May 17, 2016

ආයු වැඩි කරන ආහාර රටාවකට හුරුවෙමු.


ආහාර ගැනීම අප බොහෝ දෙනෙකු සිදුකරන්නේ එය පුරුද්දට යාම නිසා බව පෙනේ. ඒනිසාම කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව තම තමන්ට සිතෙන විදියට හෝ ලැබෙන විදියට හෝ ආහාර ගැනීම දැකිය හැකිය. මට බඩගිනියි මොනව හරි බඩට දාගන්න ඕන, සමහරු පවසන්නේ ඒ නිසාය.
අප ආහාර ගන්නේ කුසගිනි නිවන්නට බව සබෑය. කුසගින්න යනු සංඥාවකි. ශරීර ක්‍රියාකාරිත්වයට අවශ්‍ය ඉන්ධන හිගවෙමින් පවතින බව මොළය මගින් අපට දන්වාලීම අප හදුන්වන්නේ කුසගින්න ලෙසය. ශරීරයේ සියලු මානසික හා කායික ක්‍රියාකරකම් සඳහා ආහාර අවශ්‍යය. එසේම ශරීරයේ වැඩීම හා සංවර්ධනය සඳහා ආහාරයෙන් ලැබෙන පෝෂක අවශ්‍යය. එපමණක්ද නොවේ අපට වැලදෙන සමහර ලෙඩරෝග වැලැක්වීම හා හටගත් රෝග සුවපත් කිරීමට අවශ්‍ය  පෝෂක සංඝටකද ආහාරයේ අඩංගුය.
ආහාර ගැනීමේදී ගැටලු ඇතිවීම වැලැක්වීමට අප ක්‍රියාකල යුතුය. අප ගන්නා ආහාර වේල තුල අවශ්‍ය සියලු පෝෂක කොටස් නිසි ප්‍රමා‍නවලින් අඩංගු වන මිශ්‍ර ආහාර වේලක් වන්නේ නම් එවැනි ගැටලු ඇතිවීම දුරලිය හැක. මිශ්‍ර ආහාර වේලක් තුල කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, මේද, ඛණිජ පෝෂක සහ විටමින් සමූහය ඇතුලත් වන්නේ නම් යහපති. එහෙත් අවාසනාවකට මෙන් මෙම සියලු පෝෂක අඩංගු මිශ්‍ර ආහාර වේලක් ගැනීමට අප අසමත්වන්නේ නැතිකම හෝ බැරිකම හෝ නිසා නොව නොසැලකිල්ල නිසා යයි බොහෝ විට සිතිය හැක.
ආහාර ගැනීමේදී ඇතිවන ගැටලු කවරේදයි විමසා බැලුවහොත් එම තත්වය වැලැක්වීමට යම් පියවරක් ගැනීමට අපට හැකිවෙයි.
01. සියලු පෝෂක අඩංගු මිශ්‍ර ආහාරයක් ප්‍රමාණවත් තරමින් නොගැනීම.
 ආහාර වේලේ අඩංගු වියයුතු  විවිධ පෝෂක ඌණ වීම නිසා වර්ධනය බාලවීමට මෙන්ම බුද්ධිය හීනවීමටද පුළුවන. එසේම ශරීරය ආරක්ෂා කරන විටමින් සහ ඛණිජ පෝෂක හිගවීම නිසා ප්‍රතිශක්ති දුර්වලතා ඇතිවී විවිධ ආසාදන වලට පහසුවෙන් ගොදුරු වීම හා ඌණතා රෝග (ඇස් පෙනීම දුර්වලවීම, කටකොන් පැලීම, ආදියේ සිට දියවැඩියාව නීරක්තිය ආදී රෝග තත්වයන් දක්වා ) වලට ගොදුරු වීමේ හැකියාව නංවාලයි. විශේෂයෙන් වර්තමාන සමාජයේ එළවළු හා පලතුරු ආහාරයට ගැනීමට පවත්නා උනන්දුව හීන වීම මෙයට හේතුවක් ලෙස දැක්විය හැකිය.
කාර්යබහුල වර්ථමාන සමාජයේ බොහො දෙනෙකු නිසි වෙලා‍වට ආහාර ගැනීමක් සිදුනොවීම බරපතල ගැටලුවකි. ඇගවෙහෙසා වැඩකරන අය පමණක් නොව ගෘහණියන් පවා බොහෝ විට නිසි වේලාවට ආහාර ගැනීමට පුරුදුව නැත. මේ හේතුවෙන් දියාවැඩියා, ග්‍රස්ට්‍රයිටීස් වැනි ‍රෝගයන්ට පහසුනේ ගොදුරු වීමේ අවධානමක් ඇත. ආහාර ගන්නා වේළාව නිසිපරිදි නොපිලිගන්නා අය පමණක් නොව ප්‍රධාන ආහාර වේල් මග හරින  අයද අප අතර වෙති. මේ සිරිත් නිසා විවිද ගැටලු ඇතිකරනවා පමණක් නොව ක්‍රම ක්‍රමයෙන්  ක්‍රියාශීලී බවට හරස්වීමට ඉඩතිබේ.
මෑතක සිට ඉසුරුමත් ජීවිත ගතකරන අය පමණ ඉක්මවා එනම් අධික ලෙස ආහාර ගන්නා බවද දැකිය හැකිය.
ආහාර අධික ප්‍රමාණයක් ගන්නාවා පමණක් නොව මොවුහු එම ආ‍හාර තුල තෙල් මේදය හා ලුණු සහ සීනි ප්‍රමාණයද වැඩියෙන් අඩංගු කරගනියි. ගුණයට නොව රසයට පෙම්බදින මේ කෑදරයින්ගේ ලේ නාල තුල මේද තැන්පත්වී හෘදයාබාධ ඇතුළු හෘද රෝග, අංශභාගය, රෝග ලක්ෂණ කරගත් ආඝාතය, ගැස්ට්‍රයිටීස්, දියවැඩියාව , ආහාර මාර්ගයේ පිළිකා, වකුගඩු අක්‍රිය වීම , අධික රුධිර පීඩනය, ආතරයිටීස්, ආදී රෝග ගෙන එන තරබාරුවට බිලිවෙති.
ලෙඩ රෝග නොවැලදී සුවපත් ජීවිතයක් ගතකිරීමට නම් අප යොමුවිය යුත්තේ අපගේ කෑම පිගානට සුවමිතුරු බවක් එක්කර ගැනීමට සැලසුම් කිරීමය.
සුවමිතුරු කෑම පිගානක අඩක් පමණ නියේජනය විය යුත්තේ කාබෝහයිඩ්‍රේට් වලිනි. එනම් බත්, කොස්, දෙල්, අලවර්ග හෝ වෙනත් ධාන්‍ය ඉරිගු, පාන් ආදියෙනි. තවත් කාලක් පමණ පරිප්පු, මුංඇට, මාළු මස් කරවල බිත්තර හිමිකර ගත යුතුය. ඉතිරි කාලට අප එක්කර ගතයුත්තේ එළවළු, පළා හා පලතුරුය. සුළු තෙල් හා මේද ප්‍රමාණයක් මේ ඉහත සඳහන්  ආහාර සමගම මිශ්‍රව ලැබීම සිදුවිය යුතුය. ඒ බැදුම්, තෙම්පරාදු කල ආහාර ආදී වශයෙනි. ව්‍යංජන හා හොදි වර්ගවලට එක්කරන පොල්කිරි, මැල්ලුමේ හා සම්බෝලයේ පොල් ආදී වශයෙන්ද අපට මේදය සැපයේ.
ආහාරයෙන් පසු යෝගට් එකක් හෝ මී කිරි කොප්පයක් හෝ ආහාර වේලේ ජීර්ණය පහසු කරනු සඳහා ආහාර ගැනීමේන පසු වතුර වීදුරුවක් දෙකක් පානය කිරීම වැදගත්වේ. ඒ මිස ආහාර දිරවීමට යයි පවසමින් ආහාර ගැනීමට පෙර ආහාර ගන්නා අතරතුර ආහාර ගැනීමෙන් පසුව ආදී වශයෙන් මත්පැන් පානය කිරීමේ නම් කිසිදු අවශ්‍යතාවයක් නැත.
අපගේ දිව හා මනස  කෙසේ ප්‍රතිචාර දැක්වුවත් තෙල්, මේදය, ලුණු හා සීනි වැටෙනුයේ අහිතකර ආහාර ගනයටය. බොහෝ ප්‍රදාන ආහාර වේල්වලට ඇතුළු වන තෙල් හා මේද ප්‍රමාණය අවම කිරීමට ප්‍රයත්න දැරිය යුතුය. දෛනික ශක්තිය නිපදවීම‍ට යම් මේද ප්‍රමාණයක් අවශ්‍ය වුවද ඒ සඳහා පලමු ආහාර වේළම තෙලින පෙගවූ ආහාර වේලක් කර ගැනීම සුදුසු නොවේ.
දිනකට එක් අයකුට අවශ්‍ය ලුණු ප්‍රමාණය තේ හැන්දකට සීමා කල හැකිය. එහෙයින් ලුණු එක්කල අල පෙති, රටකජු, මෙන්ම සොසේජස් ආදී පෙර සකස් කල ආහාර ගැනීමට පෙර මදක් සීතීම අවශ්‍යය.
තේ හැදි 06 ක සීනි ප්‍රමාණයක් එක් දිනකට එක් අයකුට අවශ්‍යතාවය පිරිමසාලයි. මෙහිදී ඉදුණු පලතුරු , කෙසෙල්, බීට් වැනි ආහාර වල ස්වභාවිකව යම් සීනී ප්‍රමානයක් අඩංගුව ඇත. ඒනිසා ඒ නිසා කෘතීමව අප ලබන සීනි ප්‍රමානය දිනකට තේ හැදි 03 කට සීමා කිරීම සෞඛ්‍ය සඳහා ගනු ලබන උසස් පියවරකි.
ප්‍රදාන ආහාර වේල් තුනට අමතරව අතිරේක ආහාර ගැනීමේදී කෙටි ආහාර ගැනීමේදී බිස්කට් කේක් වැනි සීනි බහුල ආහාර වෙනුවට පලතුරක් ගත හැකිනම් එය ඉතා ගුණවත්ය. පැණි බීම වෙනුවට සීනි නොදැමූ තේ කෝප්පයක්, කිරි වීදුරුවක්, හො තැඹිලි ගෙඩියක් පානය කිරීම සුවමිතුරු ආහාර රටාවකට යොමු වීමේදී ගතහැකි වැදගත් පියවරකි.

වර්තමානයේ බොහෝ සෙයින් ජනප්‍රිය පෙර සැකසූ ආහාර, ටින්, සහ පැකට් කල ආහාර, පැණි රස ආහාර යනාදිය සෞඛයමත් ජීවිතයකට මිතුරු ආහාර පවත්නා අවස්ථා අඩු බව අවබෝධ කරගන්න. 
පුවත්පතක් ඇසුරෙන්

0 comments:

Post a Comment