December 28, 2015

සිරුරට අත්‍යවශ්‍ය වැදගත් ඛනිජ මූලද්‍රව්‍යක් වන පොටෑසියම්

ඛනිජපෝෂක  අතර ඉතා වැදගත් ඛනිජ මූලද්‍රව්‍යක් ලෙස පොටෑසියම්  හැදින්විය හැකිය. ලතින් භාෂාවෙන්  “කෑල්ලුම්“ යන වචනයෙන් පොටෑසියම් හැදින්වේ. රසායන විද්‍යාවට අනුව ඉංග්‍රීසි K  අක්ෂරයෙන්  සංකේතවත් වේ.

පොටෑසියම්  ශරීර සංයුතිය තුල ඉතා වැදගත් මූල ද්‍රව්‍යයකි. අන්තර් සෛලීය තරලය තුල පවතින ප්‍රධාන  භාෂ්වික අයනය පොටෑසියම්ය.  සෝඩියම් මූලද්‍රව්‍ය සමග එක්වී ස්නායු පද්ධතියේ විද්්‍යුත් විභවය සුරකීමට එය උදව්වේ. එම කාර්යය ශරීරයේ ස්නායු හා පේශි වල කාර්යක්ෂමතාවය නිසිපරිදි සිදුවීම සදහා අත්‍යාවශ්‍යය. ශරීරය තුල රුධිරයෙහි පොටෑසියම් පැවතිය යුතු මට්ටම ලීටරයට මිලිබෝල් 3.5ක් 5ත් අතරය. වකුගඩු අකරන තත්වයේදී රුධිරය තුල පොටෑසියම් සාන්ද්‍රණය ලීටරයට මිලිබෝල් 7ක් දක්වා ඉහල ගියහොත් හෘදයේ ඇරිත්මියා තත්වය ඇතිවීම සහ හෘදය ප්‍රකරණය වී මරණය පවා සිදුවිය හැක. වමනය සහ පාචනය වැනි රෝග ඇතිවීම සිදුවන විට තරල අහිමි වීම හේතුකොට රුධිරයේ පොටෑසියම් ප්‍රමාණය අඩුවේ.  දිනපතා ආහාරයෙන් වැඩිහිටි අයෙකුට දිනකට මිලිබෝල් 4.4ක පොටෑසියම් ප්‍රමාණයක් අවශ්‍යය. 

පොටෑසියම් විශාල ප්‍රමාණයක් අඩංගු ස්වාභාවික ආහාරය වන්නේ කෙසෙල් ගෙඩිය. කෙසෙල් ගෙඩි 10-12 තුල මෙම මුළු ප්‍රමාණයම අඩංගුය. එසේම බතල, දොඩම්, කජු, රටකජු, මාළු, තක්කාලි, බොංචි, අර්තාපල්, යෝගට්, මිදි, පලා, එළවළු, මස්වර්ග වල පොටෑසියම් බහුලය.  

ශරීරයේ පොටෑසියම් ඌනවන්නේ ශරීරය විජලන තත්වයට පත්වූ විටය. එසේම විරල වකුගඩු රෝග, අධිවෘක ග්‍රන්ති රෝග, අධික රුධිර පීඩනය, හෘද රෝග සදහා ලබා දෙන මූත්‍රකාරක ඖෂධ මෙන්ම විරේක ගුණති ඖෂධ  හා ස්ටෙරොයිඩ ගණයේ ඖෂධ හේතුවෙන්ද සිරුරේ පොටෑසියම් අහිමි වේ. 
එසේම පොටෑසියම් හෘදය සහ ස්නායු වල සාමාන්‍ය විද්්‍යුත් ක්‍රියාකාරිත්වයට අත්‍යාවශ්‍යය. එමෙන්ම සිරුර තුල ප්‍රෝටීන් සංශ්ලේෂණයට, පේෂි නිර්මාණයේදීත්  ශරීරය තුල අම්ල ශාර තුල්‍යතාවය නියාමනයටත්, වැඩිවූ රුධිර පීඩනය පහල දැමීමටත් උදවු වේ.

මෑතකදී ස්වීඩන් වෛද්‍ය පරීක්ෂකයන් පිරිසක් සිදුකල පරීක්ෂණයකදී හෙලිවී ඇත්තේ ආහාරයෙන් ලැබෙන පොටෑසියම් ප්‍රමාණය ඉහල නම් “ආඝාතය“ පිළිබද අවධානමද සැළකිය යුතු තරමින් පහළ බසින බවය.
 




සැකසුම - ඒ.ඒ.සී.වී.අතාවුද
විද්‍යා හා තාක්ෂණ නිලධාරි - අරණායක

0 comments:

Post a Comment