June 4, 2015

ලෙඩට බොන බෙහෙත් ලෙඩක් වුනොත්............

අහිතකර ඖෂධීය ප්‍රතික්‍රියාවක් යනු කුමක්ද? (Adverse Drug Reaction - ADR)
 

ඖෂධ, ලෙඩ රෝග වලින් වැලකීමට හෝ ප්‍රතිකාර කිරීමට භාවිතා වේ. කෙසේ වෙතත් සමහර අවස්ථා වලදී ඖෂධ මගින් ගැටළුකාරී තත්ත්ව ඇති විය හැක. මේවා අහිතකර ඖෂධීය ප්‍රතික්‍රියා (ADR) නමින් හදුන්වනු ලැබේ. මෙවැනි අවස්ථාවලදී කළ යුතු දේ ඔබ දැන සිටීම වැදගත්වේ.

අහිතකර ඖෂධීය ප්‍රතික්‍රියා සියලු දෙනාටම ඇති විය හැකිද?  ඔව්.

ඕනෑම පුද්ගලයෙකුට මෙය සිදුවිය හැකිය. කෙසේ වෙතත් දිනකට ඖෂධ වර්ග 03 කට වඩා ගන්නා පුද්ගලයෙකුට මෙය සිදුවීමේ හැකියාව වැඩිය. එක් ඖෂධ වර්ගයක් වෙනත් ඖෂධ වර්ගයක් සමග ගැනීමෙන් අහිතකර ඖෂධීය ප්‍රතික්‍රියාවක් ඇති වීමේ හැකියාවක් ඇත. මෙය අවම කිරීම සඳහා ඔබගේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කර ඔබ ගන්නා ඖෂධ සංඛ්‍යාව හැකිතාක් සීමා කර ගන්න. ඔබ කෙටි කාලීනව ගන්නා ඖෂධ ඇතුලු සියලුම ඖෂධ පිළිබද සියලුම විස්තර වෛද්‍යවරයාට පවසන්න. හැකි සෑම විටම එක් ෆාමසියකින් ඖෂධ මිලදී ගැනීම තුලින් ඖෂධවේදියාට ඔබ භාවිතා කරන ඖෂධ පිළිබද අවබෝධයක් ලැබෙන බැවින් ADR ඇති වීම වළක්වා ගත හැක.

අහිතකර ඖෂධීය ප්‍රතික්‍රියා (ADR) ඇති වන්නේ වට්ටෝරුගත ඖෂධ (Prescription Medicine) වලින් පමණක් ද? නැත.

වට්ටෝරුගත නොවන ඖෂධ Over The Counter Medicine / OTC Medicine) මගින් ද ADR ඇති විය හැකිය.
විටමින් වර්ග, ඖෂධීය තේ හෝ ඖෂධීය පෙති, ආදේශක ආහාර; සමහර ඖෂධ සමග භාවිතය මගින් ද ADR ඇති විය හැකි බැවින් මේවා භාවිතා කරයි නම් ඒ පිළිබඳව ඔබගේ වෛද්‍යවරයාට පවසන්න. ග්‍රේප් ෆෘට් හා ග්‍රේප් ෆෘට් යුෂ මධ්‍යසාර සහ කැෆේන් වැනි දේ ඖෂධ ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇති කරන අතර එමගින් ADR ඇති විය හැකිය. සෑම විටම නව ඖෂධයක් ඔබගේ වෛද්‍යවරයා නිර්දේශ කරන විට ආහාර හා පාන වර්ග සමග ඇති අන්තර්ක්‍රියා පිළිබඳව අසා දැන ගන්න.
දැනටමත් භාවිතා කරන ලද ඖෂධ වර්ග වලිනුත් ADR ඇති විය හැකිද?
මුදල් ඉතිරි කිරීමේ පරමාර්ථයෙන් ඔබ ළග දැනට ඉතිරි වී ඇති ඖෂධ වර්ග භාවිතා කිරීම සුදුසු නොවන අතර ඒවා නැවත ගැනීමෙන් අනපේක්ෂිත ADR ඇති විය හැකිය.


වෙනත් අයෙක් සඳහා නිර්දේශීත ඖෂධ වර්ග භාවිතයට සුදුසු ද? නැත.

මෙය කිසිවිටක සිදු නොකළ යුතු අතර මෙමගින් ADR ඇති වීමේ හැකියාව පහත සඳහන් හේතු නිසා වැඩිවේ.
Ø  වෛද්‍යවරයා රෝගියකු සඳහා ඖෂධ නිර්දේශ කරනු ලබන්නේ වයස, ස්ත්‍රී පුරුෂ භාවය හා බර අනුව නිසා වැරදි ප්‍රමාණ වලින් ලබා ගත් විට ADR ඇතිවේ.
Ø  ඔබ භාවිතා කරන වෙනත් ඖෂධ වර්ග සමග අන් අයෙකු සඳහා නිර්දේශිත ඖෂධ භාවිතයෙන් ADR ඇති විය හැකිය.
Ø  අන් අයෙකුට නිර්දේශිත ඖෂධයක් සඳහා ඔබගේ ප්‍රතික්‍රියාව වෙනස් විය හැක.
Ø  ඖෂධ හවුලේ භාවිතා නොකිරීම ආරක්ෂිතවේ.

ADR තිබෙන බව දැනගන්නේ කෙසේද?

ඔබ ඖෂධ භාවිතා කරන විට ඔබගේ සිරුරේ ඇති වන වෙනස්කම් පිළිබඳ සැලකිලිමත් වීම වැදගත්වේ. අනපේක්ෂිත වෙනස්කම් පිළිබඳ ඔබගේ වෛද්‍යවරයාට පවසන්න.
අහිතකර ප්‍රතික්‍රියා ඇති වූයේ ඔබගේ රෝගය හෝ ඖෂධ නිසාද යන්න දැන ගැනීම අපහසුවේ. ඔබගේ රෝග ලක්ෂණ මුලින්ම ඇති වූ වේලාව හා ඒවා ඔබගේ රෝගයෙන් වෙනස් වන ආකාරය ඔබගේ වෛද්‍යවරයාට පවසන විට ඔබ ගත් ඖෂධ වර්ග ද සඳහන් කරන්න. පහත සඳහන් කර ඇත්තේ ඔබට ඇති විය හැකි සමහර ADR වේ.
 

Ø  සමේ ඇතිවන කුඩා බිබිලි වැනි ආසාදන
Ø  ලේසියෙන් සිදුවන තැලුම්
Ø  ලේ වහනය
Ø  දරුණු ඔක්කාරය හා වමනය
Ø  පාචනය
Ø  මලබද්ධය
Ø  පැටලිලි සහගත බව
Ø  හුස්ම ගැනීමේ අපහසුතා

පහත සඳහන් කර ඇත්තේ වෛද්‍යවරයා ඔබ පරීක්ෂා කිරීමෙන් පසුව දැන ගත හැකි ADR වේ.

Ø  පරීක්ෂාණාගාර පරීක්ෂණ වල ප්‍රතිඵල වල වෙනස්වීම්
Ø  අසාමාන්‍ය හෘදස්පන්දනය

වෛද්‍යවරයා ඔබගේ ADR සඳහා සිදු කරන්නේ කුමක්ද?

මෙහිදී ඔබ භාවිතා කරන ඖෂධ නැවැත්වීම මගින් ADR ඉබේම පහ විය හැක. නැතහොත් ADR සඳහා වෙනත් ඖෂධ ලබා දීම මගින් ප්‍රතිකාර කළ හැකිය. ඔබගේ ADR දරුණු තත්ත්වයට පත් වුවහොත් රෝහල්ගත වීමට සිදු විය හැකිය. කෙසේ වෙතත් ඖෂධයක් ගැනීම නතර කිරීම ඔබ විසින් කිසිවිටෙකත් වෛද්‍ය උපදෙස් වලින් තොරව සිදු නොකළ යුතුය.

උපුටා ගැනීම -  http://familydoctor.org/familydoctor/en/drugs-procedures-devices/prescription-medicines/drug-reactions.html

1 comments:

Post a Comment