March 17, 2017

කාමරය තුළ රැහැන් නොමැති විදුලි සම්ප්‍රේෂණය

විදුලි රැහැන් නොමැති විදුලි සම්ප්‍රේෂණය මගින් කාමරයක් තුළ විදුලි උපකරණ පණගැන්වීමට හා ක්‍රියාත්මක කිරීමට මිකී මවුස්, ඩොනල්ඩ් ඩක් වැනි ප්‍රසිද්ධ කාටූන් චරිත සහිත චිත්‍රපටි නිෂ්පාදකයින් වන වෝල්ට් ඩිස්නි සමාගමේ පර්යේෂකයන් සමත් වී තිබේ.

විදුලි රැහැන් නොමැතිව විදුලිය සම්ප්‍රේෂණය සදහා වඩාත් ප්‍රසිද්ධ යෝජකයා 19 ශත වර්ෂයේ සිටි සර්බියා-ඇමෙරිකානු ජාතික Nikola Tesla  වේ. එහෙත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීම මේ දක්වා ප්‍රමාණාත්මක මට්ටමෙන් ව්‍යාප්තව සිදුවී නැත. මිනිසුන්ට අහිතකර නොවන ලෙස කාමරයක් තුළ විදුලි රැහැන් නොමැතිව විදුලිය සම්ප්‍රේෂණය කරන ආකාරය ඩිස්නි පර්යේෂණ කණ්ඩායම PLOS ONE සගරාවේ පළ කර තිබෙන අතර සාමාන්‍ය දත්ත (Data) අවකාශය හරහා සම්ප්‍රේෂණය කරන ආකාරයටම පහසු ලෙස රැහැන් නොමැතිව විදුලි උපකරණ සදහා විදුලි බලය නිර්මිත අවකාශය හරහා සම්ප්‍රේෂණය කිරීමට හැකියැයි එහි සදහන් වේ. කෙසේවෙතත් නව ක්‍රමය කාමරය තුළ ක්‍රියාත්මක කිරීමට පමණක් හැකි ලෙස සීමාවීම තවදුරටත් ස්වයංක්‍රියව හෝ භූගෝලීය නිදහසකින් ක්‍රියාත්මක කිරීමේ හැකියාව දක්වා වර්ධනය කර ගැනීම අවශ්‍යය.

ග්‍රාහකයාට (උපකරණයට) කිලෝ වොට් බලශක්තියක් ලබා දීම සදහා අවශ්‍ය චුම්භක ක්ෂේත්‍රයක් උපද්දවීමට පර්යේෂක කණ්ඩායම විසින් “ quasistatic cavity resonance (QSCR/ ප්‍රායස් ස්ථිතික අනුනාද)” ක්‍රමය නිර්මාණය කර ඇත. ඒ සදහා කාමරයට ඇලුමේනියම් පනේල (panel) ඇතුළු කිරීම හා කාමර මධ්‍යයේ සිලිම හා පොළව අතර තඹ පොලයක් (pole) සැදීම කළ යුතුය. මෙගා වොට් 1.32 ක එක් බලශක්ති උත්පාදකයකින් ලැබෙන විදුලි ක්ෂේත්‍රය විසුරවිම හා අනුනාද සංඛ්‍යාතයක් සැකසීම සදහා මෙම පෝලය තුළ ධාරිත්‍රක (capacitors) 15 ක් සවිකර ඇත. ඒකාකාරී චුම්භක ක්ෂේත්‍රයක් කාමරය පුරා එකම සංඛ්‍යාතයකින් ගමන් කිරීම සහ ග්‍රාහක උපකරණ වල සවිකළ සමාන සඛ්‍යාත අනුනාද ඇතිවන දගර රැහැන් භාවිතා කර විදුලි උපකරණවලට විදුලි රැහැන් නොමැතිව මෙමගින් විදුලිබලය ලබාදීමට පර්යේෂකයෝ සමත් වුහ.

සාමාන්‍යයෙන් සුපුරුදු ලෙස විදුලි ලබාදීම සදහා කාමරය තුළ විදුලි රැහැන් ස්ථාන ගත කිරීමට වඩා මෙලෙස කාමර විශේෂයෙන් සකස් කිරීමට සිදුවීම අපහසු බව මෙහිදී හැගෙන නමුත් නව තාක්ෂණයට එම අපහසුතා මර්ධනය කර වර්ධනය වීමේ විභවයක් තිබෙන බවද වාර්තා වේ.  

අන්තර්ජාලයේ විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස් කළේ :
හර්ෂ ලංකේශ්වර, විද්‍යා හා තාක්ෂණ නිලධාරි.

https://youtu.be/gn7T599QaN8?t=3

0 comments:

Post a Comment