech) උපකරණය ක්‍රියා කරනුයේ ලෙඩ සුව කරන කූඩැල්ලකු ලෙසිනි. වෙනස නම් එමඟින් සිදුවන බැක්ටීරියා ආසාදනය අවම වීමයි. මෙලෙස දියුණු වූ උපකරණ නිසා වෛද්‍යවරයා තම දෑත වෙනුවට මෙම උපකරණ තෝරා ගැනීම පිළිගත හැකිය.

රොබෝ ශල්‍ය කර්මය සහ පරිගණක සහය ඇති වෛද්‍ය කර්මය දැනටමත් බොහෝ පුදුමාකාර ක්‍රියා කර ඇත. වෛද්‍ය විද්‍යාවේ අනාගතය සම්පූර්ණයෙන් වෙනස් කිරීමට ඒවාට විශේෂ විභවයක් තිබේ. දැනට වඩාත් ප්‍රචලිත ශල්‍යකර්ම රොබෝ පෙළපත වන da Vinci මඟින් ශල්‍ය වෛද්‍යවරයාගේ බාහිර චලනයන් රෝගියාගේ ශරීරය තුල සෘජුව ක්‍රියාත්මක කරයි. වෛද්‍යවරයාගේ සෑම චලනයකටම සමාන ලෙස da Vinci චලනය වන නමුත් මනුෂ්‍ය හස්තයක සිදුවිය හැකි අනවශ්‍ය අවධානම් සහිත කම්පනයන් පවා හඳුනාගෙන එම චලනය රෝගී ශරීරය තුල සිදු නොවීමට වග බලාගනී. එම නිසා සිදුවිය හැකි අත්වැරදීම් මැඩ පැවැත්විය හැකිය. රොබෝ ශල්‍යකර්ම වල තවත් වික්‍රමයක් නම් දුරස්ථව පාලනය කළ හැකි ලෙස ශල්‍යකර්ම ක්‍රියාත්මක කළ හැකි වීමයි. උදාහරණයක් ලෙස පෙන්ගුවින් සඳහා ශල්‍යකර්මයක් කිරීමට වෛද්‍යවරයකු යන නැව අයිස් මත හිරවී ඔහුට පෙන්ගුවින් වෙත ළගා විය නොහැකි වු විට වෛද්‍යවරයා දර්ශන තිරයක් නරඹමින් දුරස්ථ රොබෝ ශල්‍යකර්මයක් මඟින් පෙන්ගුවින් සුවපත් කළ හැකිය.

සම්ප්‍රදායික ශරීරය විවෘත කරන ශල්‍යකර්ම වලදී විශාල කැළැල්, සුව වීම සඳහා දීර්ඝ කාලයක් ගත වීම, සුව වීමේදී මුහුණ දිය යුතු දැඩි වේදනාවන් යනාදිය අවම කරගැනීමට හැකි වනුයේ 4˝ ක විවෘත කිරීම 1˝ දක්වා රොබෝ ශල්‍යකර්මයකදී අඩු කරගත හැකි වීම නිසාය. ශල්‍ය කර්මයකදී මිනිස් අතකට කළ හැකි කාර්ය සීමාව  ඉතා විශාල ප්‍රමාණයකින් ඉක්මවා යෑමට රොබෝට හැකිය.
Raven තවත් රොබෝ ශල්‍යකර්ම පෙළපතකි. Raven ට ක්‍රියාත්මක කරන ලද පැරණි ශල්‍යකර්ම දත්ත විශ්ලේෂණය කර එම ශල්‍යකර්මය ක්‍රියාත්මක කළ යුතු වඩාත් පහසු හා හොදම පිළිවෙල නිර්මාණය කිරීමට හැකියාව තිබේ.     
    
අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙණි.

සකස්කළේ : හර්ෂ ලංකේශ්වර , විද්‍යා හා තාක්ෂණ නිලධාරි

https://www.youtube.com/watch?v=-EX-KtahNig

0 comments:

Post a Comment