November 23, 2015

නිවසේ වෙද කාමරය - කුස්සිය

ස්වභාවික වෛද්‍ය ක්‍රම අතර ප්‍රමුඛ ස්ථානයේ ඇති දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙහි දැක්වෙන්නේ යමෙකුට වැළදෙන රෝග සදහා වඩාත් සුදුසු ඹෟෂධ ලබාගත හැක්කේ එම පුද්ගලයා ජීවත් වන පරිසරයෙන් බවයි. පැරැන්නන් කියන පරිදී අට අනුවක් රෝග, නව අනුවක් ව්‍යාධි, එකසිය අටක් අන්තරා හමුවේ ඒවාට මුහුණ දෙමින්, ඒවාට අභියෝග කරමින්, ඒවා සුවපත් කිරීමට සොබා දහමින් ලබා දී ඇති සොබාරසායනික සංයෝග අඩංගු ශාක විශේෂ වළින් ප්‍රතිකාර ක්‍රම සිදුකර විසදුම් සොයාගෙන ඇත.

මෙම මහා දැණුම් සම්භාරය තුල පෝෂණය වු අපගේ මුතුන් මිත්තෝ මුළුතැන්ගෙයි තිබෙන කුළුබඩු විශේෂ ආහාරයට පමණක් නොව එදිනෙදා අපට වැළදෙන ලෙඩ රෝග සුවකර ගැනීම පිණිසද උපයෝගී කොට ගෙන අත්බෙහෙත් වශයෙන් භාවිතා කර ඇත. එම කුළුබඩු අතර වැදගත් හා නිතර භාවිතා වන ද්‍රව්‍ය වල අගයන් පහත දැක්වේ.
ගම්මිරිස්
උද්භිත විද්‍යාත්මක නාමය : Piper nigrum
දෙමල නාමය : මිලාගු - මරිසම්
ඉංග්‍රීසි නාමය : Black pepper
ගම්මිරිස් වල ගුණ/ අගුණ
වාතය, සෙම, නසන ගුණය අධිකය, උෂ්ණාධික බැවින් රත්පිත් රෝගීන්ට අගුණය.  ආහාර රුචිය ඇති කරයි. උගුරේ වේදනා සහ ක්‍රිම් රෝග  නැති කරයි. ඇස් පෙනීම දුර්වලත්වයට ශ්වසන ආබාධ වලට ගුණදායකයි. තවද දත්මුල් දියවීම, මුවෙහි පවතින පණුගෙඩි ආදියටද හිතකරයි.

ගම්මිරිස් ප්‍රතිකාර වශයෙන් යෙදිය හැකි රෝගී අවස්ථා
ඇදුම රෝගීන්ට, දත්මුල් දියවීම සහ සෙම් ගෙඩි වලට, ඉන්නන්ට, සීතලයක් සෑදුන විට, වාත වේදනා වලට, ඔසප් කාලයේදී ඇති වන වේදනාවට, සමේ පැහැය අවලක්ෂණ කරන චර්ම රෝග වලට, ඇස් පෙනීම දුර්වලත්වයට, කුහුඹුවන් ව‍ද කිරීමට, මැස්සන් එලවීමට

කොත්තමල්ලි
උද්භිත විද්‍යාත්මක නාමය : Coriandrum sativum
දෙමල නාමය : කොත්තමල්ලි, මල්ලි
ඉංග්‍රීසි නාමය : Coriander
කොත්තමල්ලි වල ගුණ / අගුණ
කෝප වු ත්‍රිදෝෂයම සමනය කරයි.  ඌෂ්ණ ගුණයෙන් යුක්තය. මොළයේ ක්‍රියාකාරීත්වය යහපත් කරයි. ආහාර රුචිය වඩවයි. රුධිරය පිටවන රෝග සදහාද සෙම්රෝග සදහාද විශේෂයි. මුත්‍රාකාරකයි. ශරීරයේ සන්ධි වේදනාවන් සදහා බාහිරාලේපයක් වශයෙන් යෙදිය හැක. සෙම් රෝග සමග උණ ඇති රෝගීන්ටද ඉතා ගුණදායකය.

කොත්තමල්ලි ප්‍රතිකාර වශයෙන් යෙදිය හැකි රෝගී අවස්ථා
අම්ලපිත්ත රෝගයට, බඩගිණි අඩු අයට, සෙම්ප්‍රතිශ්‍යාවට, මුඛයේ දුර්ගන්ධයට, අධිකව දියාරුවෙන් මළ පහ වීමට, ඇස් විරේකයක් ලෙස, පැරණි තුවාල වල කොස්ස කැපීමට, ශරීරයේ පලු මතුව කසන විට දී, විෂ කටුවක් ඇනුණ විටදී, තැලිමක්, උළුක්කුවක් සිදුවීමෙන් ශරීරයේ හටගන්නා වේදනා සහිත උණට

සුදුරු
උද්භිත විද්‍යාත්මක නාමය : Cuminum cyminum
දෙමල නාමය : ගොමඩු , සොහිකිරේ, ජිරකම්
ඉංග්‍රීසි නාමය :  Cumin
සූදුරු වල ගුණ /අගුණ
රුධරය පවිත්‍ර කරයි. ගර්භාෂ රෝග සදහා ගුණ දේ. මුත්‍රා කාරකයි. මළ වියලයි. බඩේ කැක්කුම්, අජීර්ණ, වමන සහ ග්‍රහනි මාන්දම් රෝග සදහා ගුණයි. කිරි මව්වරුන්ගේ කිරි වැඩිවෙයි. හන්දිපත් රුදාව සදහා ආලේප කිරීමෙන් ගුණ ලැබේ.

සූදුරු ප්‍රතිකාර වශයෙන් යෙදිය හැකි රෝගී අවස්ථා
ගැබිණි සමයේ ඇති වන වමනයට, ශරීරයේ වේදනා සහිත ඉදිමුම් වලදී, ගොණසු දෂ්ඨයේදී, කෑම අරුචි, වමන , අජීර්ණ, ක්‍රිම් හා අර්ශස් රෝග වලට, මුහුණ ශෝභාවත් වීමට, අර්ෂස් ගෙඩි සෑදුණ විටදී, සමෙහි කැසීම් ඇති වී බිබිලි, පළු මතු වු විට, සියළු අර්ශස් වලට, ඇසේ රතට, දරු ප්‍රසුතියෙන් පසු ගර්භාෂය පිරිසිදු වීමට, දිය පට්ටා වලට, රාත්‍රී නින්ද නොයන අයට, මතක ශක්තිය අඩු වු අයට

වියලි කහ
උද්භිත විද්‍යාත්මක නාමය : Curcuma longa
මල නාමය : මංජල්
ඉංග්‍රීසි නාමය :  Turmeric / Saffron
වියලි කහ වල ගුණ / අගුණ
ආහාර රුචිය ඇති කරයි, උණ, සෙම් රෝග, ගර්භාෂගත රෝග සහ දියවැඩියා රෝග සදහාද ගුණදායකයි. ඉදිමුම් රෝග සදහා භාහිරාලේපයක් වශයෙන් අඹරා ගෑමට යෝග්‍යයයි. විෂබීජ නාශකයක් ලෙස ද පාවිච්වි කල හැක. ආහාර පිසීමේදී රසය වර්ණය හා සුවද ඇති කිරීම පිණිස යොදනු ලැබේ. 

වියලි කහ ප්‍රතිකාර වශයෙන් යෙදිය හැකි රෝගී අවස්ථා
සමෙහි ඇති වන බිබිලි වලට, ප්‍රතිශ්‍යාවෙන් හටගත් හිසරදයට, ගෝණුසු දෂ්ඨයට, පරණ තුවාල වලට, කැසිලි සහිත දද පණු කැවිලි ආදී චර්ම රෝග වලට, තුවාල කැලැල් මැකීමට, කූඩැල්ලා කෑ විෂට, බඹර, දෙබර, මී මැසි විෂට, හික්කාවට, කිවිසුම්යාමට සහ නිතර සොටු දියර ගැලීමට, සෙම් ගෙඩි වලට
කුරුදු පොතු
උද්භිත විද්‍යාත්මක නාමය : Cinnmomum zeylanicum
දෙමල නාමය : කන්න ලවංගපට්ටෙයි, ඉලයගම් කරුවා
ඉංග්‍රීසි නාමය :  Cinnamon
කුරුදු පොතු වල ගුණ / අගුණ
කෝප වු සෙම සමනය කරයි, ආහාර රුචිය වඩවයි, වකුගඩු,අක්මා, ක්‍රියාකාරීත්වයට ගුණ දායකයි, මුත්‍රා කාරකයි, ධාතු ශක්තිය වැඩි කරයි, ස්වසන පද්ධතියේ රෝග සහ උදරාබාධ සදහා යෝග්‍යයි, ශරීරයේ වේදනා ගෙනදෙන අවස්ථාවන්හිදී බාහිරාලේපයක් වශයෙන් යොදා ගත හැක. 

කුරුදු පොතු ප්‍රතිකාර වශයෙන් යෙදිය හැකි රෝගී අවස්ථා
සෙම්ප්‍රතිශ්‍යා උණට, බඩ පිපුමට සහ ඔක්කාරයට, මුඛයේ දුර්ගන්ධයට, තද හිසරදයට, කැස්ස සහ හතියට, දත් කැක්කුමට, ගෝණුසු විසට, බෝවෙන රෝග අවස්ථාවලදී, දහඩිය දුගඳ හමනවිට, කුරුලෑවටල, බඩේ අජීර්ණ වලට, ඉස්හොරි වලට
උළුහාල්
උද්භිත විද්‍යාත්මක නාමය : Trigonella graecum
දෙමල නාමය : වෙන්ඩායම්, උලාඅරිසි
ඉංග්‍රීසි නාමය :  Funugreek
උළුහාල් වල ගුණ / අගුණ
ආහාර රුචිය ඇති කරයි. සන්ධි වේදනාව උණ රෝග, ආමවාත රෝග ආදියට ගුණදායකයි. පුරුෂයන්ගේ ධාතු ශක්තිය වැඩි කරයි. කැඩුම් බිඳුම් අවස්ථාවලදී බාහිරාලේපයක් වශයෙන් උළුහාල් අඹරා සකස් කර ගත හැක. කටී වායුව සඳහාද ගුණ දායකයි.

උළුහාල් ප්‍රතිකාර වශයෙන් යෙදිය හැකි රෝගී අවස්ථා
හිසෙහි ඇති වන ඉස්හොරි වලට, දියවැඩියාවට, තැල්මට, උළුක්කුවට, ඇමැට්ටියට, වාත වේදනා වලට, නියපිරිත්තාවට, සන්ධි ඉදිමීම් අවස්ථාවලදී ඇතිවන ඉදිමුමට හා දැවිල්ලට, යටිපතුල් දැවිල්ලට හා වේදනාවට, කොළකැඳ රසවත් කර ගැනීමට, වාතවේදනා වලින් හටගත් ඉදිමුමට

ගොරකා
උද්භිත විද්‍යාත්මක නාමය :  Garcinia quaeesita
දෙමල නාමය : මුර්ගල් - කොරක්කායිපුල්ලි
ඉංග්‍රීසි නාමය :  Kokun butter oil tree, red mango
ගොරකා වල ගුණ / අගුණ
 ආහාර නරක් නොවී කල් තබා ගැනීමට යොදා ගත හැක. ශරීරගත විෂ නසයි. සැහැල්ලුයි. ඌෂ්ණයි. ආහාර රුචිය ඇති කරයි. බිඳුණු අස්ථි සවිවීමට උදව් කරයි. මල පිටවීම පහසු කරයි. හෘදයට හිතකරයි. කොලස්ටරෝ අඩු කරයි.

තුෂංග ෙහ්රත්
විද්‍යා හා තාක්ෂණ නිලධාරී
හාලිඅැල

0 comments:

Post a Comment