October 30, 2017

වේදනාවෙන් තොර එන්නත්කරණයක්‌

අප සියලු දෙනා ම පාහේ එන්නත් කටුවල අමිහිරි වේදනාත්මක අත්දැකීම විඳ ඇතුවාට සැක නැත. ත්‍රිත්ව එන්නත,  BCG එන්නත හා පැපොල එන්නත කුඩා කාලයේ අපට ලබා දෙන එන්නත් අතරින් කිහිපයකි.  එන්නත්කරණය සඳහා සිරින්ජ හා එන්නත් කටු භාවිතය අවුරුදු 160ක පමණ ඉතිහාසයකට උරුමකම් කියන, දැනුදු සුලබ ව යොදා ගන්නා ක්‍රමවේදය බවට පත් වී ඇත ක්‍රමවේදයේ ප්‍රධාන ගැටලුව වන්නේ, එන්නත් කටු මගින් සම සිදුරු කිරීමෙන් ඇති වන වේදනාව කෙරෙහි ජනිත වන බියයි(Needle Forbia). මේ බිය මුසු හැඟීම එක්‌තරා මානසික තත්ත්වයක්‌ වන අතර, සමස්‌ත ලෝක ජනගහනයෙන් 20%ක්‌ පමණ මේ තත්ත්වයෙන් පෙළෙන බව සඳහන් වේ. ළමයින් විෂයෙහි මේ තත්ත්වය වඩාත් ප්‍රබල වේ. එමෙන් ම එන්නත් කටු මගින් සිදු වන තුවාල ද (Needle stick injuries) සිරින්ජ කටු භාවිතයේ අනිටු ප්‍රතිඵලයක්‌ ලෙස සැලකේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නවතම වාර්තා අනුව ලොව වටා වාර්ෂික ව මිලියන 1.3ක පුද්ගලයන් ප්‍රමාණයක්‌ වැරැදි ලෙස එන්නත් කටු භාවිතයන් නිසා ඇති වන ආසාදන හේතුවෙන් මිය යන බව සඳහන් ව ඇත. 




එන්නත් කටු භාවිතයෙන් සිදු කරන එන්නත්කරණයන්හි දී (විශේෂ ප්‍රතිශක්‌තිකරණ ව්‍යාපෘතිවල දී) සමෙහි ඇති ප්‍රතිශක්‌තිකරණය සඳහා වැදගත් සෛල හා පටක ස්‌ථර ගණනාවක්‌ මඟ හැර රුධිරය වෙත සෘජු ව එන්නත මුදා හැරීම සිදු වේ. මෙහි දී සමෙහි ඇති ප්‍රතිශක්‌තිකරණය සඳහා වැදගත් සෛල උත්තේජනය වීමක්‌ සිදු නො වන නිසා එමගින් ප්‍රතිශක්‌තිකරණය සඳහා එම සෛල සක්‍රීය ව දායක කර ගැනීමේ අවස්‌ථාව අහිමි වී යයි. මීට අමතර ව බොහෝ එන්නත්, ද්‍රවමය මාධ්‍යයක්‌ මගින් ලබා දීම සිදු කරන නිසා සහ එය සාමාන්‍ය උෂ්ණත්වයන් යටතේ දී දිගු කලක්‌ තැබීමෙන් අක්‍රිය වීම හෝ විෂ වීම හෝ සිදු විය හැකි බැවින් එම එන්නත් කල් තබාගැනීම සඳහා ශීත කිරීම අවශ්‍ය වේ. මේ නිසා සාම්ප්‍රදායික එන්නත්කරණ ක්‍රියාවලිය ආකර්යක්‌ෂම සහ ඇතැම් තත්ත්ව යටතේ හානිකර ද විය හැකි ය.



යථෝක්‌ත දුර්වලතා මඟහැරීම සඳහා විශේෂයෙන් වේදනාවෙන් තොර, කාර්යක්‌ෂම එන්නත්කරණ ක්‍රමවේදයක්‌ හඳුන්වා දීමට ඕස්‌ටේ්‍රලියානු විද්‍යාඥයන් පිරිසක්‌ සමත් වී තිබේ. ක්‌වීන්ස්‌ලන්ඩ් සරසවියේ (University of Queensland) මහාචාර්ය මාර්ක්‌ නෙන්ඩාල් (Prof. Mark Kendall) ප්‍රමුඛ පර්යේෂණ කණ්‌ඩායම nano-patch නැමති සවිවර ඉතා කුඩා චිපයක්‌ බඳු වූ උපාංගයක්‌ නිර්මාණය කර ඇත. මෙය පැත්තක්‌ සෙන්ටිමීටර 1ක්‌ (1 cm) පමණ දිග වූ හතරැස්‌ ක්‌ෂුද්‍රප්‍රක්‌ෂේපක (micro projections) 20,000කින් පමණ සමන්විත ය.

මේ උපාංගය සම මත තබා කුඩා පීඩනයකින් තෙරපීමෙන් අදාළ එන්නත් - ද්‍රව්‍යය සම හරහා ගමන් කිරීම නිසා, සමට වහා ම පහළ ප්‍රතිශක්‌තිකරණ සෛල ද සක්‍රීය කර ප්‍රතිශක්‌තිකරණය අවදි කරයි. එමෙන් ම කුඩා ප්‍රමාණ ලෙස එන්නත නිදහස්‌ කිරීම නිසා කාර්යක්‌ෂම ප්‍රතිශක්‌තිකරණ ක්‍රියාවලියක්‌ ජනිත කරයි. එමෙන් ම මෙය සාම්ප්‍රදායික එන්නත් කරණයන්ට සාපේක්‌ෂ ව වේදනා රහිත ක්‍රමවේදයක්‌ වන අතර වඩා ලාබදායී ද වේ. තව ද එම nano patch හි තවරා ඇති එන්නත් ද්‍රව්‍ය තාප ස්‌ථායී වන අතර ඝනමය ස්‌වභාවයකින් (Solid state) පවතින බැවින් එය ශීතකරණ තත්ත්ව යටතේ පවත්වාගැනීම අත්‍යවශ්‍ය නො වේ. මේ නිසා දුෂ්කර ප්‍රදේශවල ද පහසුවෙන් භාවිත කිරීමේ අවකාශ සැලසේ.
සකස්කළේ:
විද්‍යා හා තාක්ෂණ නිලධාරි,  රත්තොට  
උපුටා ගැනීම : අන්තර්ජාලය ඇසුරිනි.

0 comments:

Post a Comment