November 30, 2016

විද්‍යාඥයෝ නිවිති බෝම්බ පරීක්ෂකයෙක් කරති

මීයන්, මී මැස්සන් පමණක් නොව ඩොල්පින් වැනි මත්ස්‍ය වර්ගද බිම් බෝම්බ හඳුනාගැනීමට දැනටමත් පුහුණු කර තිබේ. පුපුරණ ද්‍රව්‍ය  හඳුනාගැනීමට සාමාන්‍යයෙන් භාවිතා නොකරන වඩාත් වෙනස් ද්‍රව්‍යයන් කෙරෙහි මේ වන විට විද්‍යාඥයන්ගේ අවධානය යොමු වී ඇති අතර නිවිති පලා වර්ගයද ඒ අතර වෙති.

සෞඛ්‍ය ප්‍රතිලාභ ලබාදෙන පලා වර්ගයක් ලෙස ප්‍රසිද්ධ නිවිති ලඟදීම මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරන උපකරණයක් ද වනු ඇත. සැඟවුණූ පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීමෙන් ඒවා පිපිරිම වළක්වා සිදුවන අනතුරු වලින් මිනිසුන් ආරක්ෂා කිරීම වෙනුවෙන් නිවිති යොදා ගැනීමට MIT (Massachusetts Institute of Technology) ආයතනයේ පර්යේෂකයන් සමත්වී තිබේ. ඔවුන් විසින් භාවිතා කල vascular infusion නම් තාක්ෂණය මඟින් නිවිති ශාක පත්‍රවලට කාබන් නැනෝ ටියුබ්ස් (කාබන් නිනිති නාල) හඳුන්වාදීම එහි මුල් පියවරයි.

රසායණික සංයෝගයක් වූ නයිට්‍රෝඇරෝමැටික් (Nitro aromatics) සමඟ අන්තර් ක්‍රියාකාරී වීමට හැකිවීම සදහා මෙම නිනීති නාල සුවිශේෂ ලෙස සකස් කර ඇත්තේ පුපුරණ ද්‍රව්‍ය වල Nitro aromatics සුලබ ලෙස පවතින නිසාය. “Nature Materials සඟරාවේ විස්තර කිරීමට අනුව පර්යේෂණවලදී Nitro aromatics වර්ගයක් වන පික්රික් (Picric) අම්ලය වෙත මෙහිදී  ඔවුන්ගේ අවධානය යොමුකර තිබේ.

ශාකයේ මුල් මඟින් උරාගන්නා පොලව යට ජලයේ ඇති මෙම අම්ලය නිවිති ශාක පත්‍රයේ යටි පැත්තේ පිහිටි Mesophyll (පත්‍ර මධ්‍ය) ස්ථරය වෙත ප්‍රවාහනය වේ. ප්‍රභාසංස්ලේෂණය වැඩි වශයෙන් සිදුවන මෙම Mesophyll ස්ථරයට පැමිණෙන පික්රික් අම්ල හඳුනාගැනීම සඳහා එහි කාබන් නැනෝටියුබ්ස් රඳවනු ලැබේ. ඉන්පසුව පර්යේෂකයන් කාබන් නැනෝ ටියුබ්ස් වෙත  ලේසර් කිරණ එල්ල කර නිරීක්ෂණය කළ විට ප්‍රතිදීප්ත සංඥාවක් ලැබේ නම් එම ස්ථානයේ Nitro aromatics පවතින බව කාබන් නැනෝ ටියුබ්ස් විසින් හදුනාගෙන තිබීම තහවුරු වේ. මෙලෙස ප්‍රතිදීප්ත සංඥා හදුනාගැනීම සදහා අධෝරක්ත කිරණ මීටරයක් හෝ ඊට වඩා අඩු දුරක සිට කාබන් නැනෝ ටියුබ්ස් වෙත එල්ල කළ යුතුය. බෝම්බ හෝ පුපුරණ ද්‍රව්‍ය හදුනා ගැනීම සදහා මෙම දුර ප්‍රමාණය වැඩි කිරීම සදහා තවදුරටත් පර්යේෂණ ක්‍රියාත්මක වේ.

අන්තර්ජාලය ඇසුරෙණි.

https://www.youtube.com/watch?v=q4WsCMLnfvo

0 comments:

Post a Comment