August 17, 2017

අවශ්‍ය විට ඉන්ධන කෝෂ ලබාදෙන නැනෝ ඇලුමේනියම්

ජලය සමග අසාමාන්‍ය ලෙස ප්‍රතික්‍රියා කරන නවතම ඇලුමේනියම් මිශ්‍ර ලෝහයක් අහඹු ලෙස සොයා ගෙන ඇති බව වාර්තා වේ. එය ජලකර වායු ආර්ථිකයේ අපහසුතා මඟහැරවීමේ පළමු පියවර ලෙස සැලකිය හැකිය. බලශක්ති වෙළඳපොල පරිවර්තනයට විභවයන් ඇති විවිධ ආදේශක සහ බැටරි මෙන්ම ඉන්ධන වලට විකල්පයක් වූ හයිඩ්‍රජන් ඉන්ධන කෝෂ සැපයීමට මෙම සොයාගැනීම ඉවහල් වනු ඇත.

සුදුසු හා පහසුවෙන් ගෙන යාහැකි හයිඩ්‍රජන් මූලාශ්‍රයක් ලැබීමේ ප්‍රධාන වැදගත්කම නම් වඩා සංක්ෂිප්ත පද්ධතියක් සැකසීමට හැකිවීම බව මෙම පරීක්ෂණවලට දායක නොවුන ද  Imperial College London හි ඉන්ධන කෝෂ පිළිබඳ අධ්‍යයනයේ නියුතු Anthony Kucernak පවසයි. හයිඩ්‍රජන් මගින් යමක් දිගුකාලයක් ක්‍රියාත්මක වීම සඳහා පද්ධතිය ඉතා සැහැල්ලු විය යුතු බවත් එනිසා සිලින්ඩර තුල හයිඩ්‍රජන් ගබඩාකරණය මිල අධික බවත් තවදුරටත් ඔහු සඳහන් කර තිබේ.

පසුගිය ජනවාරි මාසයේදී සිදු වූ මෙම සොයා ගැනීමට ඉවහල් වූයේ එක්සත් ජනපද හමුදාවේ පර්යේෂණ විද්‍යාගාරයක් වූ Maryland හි Aberdeen Proving Ground හි වැඩි ශක්තියක් ඇති ලෝහ මිශ්‍රණයක් සොයා ගැනීම මුලික කොට කරන ලද පර්යේෂණ මාලාවයි.  චර්යාගත අත්හදා බැලීමකදී නව ඇලුමේනියම් ලෝහයට ජලය වත් කළ විට එය බුබුළු දමමින් හයිඩ්‍රජන් ලබාදුන් බව භෞතික විද්‍යාඥ Anit Giri පවසයි.

මෙලෙස ඇලුමේනියම් සමග කාර්යක්ෂමව ක්‍රියාකිරීමට ජලයට හැකිවීම යනු ඕනෑම අවස්ථාවක හයිඩ්‍රජන් (ජලජ වායුව) ලබාගත හැකි බවයි. හයිඩ්‍රජන් ප්‍රවාහනය අපහසු වුවද ජලය හා නව ඇලුමේනියම් මිශ්‍ර ලෝහය ප්‍රවාහනය අපහසු නොවේ. පෙර පරීක්ෂණවලදී ප්‍රතික්‍රියාව ඇතිකිරීම සඳහා ඉහළ උෂ්ණත්වයක් හෝ උත්ප්‍රේරක අවශ්‍ය වූ අතර ප්‍රතික්‍රියාව සිදුවූයේද ඉතා සෙමින් හා 50% ක ඵලදායිතාවයකින්ය.

පේටන්ට් බලපත්‍රය ලබාගැනීමේ ක්‍රියාවලිය තුල ඇති නව ඇලුමේනියම් ලෝහ මිශ්‍රණය නිෂ්පාදන ක්‍රියාවලියේදී මයික්‍රෝන පරිමාණ ලෝහ (ක්ෂද්‍ර ප්‍රමාණයේ) ඇලුමිනියම් සහ වෙනත් ලෝහ එකක් හෝ කිහිපයක් විශේෂිත නැනෝ ව්‍යුහයකින් සකස් කරයි. අප නිපදවූ නව මිශ්‍ර ලෝහය ජලය එක්කළ විගස ඇලුමේනියම් ඔක්සයිඩ් හෝ හයිඩ්‍රොක්සයිඩ් සහ හයිඩ්‍රජන් බොහෝ ප්‍රමාණයක් නිපදවන බවත් විනාඩි 3ක කාලයක් තුලදී 100% ක කාර්යක්ෂමතාවයක් ළඟා කර ගත හැකි වූ බවත් පර්යේෂණ  කණ්ඩායමේ නියමු Scott Grendhi පවසයි.
 
නව ඇලුමේනියම් මිශ්‍ර ලෝහය ඉන්ධන කෝෂ නිපදවීමට අමතරව ත්‍රිමාණ මුද්‍රණ අමුද්‍රව්‍යක් ලෙසත් බුද්ධි තොරතුරු රැස්කිරීමේදී ස්වයං ඛාදනයක් සමඟ කිසිඳු සළකුණක් නොතබා විනාශ වන රොබෝවරු නිෂ්පාදනය සඳහාත් යොදා ගත හැකි බව වාර්තා වේ. නව ඇලුමේනියම් මිශ්‍ර ලෝහය ඉන්ධන කෝෂ  මගින් කුඩා ආදර්ශ රථයක් ධාවනය කිරීමටද ඔවුන් සමත් වී තිබේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ : හර්ෂ ලංකේශ්වර

 https://youtu.be/oAE407SjFPM?t=6

0 comments:

Post a Comment