December 23, 2015

රස ගුණ සපිරි ලාවුළු

අතීතයේ ශ්‍රි ලාංකික අප රස විදි දැක ඇති සැම නිවසකම පාහේ පළතුරක් ලෙස වගා කර තිබු මෙම පළතුර වර්තමාන පරපුර කිසිදාක රස විද හෝ දැක නොමැති පළතුරක් බවට පත් වි ඇති යුගයක එහි පෝෂණ ගුණය ගැන අප මදක් විමසා බලමු.
            ඉදුණු විට දැකුම් කළු කහ පැහැයකින් යුතු මෙම පළතුර ඉතාමත් ඉහළ පෝෂණ ගුණයකින් සමන්විතය.විවිධ පෝෂණ පදාර්ථ අන්තර්ගත ලාවුළු කෙසෙල් වලට වඩා 50% ක ශක්තිය අඩංගු අතර අලිගැට පේර වල අඩංගු ප්‍රමාණයට සමාන ප්‍රෝටීන ප්‍රමාණයක් අන්තර්ගත වේ.කැරොටින් බී කාණ්ඩයට අයත් විටමින් සහ අත්‍යාවශ්‍ය ඛනිජ වලින් ද සමන්විත වේ.අඩු මේද ප්‍රමාණයක් ඇති මෙහි පළතුරු ප්‍රෝටින් හා තන්තු අධික ප්‍රමාණයක් හා ඇස්කෝබික් අම්ලය සාමාන්‍ය ප්‍රමාණයකින් අඩංගු වේ.එසේම ප්‍රෝ විටමින් '' කැරෝටෙනොයිඩිස් වලින් සමන්විතය.මෙම පළතුරු ග්‍රෑම් 100ක කැරෝටින් මිලි ග්‍රෑම් 30ක් පමණ අඩංගු වේ.පෙනිම වැඩි දියුණු කිරිම සඳහාත් වියළි ඇස් වලට ප්‍රතිකාරයක් ලෙසත් මේවා උපකාරි වන අතර ඇසේ සුද ඇති වීමේ අවදානම මෙමගින් අඩු කරයි.එසේම හිසකේ හා සමට ද මෙම කැරොටිනොයිඩි හිතකරය.
            මීට අමතරව පිළිකා වලට එරෙහිව සටන් කිරීමේ ශක්තියකින් ද හෙබි මෙම පළතුර විශාදය, හිසරදය, ආමාශදාහය සහ අධි රුධිර පීඩනය ආදියටද මෙම කැරෝටිනොයිඩ්ස් හිතකරය.
            ලාවුළු වල අඩංගු නිකොටික් අම්ලය (විටමින් බි 3) නමින් හැඳින්වෙන නියැසීන් අධික මට්ටමට ඇති නිසා ප්‍රතිලාබ රැසක් අත්කර දෙයි.එසේම රුධිර සිනී මට්ටම පාලනය කිරීමටත් කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමටත්, සිරුරේ විෂ නැසිමටත් ලිංගික හෝමෝන මෙන්ම ආමාශයේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය නිපදවීමටත් නියැසීන් උපකාරී වේ.එසේම මෙම නියැසින් රුධිර වාහිනි විස්තාරනව කිරීමේ ශක්තියකින් යුතු හිස්ටැමීන් නිපදවිමටත් ආධාර කරයි.එමගින් රුධිර සංසරණය වර්ධනය වී අධි රුධිර පීඩනය හට ගැනීම වළක්වා එහි ප්‍රතිඵලයක් ලෙස හදවත් රෝග හට ගැනීමේ අවධානම අඩු කරයි.ඉහත සඳහන් ප්‍රතිලාභ වලට අමතරව ලාවුළු වල පහත සඳහන් පෝෂණ ගුණයන් අන්තර්ගත වේ.

·        යකඩ අධික ප්‍රමාණයක් ඇති නිසා හිමෝග්ලොබින් නිපදවීමට ආධාර කරයි.එමගින් ශරිරයට ඔක්සිජන් ප්‍රවාහනය වැඩි කරයි.එසේම මතක ශක්තිය වැඩි කරන අතර ශරීර ශක්තිය වැඩි කිරීමට ද මෙම යකඩ උපකාරී වේ.

·        ලාවුළු ග්‍රෑම් 100 ක කැල්සියම් මි. ග්‍රෑම් 25ක් පමණ අඩංගු අතර පොස්පරස් මි. ග්‍රෑම් 40 පමණ ද අඩංගු අතර එමඟින් ආතරයිටිස් රෝගය පාලනයට උපකාරී වේ.එසේම අස්ථි හා සන්ධි ආබාධ වලින් පෙළෙන්නන්ගේ අස්ථි ශක්තිමත් කිරීමට ද මෙය උපකාරී වේ.

·        ලාවුළු ඇති ආහාරමය තන්තු මගින් ජීර්ණ පද්ධතියේ සෞඛ්‍ය වර්ධනයට උදව් වේ.එමගින් රුධිර ග්ලුකෝස් මට්ටම් විධිමත් කර අහිතකර කොලෙස්ටරෝල් බැහැර කරලීමටද තන්තු උපකාරි වේ.

·        මෙම ලාවුළු වල මි. ග්‍රෑම් 100ක මි. ග්‍රෑම් 60 ක් පමණ විටමින් සී අඩංගු බැවින් සෙම්ප්‍රතිශ්‍යාවට හා කැස්සට ස්භාවික ප්‍රතිකාරයක් ද වේ.

·        එසේම ක්ෂුද්‍ර ජීවින්ට එරෙහිව ක්‍රියා කිරිමේ ශක්තියෙන් යුත් ඇමයිනෝ අම්ල, ලයිසන්, වැනි සංඝටක නිසා බැක්ටිරියානු හා දිලිර ආසාදන සඳහා ස්භාවික ප්‍රතිකාරයක් ලෙස ද සැලකේ.

මෙලෙස ඉහළ පෝෂණ ගුණාංගයෙන් යුත් ලාවුළු තවදුරටත් ආහාරයට නොගන්නා අයෙක් නම් මේ පිළිබඳව සිතිය යුතු බව මෙම ලිපියෙන් දැනුවත් කරමු.


සැකැස්ම :-  බි.ආර්.ටි.එම්.බස්නායක.
                    විද්‍යා‍ හා තාක්ෂණ නිලධාරී,
                   රඹුක්කන.

                  (පොත පත ඇසුරිනි)

0 comments:

Post a Comment