October 6, 2014

ඔබත් ඉරුවාරදයෙන් පෙළෙනවාද?

 ඉරුවාරදයෙන් පෙළිම යනු බොහෝ පීඩාකාරී අත්දැකිමක් වන අතර මෙය ඇතිවීමට බලපාන ප්‍රධාන කරුණු කවරේදැයි හදුනාගැනීමෙන් මෙම පීඩාකාරී අත්දැකීමෙන් යම්තරමක් දුරකට බේරි සිටීමට හැකිවනු ඇත.

ඉරුවාරදය ඇතිවීමට බලපාන ප්‍රධාන කරුණු කවරේදැයි මදක් සලකා බලමු.
ඉරුවාරදය ඉතාම අපහසුකාරී මෙන්ම වේදනාකාරී හිසරදයක් වන අතර ඇත්තවශයෙන්ම මෙය ඇතිවීමට බලපාන පොදු
කරුණු රාශියක්ම තිබේ. ඔබට ඉරුවාරදය ඇතිකිරීමට බලපාන හේතු සාධක කල්තියා හදුනාගත හැකි නම් ඉරුවාරදය සැදීම වලක්වාගැනීමට හෝ එහි දරුණුකම අඩුකර ගැනිමට ඉන් විශාල පිටුවහලක් සැපයේ.
ඉරුවාරදය ඇතිකිරීමට බලපාන සමහර හේතු සාධක වනුයේ අප ආහාරයට ගන්නා කෑම වර්ග හා බීම වර්ග වේ. මෙම ආහාර පාන මොනවාද යන්න පිලිබදව  හදුනාගැනීමෙන්  පසු අපට ඒවා ආහාරයට එක්කර ගැනීම අඩු කිරීමට හෝ ආහාරයට නොගෙනම සිටීමට පුලුවන. නමුත් කාලගුනයේ සිදුවන වෙනස්වීම් හෝ පීඩන වෙනස්වීම් ආදිය නිසා ඉරුවාරදය ඇතිවන්නේ නම් මෙම සාධක පාලනය කිරීම අපහට අපහසු වේ.
ඔබ ආහාරයට ගන්නා කෑම වර්ග හා බීම වර්ග පිළිබදව සැලකිලිමත් වන්න!
ඔබගේ පරිසරයේ සිදුවන වෙනස්කම් හා ඔබගේ ජීවන ක්‍රමයේ සිදුවන වෙනස්කම් පිළිබදව සැලකිලිමත් වන්න. ඔබගේ ඉරුවාරදය සමග මෙම කාරණා  වල යම් සම්බන්ධතාවයක් තිබෙන බව ඔබට ඉක්මනින්ම අවබෝධ වනු ඇත.
ඉරුවාරදය ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු:
1.      මධ්‍යසාර පානය
මධ්‍යසාරමය පානයන් විශේෂයෙන්ම රතු වයින්, බියර් ආදිය ඉරුවාරදය ඇතිකිරීම කොරෙහි කෙලින්ම බලපායි. ඔබට මධ්‍යසාර පානය නවතා දැමිය නොහැකි නම් වඩාත් ආරක්ෂාකාරී වනුයේ වොඩ්කා, ස්කොෂ් වැනි පාන වර්ග භාවිතා කිරීමයි. නමුත් ඔබ පුරුෂයෙක් නම් දිනකට ඩ්‍රෑම් දෙකක් පමණ ද කාන්තාවක් නම් දිනකට එක් ඩ්‍රෑමයක් පමණක් ද ලබාගැනීමට ඔබටම සීමා පනවා ගත යුතු වේ.
2.      කැපේන්
ඔබ දිනකට පරිභෝජනය කරන කැපේන් ප්‍රමාණය යම් අඩුවීමක් හෝ වැඩිවිමක් ඉරුවාරදය ඇතිකිරීමට බලපෑ හැකිය. දිනකට කැපේන් සහිත පානයන් දෙකකට වඩා නොගැනීමට ඔබ පරිස්සම් විය යුතුය.
3.      පාරිසරික බලපෑම්
සෘතුමය වෙනස්වීම්,කාලගුණික වෙනස්වීම්, උන්නතාංශයේ සිදුවන වෙනස්කම් මෙන්ම පීඩනයේ සිදුවන වෙනස්කම් නිසා ද ඉරුවාරදය ඇතිවිය හැකිය. මෙම සාධක පාලනය කිරීම ඔබට අපහසු වුනද මෙම කරුණු නිසා ඇතිවන ඉරුවාරද තත්වය වළක්වා ගැනීමට වෙනත් විකල්ප ක්‍රම සහ විධි භාවිතා කිරීම කල හැකිය.
4.      නිදාගැනීමේ රටාවන්
නින්ද මගහැරීම හෝ වැඩි වේලා  නිදාගැනීම ඉරුවාරදය ඇතිවීමට බලපෑ හැකිය.
නින්ද සදහා නිශ්චිත න්‍යාය පත්‍රයක් අනුගමනය කිරිමට පෙළඹෙන්න. නිදාගැනීම සදහා ඇදට යෑම සහ උදෑසන පිබිදීම සැමදා එක වේලාවන් වල කිරීමට පුරුදු වීමෙන් ඔබගේ ඉරුවාරදය ඇතිවීමේ අවදානම අඩුකරගත හැකිය.
5.      ආහාර
නිරන්තරයෙන් ඉරුවාරදය ඇතිවීම කෙරෙහි  සමහර ආහාර ද්‍රව්‍ය පරිභෝජනය කිරීම එක්තරා ප්‍රමාණයකට බලපාන බව සොයාගෙන තිබේ. චොකලට් වර්ග,චීස්.මුහුදු ආහාර, අච්චාරු වර්ග,පැසවීමට බදුන් කල ආහාර, පැගිරි කුලයේ පලතුරු,කෙසෙල් ගෙඩි,පැපොල්, කුකුලු පීකුදු, සොසේජස් වර්ග සහ මොනෝ සෝඩියම් ග්ලූටමේට් සහිත ආහාර ගැනීම ඉරුවාරදය ඇතිවීමට බලපායි.
6.      ආලෝකය
දීප්තිමත් විදුලි පහන්, හිරුගේ දීප්තිමත් රැස් දහරා සහ පරිඝනක තිරය හා රූපවාහිනිය වැනි විද්‍යුත් උපකරණ වල flickering lights සමහර පුද්ගලයන්ට ඉරුවාරදය ඇති කිරීමට සමත් වේ. දිප්තිමත් සූර්යාලෝකය පවතින දිනවල දී අව්කණ්ණාඩි පැලදීමෙන් මෙන්ම හැකි සෑම විටම දීප්තිමත් ආලෝකය මගහැර සිටීමෙන් මෙහිදී ඇතිවන ඉරුවාරදය පාලනය කරගත හැකිය.
7.      ශබ්ද
හදිසියේ ඇතිවන ශබ්ද මෙන්ම දීර්ඝව පවතින තද ශබ්ද ඉරුවාරදය ඇතිකිරීමට හේතු කාරක වේ. හැකි සැම අවස්ථාවකදීම මෙවැනි ශබ්ද මගහැර සිටීමට කටයුතු කිරිම මෙන්ම ශබ්ද වලින් පිරුණ වටපිටාවක රාජකාරියේ නියැලී සිටින්නෙක් නම් ශ්‍රවනාධාර පාවිච්චි කිරිම ඉරුවාරදයෙන් වැලකී සිටීමට ගතහැකි වඩාත් නිවැරදි පියවරයි.
8.      ගන්ධයන්
තිනර්,විවිධ සුවද විලවුන් වර්ග,සුගන්ධවත් මල්, පරිසර දූෂණය වැනි ප්‍රබල ගන්ධයන්ට සංවේදී වීම මත සමහරුනට ඉරුවාරදය ඇතිවිය හැකිය. හැකි සෑම අවස්ථාවකම මෙවැනි දෑ වලින් වැලකී සිටීමට උත්සාහ ගැනීමෙන් ඔබට ඉරුවාරදය සෑදීම තරමක් දුරට හෝ පාලනය කරගත හැකිය.
9.      ආහාර වේල් මගහැරීම
ආහාර නොගෙන සිටීම, අඩුවෙන් ආහාර ලබාගැනීම හෝ ආහාර වේල් මගහැරීම ඉරුවාරදය ඇතිවීමට බලපෑ හැකි හේතු සාධක වේ.
සමබල ආහාර වේලක් ක්‍රමවත්ව දවස පුරා ලබාගැනීමට උනන්දු වීම මගින් ඉරුවාරදය වැලදීමට ඇති හැකියාව වලක්වා ගත හැකිය.
10.  ආතතිය
ආතතිය සහ ඉරුවාරදය අතර සබදතායක් ඇතිබව සමහර පුද්ගලයන් විසින් වාර්තා කර තිබෙන අතර වැඩි ආතතියකින් යුක්තව කටයුතු කරන කාලසීමා අතරතුර දී ඉරුවාරදය වැලදෙන බව නිරීක්ෂණය කර තිබේ. රැකියා ස්ථානයේ දී හෝ නිවසේ දී ඔබව ගොදුරු කරගන්නා ආතතිය වලක්වා ගැනිමට ඔබට කල හැකි සියලු දේ කරන්න.
ආතතිය මගහරවා ගැනිමට හෝ අවම කරගැනීමට ගතහැකි සියලු පියවර ගන්නා අතරම භාවනා කිරීම, ගැඹුරින් හුස්ම ගැනීම වැනි ආතති කළමනාකරණය සම්බන්ධ විවිධ ක්‍රම අනුගමනය කරන්න.

උපුටා ගැනීම : http://www.worldhealth.net

0 comments:

Post a Comment