July 14, 2015

ව්‍යායාම නැතුව දිගුකලක් ජීවත්වෙන්න බැරිද?

මිනිසාගේ යහපත් ශරීර සෞඛ්‍යයට ව්‍යායාම නැතිව බැරි අංගයකි. ඒත් බොහෝ දෙනෙකු අතින් අද ගිලිහී යන්නේ මේ අවශ්‍යම අංගය යයි කියා කිවහොත් ඔබ අප සමග එකග වනවා ඇත. කාර්ය බහුලකම නිසාම ව්‍යායාම කිරීමට කාලයක් නැතැයි කියා මැසිවිලි නඟන කොතෙකුත් අය අප අතර ඕනෑතරම්ය. ඒ කවුරුවත් දිගු කලක් ජීවත්වීම පිළිබද සිහිනයෙන් ඈත් නොවී සිටීම පුදුමයයි. දීර්ඝ කාලයක් ජීවත් වීමත් ව්‍යායාමත් අතර සම්බන්ධයක් තිබේ. ඒ සම්බන්දය ගොඩනැගෙන්නේ මේ ආකාරයටයි.
            ව්‍යායාම නිසා ශරීරයේ ශක්ති මට්ටම ඉහල යයි. ඔක්සිජන් හා පෝෂ්‍යය පදාර්ථ මිනිස් සිරුර තුළ වඩාත් හොදින් එහා මෙහා ගෙන යන්නට ව්‍යායාම හේතු වේ. එය කාර්යක්ෂම දිවියකට බෙහෙවින් වැදගත් වන්නකි. ව්‍යායාම වගේම ක්‍රීඩාවන් ප්‍රගුණ කිරීම පුද්ගලයාගේ සමාජ සම්බන්ධතා ජාලය ශක්තිමත් කිරීමට ද ඉවහල් වේ. ක්‍රීඩාංගණයට යාම, ක්‍රීඩා කණ්ඩායමක් සමග සම්බන්ධවීම , සමගියෙන් ක්‍රීඩා කිරීම වැනි කටයුතු හරහා ඉතා හොද මනුෂ්‍ය සම්බන්ධතා ගොඩනැ‍‍‍‍ගේ. පවත්නා සම්බන්ධතා වැඩිදියුණු වේ. මේ තත්ත්වය තුළ හුදකලාවෙන් තොරව සතුටින් ජීවිතය ගෙවා දමන්නට කෙනෙකුට ඉඩකඩ සැලසේ.

            ශාරීරිකව ක්‍රියාකාරී පුද්ගලයෙක් හැම විටම ඉතාමත් නිරෝගී කෙනෙකි. පර්යේෂණවලින් තහවුරුවී තිබෙන්නේ දිනකට මිනිත්තු 30 ක් ව්‍යායාමවල හෝ ක්‍රීඩාවක යෙදීම සිරුර හැම අතින්ම නිරෝගීමත්ව තබා ගන්නට තිබෙන ඉතා හොද ක්‍රමයක් බවය.

            ව්‍යායාම සහ ක්‍රීඩා කටයුතු  ප්‍රීතිමත් දිවියකට ද මං විවර කර දෙන්නේය. ශාරීරිකව ක්‍රියාකාරකම් වල යෙදෙන විට මිනිසාගේ මොලයේ තිබෙන රසායනිකයක් නිදහස් වන්නට පටන් ගනී. මේ රසායනිකය හැදින්වෙන්නේ ඒන්ඩෝෆින්ස්(Endorphins) යනුවෙනි. එකී රසායනිකය නිදහස් වනවිට සිරුරට ලිහිල් බවක් ඇතිවෙන්නට පටන්ගනී. ඒ තුලින් සන්තෝෂය ඇති වේ. ව්‍යායම වගේම ක්‍රීඩා‍ කටයුතු නිසා හොද විනෝදයක් මිනිසා තුල ජනනය වේ.ඔබ ඔබේ සුරතල් සුනඛයා සමග ඇවිදින්නට යනවා යයි සිතන්න. එහෙමත් නැත්නැම් බියිසිකලයක් පැදගෙන වටයක් දෙකක් යනවා යයි සිතන්න. මේ හැම දෙයක් නිසාම ඔබට විනෝද වන්නට පුලුවන. සමහරවිට එය ඔබේ ජීවිතයේ විනෝදාංශයක් බවට පත්වන්නට ඉඩ ඇත.

            ශාරීරිකව ක්‍රියාකාරී කෙනෙකු කිසිවිටෙක අනවශ්‍ය ලෙස මහත් වන්නේ නැත. ව්‍යායාමවල යෙදෙන කෙනෙකුගේ සිරුරේ තිබෙන නුවුමනා කැලරි දහනය වී යයි. සිරුරේ බර නිසි පමණට තබා ගන්නට අවස්ථාව සැලසේ. ව්‍යායාම ඔබේ හෘදයේ ක්‍රියාකාරිත්වය නියමාකාරයෙන් පවත්වා ගන්නට උපකාරී වේ. ඒ නිසා හැම විටම රුධිර පීඩනය පාලනය කරයි. එමගින් රුධිර සංසරණය වඩාත් හොදින් පවත්වාගෙන යන්නට පුළුවන. ව්‍යායාමවලට සහ විවිධ ක්‍රීඩාවන්ට ලැදි අයට නින්ද පිළිබද ගැටළු ඇතිවන්නේ නැත. දිවා කාලයේ ක්‍රීයාකාරී ජීවිතයක් ගත කරන අය රාත්‍රිය ලගා වන විට කිසියම් මට්ටමක වෙහෙසකට පත් වේ. එය සුව නින්දකට හොදවාතාවරණයකි. ඇතැම් ව්‍යායම ගර්භණී මාතාවන්ට සැහැල්ලුවෙන් සිටීමට ඉවහල් වේ. කොහොම වුනත් එවැනි අය ව්‍යායාම තෝරාගත යුත්තේ වෛද්‍ය නියමයෙනි. හිතුමතයට ගැබිණි මව්වරුන් ව්‍යායාම කිරීමට යාම අනතුරුදා‍යක විය හැකිය.

            වයසට වඩා වැඩි මහලු පෙනුමක් එකතුවීම ව්‍යායාම කිරීමෙන් වළක්වා ගන්නට පුළුවන. සමස්ථයක් හැටියට  හැටියට ගත්විට ව්‍යායම මිනිසාගේ සාරුරට, මනසට වගේම අධ්‍යාත්මයටත් කිසිවිටෙක අවඩැක් කරන්නේ නැත.

 සකස් කළේ 
විද්‍යා හා තාක්‍ෂණ නිලධාරි ,
අගුනුකොලපලස්ස.

0 comments:

Post a Comment