May 16, 2016

ශුක්‍ර දෝෂ මැඩීමට, මුඛයේ කුවාලවලට අත් දුටු බෙහෙතකි සියඹලා

අප කුඩා කල සියඹලා ගස් යට වැටුණ භාගයට ඉදුනු සියඹලා කරල්වල මුදුන කඩා එය තුලට ලුණු දියර හා සීනි දමා අමු ඉරටුවක් එය තුලට දමා‍ කලතමින් ඉතා රසවත් දියරයක් දිව ගෑ බව මතකයේ ඇත. ඒවාට අපි සීනි සියඹලා  කිවූ බවත් මතකය. මෙවන් රසවත් වූ ආහාර රසකාරකයක් මෙන්ම ඖෂධීය ගුණ සපිරි ශාකයක ගුණ වරුණින් ඔබගේ මතකය මම අද අවදි කරමි.
Tamarind tree නමින් ඉංග්‍රීසි බසින් හදුන්වන සියඹලා‍ ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය Tamarindus Indica Linn නම්. ශිම්බි කුලය නමින් හදුන්වන Leguminosae යන කුලයට අයත් සියඹලා ගස දකුණු ඉන්දියාව, බෙංගාලය හා බුරුමයේද, ලංකාවේද වැවේ. මෙම ගසේ කොල පොතු, මල්, කරල් , සියඹලා බොර සදහා ද, කරල්, පොත්ත හා ඇටය ඔසු පිනිස ගනී. පැසුනු කරල් කුඩා පොතු හැර හොදින් වියලා ලුණු කැට මිශ්‍ර කර වියලි බදුනක අසුරා තබා ගෙන කලක් ප්‍රයෝජනයට ගනී. වසරක් දෙකක් පරණ සියඹලා නටන වතුර සමග මිශ්‍ර කර පොඩිකර දැල් රෙද්දකින් පෙරා සියඹලා බොර සකසා ගනී. ගුලි කල්ක ඇඹරීමේදී මාත්තුවක් ලෙස දේශි‍ය වෙදකමේ බාවිතා කරයි. වාත රෝග ඇතිවිට ඉදුණු සියඹලාද වෙදකමේදී නිර්දේශ කර ඇත.
සියඹලා බොර ඇඹුල් දොඩම් මුද්දරස්පලම් අමුඉගුරු වැල්මි කෂාය කැස්ස සහිත ඇදුම රෝගීන්ට ප්‍රත්‍යක්ෂ කෂායකි.
පරණ සියඹලා බොර සීනි ගම්මිරිස් කුඩු කරාබු නැටි කුරුදුපොතු සංයෝගය ගැනීමෙන් ආහාරය අරුචිය නැති කර රුචිය වඩාලයි.
අමු සියඹලා මද සියඹලා කොල සිහින්ව අඹරා ආලේප කිරීමෙන් තැල්ම සහිත ඉදිමුම් අවස්ථා වලදී සුදුසුය. සියඹලාකොල ඉස්ම ආමවාත සන්ධි ඉදිමුම් ඇති විට යොදන පත්තුවල විශේෂ බෙහෙතකි.
සියඹලා ඇට මද චූර්ණක ශුක්‍ර දෝෂ ඇතිවිට භාවිතා කිරීමෙන් සුවය ලබා ගත හැකිය. යෝනි මාර්ගය ලිහිල්වූ විට ඇට චූර්ණ කොට යෝනි මාර්ගයට පලවර්ති යෙදීමෙන් යෝනි මාර්ගය සංකෝචනය වෙයි.
මුඛයේ තුවාල ඇති විට සියඹලා කොල තම්බා ගත් ජලයෙන් කට සේදීමෙන් ගුණ ලැබේ.
ගුද මාර්ගය ‍පිටතට එන ගුද භ්‍රංශ රෝගයේදී සියඹලා ඇට කබලේ බැද ඇල්දියෙන් අඹරා ආලේප කිරීම සුදුසුය. අණ්ඩ කොෂ ඉදිමුම් වේදනාව ඇති වූ විට සියුම්ලෙස සියඹලා කොළ අඹරා ආලේප කිරීමෙන් ඉදිමුම් බැස වේදනාවද අඩුවේ.
අර්ශස් හා අතිසාර රෝග ඇති විට සියඹලා මල් හා දලු ව්‍යංජන ලෙස සකසා ගැනීමෙන් සුවය ලැබේ.
ඇස් රතු වී කබ කදුළු ගලන විට කොළ තම්බා තැවීමෙන් වහා සහනය ලැබේ. දේශිය ඇස් වෙදකමේ සියඹලා එන ඖෂධ රාශියක් ඇති නිසා ඇසට හිතකර බව පෙනේ. කැසීම් සහිත දද කුෂ්ට ඇතිවිටද සියඹලා කොල යුෂ ආලේප කිරීමෙන් සුවය ලැබේ.
අධිකව දහදිය දමන අයටද සියඹලා කොළ තම්බා සිරුර තැවීමෙන් ගුණ ලැබේ. ඖෂධීය ගුණ වලට අමතරව සියඹලා ඉතා හොද රසකාරකයකි. ගෘහණියන් ආහාර රසවත් කිරීමේදී සියඹලා යොදන විශේෂ අවස්ථා ඇත. කොහිල මාලුවට ඇඹුල් ලෙසට සියඹලා යොදන අතර ලූණු වලින් සකසන සීනි සම්බෝලයට ද සියඹලාබොර නැතුවම බැරිය. සීනි සම්බෝලයට ඇවැසි ඇඹුල් රසය ගොරක හෝ දෙහි දමා ලබාගත නොහැක. එසේම තැම්බුම් හොද්දක් සාදන විටද මලබද්ධය සහිත නම් සියඹලා යොදා සකසා දීමෙන් හොදින් මළපිටවෙයි. කුඩා ලමයින් සඳහා විරේක බෙහෙත් යොදන විටද සියඹලා යුෂ දීමෙන් වමනය ඇති නොවෙයි. මෙවැනි ආහාර රසවත් කිරීමට යොදන දේ ගෘහණියන් අත්දැකීමෙන් හා පාරම්පරික දැනුමින් ලබාගන්නා නිසා අලුත්පරපුර මෙසේ දැනුවත් කර තැබීමෙන් අපිට ආවේණික වූ අපේ රටට ආවේණික රස ලබාගැනීම අපහසු නොවේ.

ලංකාදීප පුවත්පත ඇසුරින්
සකස් කළේ 
විද්‍යා හා තාක්ෂණ නිලධාරි 
අගුනකොලපලැස්ස

0 comments:

Post a Comment