November 27, 2015

කපුටු ඇස මෙන් පැහැදිලි වූ පමණින්ම පානීය ජලය පිරිසිදු යැයි කිව හැකිද?


ජලය යනු ජීවයේ පදනම වන අතර ජලය නොමැතිව කිසිම සත්වයෙකුට ජීවත් විය නොහැක. දේහයට අවශ්‍ය  නිසි ජල ප්‍රමාණය නොලද විට මිනිසා ඇතුළු සියළුම ජීවීන් විජලනයට පත් වී ජීවිතක්ෂයට පවා පත් වේ. විශේෂයෙන් මිනිසා ගත්විට පානීය ජලය ලෙසට අමතරව ස්නානයට, ආහාර පිසීමට, වගා කටයුතු වලට සහ දෛනික විවිධ කාර්යයන් සඳහා මෙන්ම බලශක්ති උත්පාදනය ආදී විවිධ වූ වාණීජ ක්ෂේත්‍ර සඳහාද ජලය යොදා ගනියි. මිහිතලයෙන් 71% කට වැඩි ප්‍රතිශතයක් වැසී අත්තේ ජලයෙන් උවත් බීමට ගත හැක්කේ ඉන් 1% ක් පමණි. එම පිරිසිදු බීමට ගත හැකි ජලයෙන් 90% ක්ම ඇත්තේද ඇන්ටාක්ටිකාවේය. මේ අනුව අප අවට පානය කිරීමට සුදුසු යැයි සිතිය හැකි ජලය ඇත්තේ සමස්ථ ජල ප්‍රභවයට සාපේක්ෂව ඉතා අල්ප ප්‍රමාණයක් බව පැහැදිලි වන කරුණකි. අප පානය කරන ජලය උපරිම පිරිසිදු බවින් යුක්ත විය යුතුය. මන්ද, පානය කළ සැනින් සෘජුවම සිරුරට උරා ගන්නා හෙයින් එම ජලය අපිරිසිදු නම් අපට සෞඛ්‍ය  ගැටලු සම්භාරයකට මුහුණ දීමට සිදුවන බැවිණී.


 ජලයේ පිරිසිදු බව තහවුරු කිරීමට යොදා ගන්නා පරාමිථීන් කීපයකි. ඒවා අතර ජලයේ ආම්ලික භාෂ්මික බව (PH), සමස්ථ ද්‍රවයේ ඝණ ද්‍රව්‍ය ප්‍රමාණය/Total dissolved solids(TDS), සහ විද්යුත් සන්නායකතාව/ Electrical conductivity(EC), ද්‍රවයේ හි ඔක්සිජන් ප්‍රතිශතය(Presence of dissolved oxygen), වර්ණය (Color), කඨිනත්වය (Hardness), අඩංගු බැක්ටීරියා ගහනය (Presence of bacterial growth), අඩංගු ඇල්ගී සහ ඇල්ගීමය විසද්‍රව්‍ය (Algae, algal toxins and metabolites) ආදිය වෙයි. ලෝක සෞඛය සංවිධානයට අනුව බීමට සුදුසු ජලයේ PH අගය 6.5 – 8.5 අතර පැවතීමත්, TDS අගය 50 – 300 අතර පැවතීමත්(මෙම අගය 50 ට ආසන්න වීම වඩාත් සුදුසුය), අවර්ණ වීමත්, නිර්ගන්ධයෙන් යුතු වීමත්, කිසිදු රසයකින් යුතු නොවීමත් මූලික තත්වයන් වෙයි. නමුත් සත්‍ය ලෙසම අපි පානය කරන්නේ පිරිසිදු ජලයද යන්න පිළිබඳව අපට ඇත්තේ අවිශ්වාසයකි. මන්ද, ඔබ නොදන්නවාට අප පානය කරන ජලය දූෂිත තත්වයේ ඒවා විය හැකියි. එහෙත් ඔබ වෙහෙසට පතවූ විටෙක හෝ වෙනත් අවස්ථාවක උගුරට දෙකට බීගෙන යන වතුර වීදුරුවෙහි කිසියම් රසයක් දුඟදක් වෙතොත් එය සැලකිල්ලට ගන්නට එතරම් උනන්දුවක් නොගන්නවාට කිසිදු සැකයක් නැත. නමුත් ඒ ගැන සැලකිලිමත් නොවුණොත් ඔබ රෝගී පුද්ගලයකු වන බව නම් සත්‍යයකි. 

ඔබ පරිහරණය කරන ජලය ලබා ගන්නා මුලාශ්‍රය වන ළිඳ, පීල්ල, ඇළ, දොළ, ගංඟාව, වැව, පොකුණ, වතුර කරාමය, ආදියේ ඇති ජලය පානීය මට්ටමට පිරිසිදු නොවීමට ඇති ඉඩකඩ ඉතා ඉහලය. සමහරවිට ඔබේ ළිඳේ තිබෙන ජලයට සතෙක් වැටී සත්ව කොටස් දිරා ගොස් ජලයට එකතු වී තිබෙන්නට පුළුවන. ළිං වතුරට ගස්වල කොළ වැටී දිරාපත් වී එවාද එකතු වන්නට පුළුවන. ඇතැම්විට විෂ සහිත ශාඛපත්‍ර/අතු රිකිලි ආදිය වැටී දිරා පත් වන්නට පුළුවන. ඒත් ඔබ මේ කිසිත් නොදැන මේ ජලය පානය කරනවා විය හැකියි. එවිට ඇතිවන අවසන් ප්‍රතිඵලය කුමක්ද? ඔබටත් නොදැනී ඔබ රෝගී වීමයි. වමනය, පාචනය, මෙන්ම වෙනත් රෝගාබාධ ගණනාවක් ඔබට වැළඳෙන්නට පුළුවන. අවසන් ප්‍රතිඵලය මරණය විය හැකිය. ඔබ ජලය ලබාගත් මුලාශ්‍රයට/ප්‍රභවයට ජීර්ණය වූ සත්ව කොටස් මිශ්‍ර වී තිබේනම් සහ එම සත්වයා යම්කිසි ආසාධිත රෝගයකින් පෙලී සිටියේ නම් අනිවාර්යෙන්ම ඔබේ ළිං ජලයේත් ඒ ආසාධිත විෂබීජ පැවතීමට හැකියාවක් පවතී. 

සාමාන්‍යයෙන් ජලය රසායනාගාර පරීක්ෂණ වලට ලක් කිරීමේදී පිරිසිදු ජලයේ දශලක්ෂයකට කොටස් 0.06 ක් පමණ නිදහස් ඇමෝනියා තිබිය යුතුය. නමුත් එම ප්‍රමාණය 0.06 ඉක්මවන්නේ නම් අදාළ ජල මුලාශ්‍රයට දිරාගිය සත්ව කොටස් එක්වී ඇති බවට නිගමනය කල හැකිය. එසේම අදාළ සාම්පලයේ ඇල්බියුනොයිඩ්ල් ඇමෝනියා ප්‍රමාණය ජලය දසලක්ෂයකට කොටස් 0.15 ඉක්මවන්නේනම් එම ජල මුලාශ්‍රයට ශාක කොටස් එකතු වී තිබිය යුතුය. හේතුව සාමාන්‍ය  පිරිසිදු ජලයේ තිබිය යුත්තේ ඇල්බියුනොයිඩ්ල් ඇමෝනියා කොටස් 0.15 (දසලක්ෂයකට) පමණක් වන නිසාය. 0.15 වැඩියෙන් ඇල්බියුනෙල්ලා තිබේ නම් එම ජලය පානය කිරීමට සුදුසු නැත. වැසිකිලි අපද්‍රව්‍ය /මළාපාවහන අපද්‍රව්‍ය ජල මුලාශ්‍රයකට මිශ්‍ර වූ විට එම ජලයේ නයිට්රේට් ප්‍රමාණය ඉහළයාම මෙන්ම අසූචිවල ඇති ක්ෂුද්‍ර ජීවින් (ඊකෝලායි - සැල්මොනෙල්ලා, ශිගෙල්ලා වැනි බැක්ටීරියා වර්ග) ජලයට එක්වීම සිදුවිය හැකිය. ඒ හේතුවෙන් පාචනය , වමනය ආදි උදරාබාධ වැළඳිමට ඉඩ තිබේ. එවිට එම ජලය පානයට සුදුසු නැත. අනිත් සාධකය වන්නේ කඨිනතාවයයි. ජලයේ කඨිනතාවය (කිවුල් භාවය) වැඩි නම් පානයට අපහසුය. 

 ජලයේ ඇති අනෙකුත් අහිතකර ද්‍රව්‍ය වන්නේ බැර ලෝහ අයනයි. පානීය ජලයේ බැරලෝහ අයන යම්කිසි සංයුතියක් තිබිය යුතුය. එය වැඩියෙන් තිබීම සිරුරට ඉතාමත් හානිකරයි. පරීක්ෂණ මඟින් බැර ලෝහ වැඩියෙන් අන්තර්ගත වී තිබේදැයි සොයා ගත හැකිය. විශේෂයෙන්ම අප පානය කරන ජලයේ ආසනික්, කැඩිමියම්, ලෙඩ්, මර්කරි වැනි ලෝහවල ඉතා සුළු සංයුතියක් තිබේ. නමුත් එම ප්ර්මාණය වැඩිවීම අපේ සිරුරේ සෛල වලට මෙන්ම වකුගඩුවලටද බලපෑම් ඇති කිරීමට හේතු වෙයි. විශේෂයෙන්ම පිළිකා වැළඳීමේ ප්‍රවණතාවයක් මෙන්ම ස්නායු පද්ධතියට හානි සිදුවීමට බොහෝ ඉඩකඩ ඇත. නිරෝගී දිවියකට වැදගත් පිරිසිදු පානීය ජලය ලබා ගන්නට නම් ඔබ විසින් එම ජලය ලබා ගන්නා ස්ථාන හෝ මුලාශ්‍ර  ගැන වඩාත් සැළකිලිමත්විය යුතු බව මේ අනුව පැහැදිලි වනු ඇත. එනිසා මාස කිහිපයකට වරක් හෝ අවම වශයෙන් වසරකට වරක්වත් තම සීමාවට යටත් ජල මුලාශ්‍ර  පරීක්ෂාවට ලක් කළ යුතුයි. උදාහරණ ලෙස ළිඳක ජලය පිරිසිදු වුවද පසුකාලීනව වටාපිටාවේ පරිසරය අපිරිසිදු වුවොත් එහි ජලයද අපිරිසිදු විය හැකියි. එබැවින් ජලය පිරිසිදු දැයි සොයා බැලීමට එහි වර්ණය, ගන්ධය, රසය ආදියෙන් දළ වශයෙන් උත්සාහ දැරිය යුතුය.

 තොරතුරු මූලාශ්‍රය, http://www.who.int/water_sanitation_health/dwq/gdwq3rev/en/index.html

0 comments:

Post a Comment