April 18, 2018

ප්ලාස්ටික් ආහාරයට ගන්නා එන්සයිමයක්


ප්ලාස්ටික් ආහාරයට ගන්නා එන්සයිමයක් සොයා ගැනීමට විද්‍යාඥයින් සමත් වි ඇති බව වාර්තා වේ. මීට වසර දෙකකට ඉහතදී පර්යේෂකයන් විසින් ජපන් කසළ තොගයක් තුළ විකාශනය වූ ප්ලාස්ටික් ආහාරයට ගන්නා විකෘති වූ බැක්ටීරියාවක් හදුනාගන්නා ලදී. මෙම බැක්ටීරියාවගේ සුපිරි බලයේ ශක්‍යතාවන් පිළිබද අධ්‍යයනයේ යෙදී සිටියදි විද්‍යාඥයින් විසින් පරිසර දුෂණයේ ප්‍රධාන කොටස්කරුවකු වන ප්ලාස්ටික් ජීර්ණය කිරීමට හැකි වන එන්සයිමයක් අහඹු ලෙස හඳුනාගෙන ඇත. වඩාත් කාර්යක්ෂම ලෙස ප්ලාස්ටික් ජීර්ණය කිරීමට එම එන්සයිමයට හැකි බවද වාර්තා වේ.

වසර සිය ගණනක් තිස්සේ දිරා යාමෙන් තොරව පරිසරයේ රැඳී තිබෙන, සෑම වසරකම ලොව පුරා සාගරයන් වෙත ඒකරාශී වන ටොන් මිලියන ගණනක ප්ලාස්ටික් ගැටලුව විසඳීමට මෙම සුවිශේෂී එන්සයිමය අනාගතයේදී භාවිතා කළ හැකි බව පර්යේෂකයෝ පවසති.

1960 ගණන් වලදී ප්ලාස්ටික් භාවිතය ජනප්‍රිය වීම නිසා  ප්ලාස්ටික් අපද්‍රව්‍ය පැල්ලම් සාගරවල පාවෙන බව හෝ බොහෝකලක් මනරම්ව පිහිටි මුහුදු වෙරළ දුෂණය වන බව පෙරදී අවබෝධ කර ගත පිරිස ඉතා සුළු යැයි Portsmouth (පෝර්ට්ස්මත්) විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා හා ජෛව වෛද්‍ය විද්‍යා  ආයතනයේ අධ්‍යක්ෂක මහාචාර්ය John McGeehan (ජෝන් මැක්ජීහීන්) පවසයි. පෝර්ට්ස්මාට් සහ එක්සත් ජනපදයේ ජාතික පුනර්ජනනීය බලශක්ති රසායනාගාරයේ පර්යේෂකයින් සැබවින්ම ජපන් බැක්ටීරියාගේ එන්සයිමයේ ව්‍යුහය පරීක්ෂා කර බැලූහ. එහෙත් ඔවුහු අනපේක්ෂිත ලෙස ප්ලාස්ටික් බිඳ දැමීමට වඩාත් හොඳ හැකියාවක් සහිත එන්සයිමයක් නිර්මාණය කළෝය. කෙසේවෙතත් "මූලික වශයෙන් විද්‍යාත්මක පර්යේෂණවලදී ඥානය බොහෝ විට වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති අතර අපගේ සොයාගැනීම මෙහි ව්‍යතිරේකයක් නොවේ" යනුවෙන් මහාචාර්ය මැක්ජීහාන් පැවසීය.

Ideonella sakaiensis (අයිඩොනෙල්ලා සකායිසිස්) 201-F6 ලෙස හඳුන්වන එන්සයිම, ප්ලාස්ටික් බීම බෝතල් හා ආහාර ඇසුරුම් සෑදීම සඳහා නිතිපතා භාවිතා කරන දිරාපත් කිරීමට ඉතා අපහසු ප්ලාස්ටික් ආකාරයක් වන පොලිඑතිලීන් ටෙරෙෆ්ටේලේට් (PET) ඵලදායී ලෙස බිඳ දැමීමට සමත් වේ. වීදුරු බියර් බෝතල් වෙනුවට භාවිතාවෙන ප්ලාස්ටික් සදහා යොදා ගන්නා පොදු සංයෝගයක් වූ PET ප්ලාස්ටික් සඳහා පොදු ආදේශකයක් වන polyethylene furandicarboxylate (PEF/ පොලිඑතිලීන් ෆුරැන්ඩිකාබොක්සිලේට්) ද මෙම එන්සයිමය ආහාරයට ගනියි.

මෙම එන්සයිම නිපදවීම, වර්තමානයේ ජෛව සේදුම්කාරක යොදා ගන්නා එන්සයිම සහ ජෛව ඉන්ධන නිෂ්පාදනය කිරීම සඳහා වූ නිෂ්පාදන ක්‍රියාවලියට බොහෝසෙයින් සමාන බවද මහාචාර්ය මැක්ජීහාන් පවසා තිබේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර
https://youtu.be/fQa6as8fhoo?t=16

0 comments:

Post a Comment