May 14, 2015

ප්‍රතිජිවක (Antibiotics) කෝකටත් තෛලයද?

 
ප්‍රතිජීවක යනු මොනවාද?
ප්‍රතිජීවක යනු, ජීවිත අවධානම ඇති කරන බෝවන රෝග ඇතුළු ආසාදන (Infections) සඳහා ප්‍රතිකාර කිරීමට භාවිතා කරන ප්‍රබල ඖෂධ වර්ගයකි.
නමුත් නිවැරදි ආකාරයට භාවිතා නොකළ හොත් මේවායින් වන හානිය යහපතට වඩා වැඩිය.
ප්‍රතිජීවක භාවිතා කළ යුතු හා නොකළ යුතු අවස්ථා පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීමෙන් ඔබ හා ඔබගේ පවුල ආරක්ෂා කර ගත හැකිය.  

සියලු ආසාදන සඳහා ප්‍රතිජීවක අවශ්‍යද?   නැත. 
  ප්‍රතිජීවක භාවිතා කළ හැක්කේ බැක්ටීරියා, දිලීර හා සමහර පරපෝෂිතයන්ගෙන් ඇතිවන ආසාදන සඳහා පමණි. මේවා වෛරස් මගින් ඇතිවන සෙම්ප්‍රතිශ්‍යාව, උණ, බොහොමයක් කැස්ස හා උගුර වණවීම් වැනි රෝග සඳහා භාවිතා කළ නොහැක.

ප්‍රතිජීවක ප්‍රතිරෝධතාව (Antibiotic Resistance)
ප්‍රතිජීවක ප්‍රතිරෝධතාව හා බැක්ටීරියා ප්‍රතිරෝධතාවය යනුවෙන් කියවෙන්නේ එකම දෙයකි. සාමාන්‍යෙයන් ප්‍රතිජීවක මගින් කෙරෙන්නේ බැක්ටීරියා විනාශ කිරීම හෝ ඒවායේ වර්ධන නවතා දැමීමයි.
කෙසේ වෙතත් සමහර ප්‍රතිජීවක වලට සමහර බැක්ටීරියා ප්‍රතිරෝධතාවන් (Resistance) දක්වයි. එයින් අදහස් වන්නේ ප්‍රතිජිවක එම බැක්ටීරියාවන්ට එරෙහිව ක්‍රියා නොකරන බවයි. ප්‍රතිජීවක නිතර භාවිතා කිරීමෙන් හෝ නිවැරදිව භාවිතා නොකිරීමෙන් මේ ප්‍රතිරෝධතාවය ඇති විය හැකියි. (ඔබගේ වෛද්‍යවරයා විසින් නිර්දේශ කරන ලද සම්පූර්ණ ඖෂධ ප්‍රමාණය (Full Course) නොගැනීම වැනි)
එක් ප්‍රතිජීවකයකට ප්‍රතිරෝධී බැක්ටීරියා සඳහා වෙනත් ප්‍රතිජීවක භාවිතා කළ හැකි අවස්ථා ඇති අතර ඒවා සමහර විට රෝහලකදි අන්තඃශිරා (intravenous) මගින් ලබා දිය යුතු වේ.
බැක්ටීරියා විශේෂ සුළු ප්‍රමාණයක් සෑම ප්‍රතිජීවකයාටම ප්‍රතිරෝධතාව දක්වන අතර ඒවා සඳහා ප්‍රතිකාර නොමැත. 

මම, මට හා මගේ පවුලට උදව් කරන්නේ කෙසේද?
ප්‍රතිජීවක වලට සෑම රෝගයක්ම සුව කළ නොහැකිය. සෙම්ප්‍රතිශ්‍යාව හා උණ වැනි වෛරස් ආසාදන සඳහා ප්‍රතිජීවක භාවිතා කිරීමෙන් වළකින්න.
ඒවා ඉබේටම සුව වීමට ඉඩ හරින්න. මේ සඳහා සති 02 ක් හෝ වැඩි කාලයක් ගත විය හැකිය. සති 02 ක් හෝ ඊට වැඩි කාලයක් උණ හා සෙම්ප්‍රතිශ්‍යාව පවතී නම් වෛද්‍යවරයෙකු හමුවන්න.
ඔබේ සිරුරේ ප්‍රතිශක්තිය වෛරසයට එරෙහිව ක්‍රියා කරන අතරතුර රෝග ලක්ෂණ සමනය කිරීම සඳහා වෛද්‍යවරයා ඔබට උපදෙස් ලබා දෙනු ඇත.

ප්‍රතිජීවකයන් භාවිතා කළ යුතු අවස්ථා මොනවාද?    
එය තීරණය කරනු ලබන්නේ ආසාදනයට හේතුව සෙවීමෙනි.
පහත දැක්වෙන්නේ ඒ සඳහා මූලික නිර්නායකයන්ය.

v සෙම්ප්‍රතිශ්‍යාව හා උණ  
මෙය ඇති කරන්නේ වෛරසයක් මගින්ය. එම නිසා මේවා ප්‍රතිජීවක මගින් සුව කළ නොහැක.
v කැස්ස හෝ Bronchitis
මේවා සම්පූර්ණයෙන්ම වාගේ ඇති කරනු ලබන්නේ වෛරස් මගිනි. කෙසේ වෙතත් රෝගයක් හෝ පෙනහළු සම්බන්ධ ප්‍රශ්ණයන් දිගින් දිගටම පවතී නම් එයට හේතුව බැක්ටීරියා ආසාදනයක් විය හැකිය. එවිට ප්‍රතිකාර සඳහා ප්‍රතිජීවක අවශ්‍යතාවය වෛද්‍යවරයා විසින් තීරණය කරනු ලැබේ.
v උගුර ආසාදනය / වනවීම (Sore Throat)
බොහොමයක් උගුර ආසාදනයන් ඇති වන්නේ වෛරස් මගින් වන නිසා ප්‍රතිජීවක අවශ්‍ය නොවේ. කෙසේ වෙතත් Strep Throat සඳහා හේතු වන්නේ බැක්ටීරියාවක් නිසා සුදුසු ප්‍රතිජීවකයක් වෛද්‍යවරයා විසින් නියම කරනු ලැබේ.
v කනේ ආසාදන
විවිධ ආකාරයේ කනේ ආසාදන ඇති විය හැක. සෑම විටම කනේ සමහර ආසාදන සඳහා ප්‍රතිජීවක භාවිතා කරනු ලැබේ. 
v Sinus Infection
මේ සඳහා ප්‍රතිජීවක නිරන්තරයෙන් භාවිතා කරනු ලැබේ. කෙසේ වෙතත් සොටු දියර ගැලීම හෝ කහ හෝ කොළ පාට සෙම සොටු ගැලීම සඳහා අත්‍යවශ්‍යයෙන්ම ප්‍රතිජීවක අවශ්‍ය නොවේ.

තවදුරටත් මා දැනගත යුත්තේ මොනවාද?
·        වෛද්‍යවරයෙකු විසින් ප්‍රතිජීවකයක් නියම කරන ලද්දේ නම් රෝගය සුව අතට හැරුණ ද සම්පූර්ණ ප්‍රතිජීවක ප්‍රමාණයම නියම කරන ලදකාල සිමාව තුල ‍ භාවිතා කළ යුතුයි. මෙමගින් ශරීරය තුල ඉතිරි වී සිටින බැක්ටීරියා සුළු ප්‍රමාණය ප්‍රතිජීවක සඳහා ප්‍රතිරෝධතාව දැක්වීම අවම කරනු ඇත.
·        බෙහෙත් වට්ටෝරුවක් නොමැතිව ප්‍රතිජීවක ගැනීමෙන් වළකින්න.
·        මීට පෙර වෙනත් රෝගයන් සඳහා ලබා ගත් ප්‍රතිජීවක ඉතිරි වී තිබේ නම් එය වෛද්‍යවරයකුගේ උපදෙස් නොමැතිව නැවත භාවිතා කිරීමෙන් වළකින්න. සමහර විට එය රෝගයට නිශ්චිතවම ලබා දෙන ප්‍රතිජීවකය නොවීමට ඉඩ ඇත. නැතිනම් එය රෝගකරක බැක්ටීරියා සම්පූර්ණයෙන් විනාශ කිරීමට  ප්‍රමාණවත් නොවන්නට ඉඩ ඇත. එසේ කිරීමෙන් ඔබ සුවපත් නොවනවා පමණක් නොවේ ප්‍රතිජීවක ප්‍රතිරෝධතාව ද ඇති විය හැක.
·        ආසාදන වලින් වැළකීමට නම් ඔබ පළමුවෙන්ම යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතුය. කෑමට පෙර, වැසිකිළි යාමෙන් පසු හා ළදරුවකුගේ හෝ සුරතල් සතෙකුගේ මලපහ ඉවත් කිරීමට සිදුවූ අවස්ථා වලදීත් අත් සබන් ගා පිරිසිදු ජලයෙන් සෝදා  ගන්න.

1 comments:

බොහෝම වැදගත් ලිපියක්.

Post a Comment