April 12, 2015

අවුරුදු මංගල්‍යයේ සූර්ය සංක්‍රාන්තිය

අවුරුදු  මංගල්‍යයේ පදනම වන්නේ සූර්යයාගේ ගමනයි. සත්‍ය ලෙසම සුර්යයා ගමන් නොකරන අතර පෘථිවි භ්‍රමනය හා පරිභ්‍රමනය නිසා අපට නිසලව ඇති සුර්යයා  හා තාරකා රාශි චලනය වන්නා සේ පෙනෙයි. මෙය තාරකාවල දෘෂ්‍ය චලිතයයි.
            රාශි චක්‍රයේ රාශි 12ක් ඇති අතර පෘථිවියේ භ්‍රමනය හා පරිභ්‍රමනය  නිසා පෘථිවියේ සිට බලන විට අපට ඒ ඒ රාශිවල සූර්යයා සිටින බව දර්ශනය වේ.මාස 12ට අනුරූපව තාරකා රාශි 12ක් ද ඇත. රාශි චක්‍රය හරහා සූර්යයා ගමන් කරන්නා සේ පෙනෙන ගමන් පථය ක්‍රාන්ති වලය ලෙස හැදින්වේ.රාශි චක්‍රයේ පළමු රාශිය වන මේෂ රාශියේ සිට අවසන් රාශිය වන මීන රාශිය දක්වා මෙලෙස සූර්ය ගමනට වසරක කාලයක් ගතවේ.අප්‍රෙල් 13, 14 දිනයන්හි එක් ගමන් වටයක් අවසන් කළ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන්නා සේ පෙනීම නව වසරක උදාව ලෙස සැලකේ.මෙලෙස සූර්යයා මීන රාශියේ අවසන් අංශකයේ අවසන් කලා කිහිපය ගත කරන අවස්ථාවේ සිට මේෂ රාශියේ මුල් අංශකයේ මුල් කලා කිහිපය ගත කරන කාලය නොනගතය හෙවත් පුණ්‍ය
 කාලය ලෙස හැදින්වේ.ඕනෑම අවුරුද්දක නොනගත කාලය පැය 12කුත් මිනිත්තු 48ක් වේ.උදහරණ ලෙස 2015 වර්ෂයේ නොනගතය 14දා උදේ 7.23 සිට රාත්‍රී 8.11 දක්වා වන අතර  ඒ අතර කාලය පැය 12කුත් මිනිත්තු 48ක් වන බව පැහැදිළිය.

නොනගතයේ කොටස් දෙකක් ඇති අතර මීන රාශියට අයත් කොටස නොනගතයේ පූර්ව භාගය ලෙසද මේෂ රාශියට අයත් කොටස නොනගතයේ අපර භාගය ලෙසද හැදින්වේ.මේ අනුව පූර්ව භාගයට  පැය 6කුත් මිනිත්තු 24ක්ද අපර භාගයට පැය 6කුත් මිනිත්තු 24ක්ද  අයත් වේ. අවුරුදු උදාව සිදුවන්නේ සූර්යයා මේෂ රාශියට ඇතුළු වන්නා සේ පෙනීම සිදු වීමත් සමගම වන අතර නොනගතය ලබන මොහොතට පැය 6කුත් මිනිත්තු 24ක් එක් කළ විට එම නැකත ලැබේ. උදහරණ ලෙස 2015 වර්ෂයේ නව අවුරුදු උදාව සිදු වන්නේ 14දා සවස1.47ටය. නොනගතයේ අපර භාගයේ ලිප ගිනි දැල්වීම, වැඩ ඇල්ලීම, ගනුදෙනුව, ආහාර අනුභවය ආදී බොහෝ නැකැත් ඇති බැවින් නොනගතය යනු නැකැත් නැති කාලය යන මතය නිෂ්ප්‍රභ වේ.

පී.ඩී.පී.ධනසේන
විද්‍යා හා තාක්ෂණ නිලධාරී

3 comments:

ඉතා වටිනා ලිපියක් ධනසේන මහත්තයෝ

බොහොම ස්තුනියි.

This comment has been removed by the author.

Post a Comment