December 21, 2015

පරිසර දූෂණයේ අපි නොදකින නොහිතන පැතිකඩක්

ශබ්ද දූෂණය අපට බලපාන්නේ කෙසේද?
පාරිසරික හා සෞඛ්‍ය ගැටළු සදහා හේතු වන සාධක අතරින් දෙවන සාධකය ලෙස ශබ්ද දූෂණය, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදුනා ගෙන ඇත. (පළමු තැන ගන්නේ වායු දූෂණයයි)

අපේ රටේ බොහෝ දෙනෙක් දැනුවත්ව හෝ නොදැනුවත්ව ශබ්ද දූෂණයේ ගොදුරු බවට පත්ව ඇත. තම නිවසේ හෝ අල්ලපු ගෙදර ක්‍රියාත්මක වන රේඩියෝව, රූපවාහිනීය, වාහන තුළ, ගරාජ්, වීමොල්, නගරයේ ලොතරැයි කඩ, රෙකෝඩ්බාර්, ගල්කොරි ආදියේ සිට මහා පරිමාණ කර්මාන්තශාලා දක්වා මෙම ශබ්ද දූෂණය විහිදී යයි.

අධික ශබ්දය තමන්ට මෙන්ම අනුන්නටද කරදරයක් බව අපේ රටේ බහුතරයක් දැන සිටින කාරණාවක් වුවද, උත්සව අවස්ථාවක් වැනි තමන්ගේ පෞද්ගලික කටයුක්තකදී පවා එය සැලකිල්ලට ගන්නා බවක් නොපෙනේ.

කොපමණ ප්‍රමාණයකින් ශබ්දය උත්පාදනය වෙනවාදැයි මනින්නේ ඩෙසිබල් (Decible) නැමැති ඒකකයෙනි. ඩෙසිබල් 80 වඩා අඩු ශබ්දය මිනිසෙකුට ඔරොත්තු දෙයි. මේ ශබ්දය ඩෙසිබල් 85 ඉක්මවා ගියහොත්, කන් බෙරයට ඔරොත්තු නොදෙන තත්ත්වයකි. ශබ්දය ඩෙසිබල් 100 ඉක්මවා ගියහොත්, කන් බිහිරි වන්නටද පිළිවන. ඩෙසිබල් 85ක ශබ්දය මිනිසකුට නිරාවරණය විය හැකි උපරිම කාලය පැය 8කි. දිනකට ඩෙසිබල් 88 ක ශබ්දයකට නිරාවරණය විය හැකි උපරිම කාල පරාසය වන්නේ පැය 4කි. ඩෙසිබල් 85 කට වඩා වැඩි ශබ්ද පරාසයක සේවය කරන සේවකයින් ශ්‍රවණාරක්ෂක උපකරණ පැළදිය යුතු වේ. කාලාන්තරයක් තිස්සේ ඔරොත්තු නොදෙන ශබ්දයකට නිරාවරණ වීමෙන් ශ්‍රවණය ක්‍රමයෙන් අහිමි වන අතර, එම තත්ත්වය කෙනෙකුට දැනෙන විට බෙහෙවින්ම ප්‍රමාද වී තිබෙනු ඇත. බරබතලම කාරණය වන්නේ ශබ්දය නිසාවෙන් සිදු වන ශ්‍රවණය අහිමි වීම යලි කිසිදා යථා තත්ත්වයට ගෙන ඒමට නොහැකි වීමය.

කොපමණ ශබ්දයකට අප නිරාවරණය වනවා දැයි අවබෝධ කරගන්නේ කෙසේද?

ඒ සදහා භාවිතා කරන ශබ්දය මනින උපකරණ සොයා ගැනීම අසීරු කටයුක්තක් වන අතර, ඔබ අවට ඇති ශබ්දය පිළිබද යම් අවබෝධයක් ලබා ගැනීමට පහත දත්ත ප්‍රයෝජනවත් වනු ඇත.

                 කෙදිරිගෑම                             - ඩෙසිබල් 20-30 ත් අතර
                 සතුටු සාමීචිය                         - ඩෙසිබල් 60-65ත් අතර
                 තදබදය සහිත නාගරික ශබ්දය - ඩෙසිබල් 60-85
                 විදුලි කියතකින් ලී ඉරීම          - ඩෙසිබල් 110
                 කර්මාන්තශාලාව                   - ඩෙසිබල් 100 – 130ත් අතර
                 එළිමහන් සංගීත ප්‍රසංගයක්     - ඩෙසිබල් 110

ඔබේ අතේ දුරින් සිටින පුද්ගලයකු සමග අපහසුවකින් තොරව අදහස් හුවමාරු කර ගැනීමට නොහැකි තරමේ ඝෝෂාකාරී බවක් ඔබ අවට තිබෙනවා නම් ඉන් හැගවෙන්නේ ඔබ අවට ශබ්දය ඩෙසිබල් 85 ඉක්මවා ගොස් ඇති බවයි. (ඔබ දිනකට එවැනි බස් රථයක ගමන් කරන්නේ නම් ශ්‍රවණාරක්ෂක උපකරණ පැලදීම සෞඛ්‍යට හිතකර බව පවසමි.) සෝෂාකාරී බව ඔබේ සෞඛ්‍ය සදහා විවිධ ආකාරයෙන් බලපාන ඇත.
  •      අඩුබර උපත් හා උපත් ආබාධ වලට හේතු වීම.


සෝෂාකාරී පරිසරයක ජීවත් වන ගර්භණී මවුවරුන්ට, නොමේරූ දරුවන්, අඩුබර සහිත දරුවන් හා ශ්‍රවණාබාධිත, ස්නායු ආබාධ වැඩි සංජානනීය ආබාධ සහිත දරුවන් බිහිවීමේ අවධානමක් ඇත. (ඇකඩමි ඔෆ් ඇමරිකන් ජර්නල් ඔෆ් පීඩියැට්‍රික්ස්)

  •    දරුවන්ගේ අවබෝධ ශක්තිය බිදවැටීම.

කෝර්නෙල් සරසවියේ (Cornell University) සිදු කෙරුණු පර්යේෂණයකට අනුව ඝෝෂාකාරී පරිසරයක වැඩෙන දරුවන් ගේ නිවැරදි භාෂා උච්චාරණය, භාෂාවන් ඉගෙන ගැනීමේ නිවැරදි අක්ෂර වින්‍යාසය සහ අකුරු ලස්සනට ලිවීමේ  හැකියාව (ප්‍රජානන හැකියාව) නිහඩ පරිසරයක වැඩෙන දරුවන්ට සාපේක්ෂව බරපතල ලෙස බිද වැටෙන බව හෙළි වී තිබේ. මාර්ග තදබදය වැඩි ස්ථාන, ගුවන් තොටුපොළවල්, නාගරික ඝෝෂාකාරී ස්ථාන ආසන්නයේ සහ උස් හඩින් සංගීතය නාද කෙරෙන නිවෙස් තුළ පදිංචි දරුවන් සහ ඝෝෂාකාරීත්වය වැඩි පංති කාමර තුළ ඉගෙනුම ලබන දරුවන් සුළභව මෙම ආබාධ වලට ගෙදුරු වන බවත්, මෙවැනි ළමුන් හිසරදය, අධික රුධිර පීඩනය සහ මානසික ආතතියට ද ගොදුරු වෙන බවත් හෙළි වී ඇත.
  •       හදවත් ආබාධ අවදානම ඉහළ දැමීම.

අධික ශබ්ද සහිත පරිසරයක ජීවත් වන්නන් අධික රුධිර පීඩනයට සහ හදවත් රෝග වලට ගොදුරු වීමේ ඉහළ අවදානමක් සහිත බව හෙළි වී ඇත.විශේෂයෙන් රාත්‍රී කාලයේ ඩෙසිබල් 50 ක ශබ්දයකට කලක් තිස්සේ නිරාවරණය වීම රුධිර ගත කෝර්ටිසෝල් (Cortisol) ප්‍රමාණය ඉහළ යාමට හේතු වන බවත් මෙය දරුණු හදවත් රෝගයක් වන එම්.අයි. (Myocardiumintaraction ) තත්ත්වය ඇති වීම කෙරෙහි බලපාන බවත් හෙළි වී ඇත.



  •                     මානසික ආතතිය හා සුව නින්දක් නොලැබීම.
ඝෝෂාකාරිත්වය මානසික අතතියට හේතු වන බව අමුතුවෙන් කිව යුතු නැත. නිතර ආතතියෙන් පෙළීම හදවත් රෝග, දියවැඩියාව, මානසික ආබාධ, ඇදුම, හිසරදය සහ ඇතැම් පිළිකා වලටද හේතු වෙයි. ශබ්දය නිසාවෙන් සිදුවන බාධාකාරිත්වය සුවදායක නින්දක් නොලැබීම ද තවත් ගැටලුවකි. (Sleep disturbance) සුව නින්දක් නොලැබීම හෘදයාබාධ, අධික රුධිර පීඩනය, දියවැඩියාව, හෝර්මෝන අසමතුලිතතාවය, තරබාරුව, ප්‍රතිශක්තිය හීන වීම, ආයුෂ හීන වීම වැනි බරපතල සංකූලතා වලට හේතු වන කාරණාවක් වෙයි.

පීඩාකාරී ශබ්දය පාලනය කිරීම සදහා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන නීති රීති ලොව බොහෝ රටවල ක්‍රියාත්මක වේ. තවත් කෙනෙකුට පීඩාවක් වන අයුරින් ශබ්ද නැගීම අපේ රටේ ජාතික පාරිසරික ශබ්ද පාලන රෙගුලාසි - 1996 ප්‍රකාරව නීතිමය වරදක් වුවද මෙම නීතිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොකෙරෙන නීතියක් බවට පත්ව ඇති බව කණගාටුවෙන් වුවද කිව යුතුය. අධික ශබ්ද පවත්වන බොහෝ දෙනෙක් නීතිමය වශයෙන් වරදක් බව දැන දැනම එය සිදු කරති. සාමාන්‍ය නීති ගරුක පුරවැසියෙකුට මෙම කටයුතු වලට විරුද්ධ වීමට හැකියාවක් නැත. එවැනි පුද්ගලයන්ට ලැබෙන්නේ හිංසා පීඩා නින්දා අපහාසයන්ය.

ශිෂ්ඨ සම්පන්න සාමාජයක පැවැත්මට ඉදුරාම පටහැනි මෙවන් ග්‍රෝතික ගති ලක්ෂණ මැඩ පැවැත්වීම සදහා රටකට යහපත් නීති පද්දතියක්, ආචාරශීලිත්වය ප්‍රමුඛ කර ගත්, ආත්මාර්ථය ඉස්මතු නොකෙරෙන අධ්‍යාපන ක්‍රමයක් සහ යහපත් ශීලාචාර සමාජ සංස්කෘතික සම්බන්ධතාද අවැසිය. මානව හිමිකම් වලට ගරු කරන මිනිසුන් සිටින ශිෂ්ථ සම්පන්න ජාතීන් හොම හ නිහ බව දනිති.

අනුෂා එන්.ගමගේ
විද්‍යා හා තාක්ෂණ නිලධාරී,
බදුල්ල.
මූලාශ්‍ර - 2015.10.11 දිවයින නිම්නය අතිරේකය


0 comments:

Post a Comment