July 4, 2016

වස විස නැති වගාවකට කාබනික පොහොර....



1956 දී හරිත විප්ලවයත් සමග කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඇති වූ සීග්‍ර වෙනස්වීම් තුලින් පාරිසරික අසමතුලිතතාවන් රැසක් හටගෙන ඇත. රසායනික පොහොර හා අනෙකුත් රසායනික ද්‍රව්‍ය විධිමත් ක්‍රමවීදයකින් තොරව වගාවන්ට  එක් කිරීම හේතුවෙන් වර්තමානයේ අහිතකර පාරිසරික මෙන්ම සෞඛ්‍යමය තත්වයන්ගේ වැඩිවීමක්ද දක්නට ඇත. 

කෘෂිකාර්මික ජීවන රටාවකට හුරු වූ ශ්‍රී ලාංකිකයන්ගේ දෛනික ආහාරවලට වස විස එක්වීමෙන් විවිධ සෞඛ්‍ය තර්ජනයන්ට මුහුණ දීමට සිදුව ඇත. එසේම පාංශු හායනය, ස්වභාවික ජල සම්පත් දූෂණය වීම ඇතුළු විශාල පාරිසරික හානියක්ද සිදුවේ. මෙම තත්වයන් යම්තාක් දුරකට පාලනය කරගැනීමට වස විස නැති වගා රටාවන්ට හුරුවීම යෝග්‍ය වේ. මෙහිදී කාබනික පොහොර  සුවිශේෂී ස්ථානයක් හිමිකර ගනියි.

ශාක සහ සත්ව අපද්‍රව්‍ය අඩංගු කොටස් දිරාපත්වීමෙන් ලැබෙන පොහොර, කාබනික පොහොර ලෙස හැදින්වේ. රසායනික පොහොර හා සැසදීමේදී සුවිශේෂිතා රැසක් කාබනික පොහොරවල දක්නට ලැබේ. එනම්,
  • පසෙහි භෞතික තත්වය දියුණු වීම ( ජලය රදවා ගැනීම/අවශෝෂණය හා පසෙහි ව්‍යුහය දියුණු වීම)
  • පසෙහි රසායනික ලක්ෂණ දියුණු වීම (කැටායන හුවමාරු ධාරිතාව වැඩිවීම සහ පසෙන් උරාගත හැකි පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය වැඩි වීම)
  • හිතකර පාංශු ජීවින් ප්‍රමාණය වැඩිවීම
  • මහා පරිමාණයේ මුලද්‍රව්‍යන්ට අමතරව ක්ෂුද්‍ර මුලද්‍රව්‍ය ද බෝග වලට ලැබේ.
  • පරිසර දුෂණය අවම වේ. ( පරිසර හිතකාමී වේ)
  • ශාක වර්ධක හෝර්මෝන ලබාදෙන මාධ්‍යයක් වේ.
  • පසේ සුවරක්ෂක බව වැඩි වී පස ආම්ලික වීමට ප්‍රතිරෝධීව ක්‍රියාකරයි

 කාබනික පොහොර සකස් කිරීමේදී බෝගවලට අවශ්‍යවන පෝෂක කොටස්වලට අනුව    කාබනික පොහොර සකස් කරගත හැකිය. එනම්, අවශ්‍ය පෝෂක කොටස් බහුලව ඇති කොළ  පොහොර, සත්ව අපද්‍රව්‍ය යොදා කාබනික පොහොර සකස්කර ගැනීමෙන් හා පසෙහි ඌන  පෝෂක අවශ්‍යතා සම්පුර්ණ වන ලෙසට කාබනික පොහොර සකස් කර ගැනීමෙන් බෝගවල  සරුබව වැඩිකරගත හැක.

කාබනික පොහොර වර්ග ලෙස කොළ පොහොර, සත්ත්ව අපද්‍රව්‍ය, බෝග අවශේෂ, කොම්පෝස්ට් පොහොර ආදිය දැක්විය හැක. ග්ලිඩ්සීරියා, වල්සූරියකාන්ත, කොහොඹ, එරබදු වැනි ශාක අතු කොටස්ද කුකුලන්, ගවයන්, එළුවන් වැනි සත්ත්වයින්ගේ මළ අපද්‍රව්‍ය ද ප්‍රධාන වශයෙන් කාබනික පොහොර නිෂ්පාදනයේදී යොදා ගැනේ. 

මෙහිදී, මුලික වශයෙන් සැලකිල්ලට ගත යුත්තේ කාබනික පොහොරවල තිබිය යුතු පෝෂක කොටස් පිලිබදව නිසි අවබෝධයක් තිබීමය. පසෙහි සංචිත පෝෂක කොටස් අතිරික්තව පැවතීමෙන් පමණක් බෝග වගාවේ සියලු පෝෂක සැපයීම කෙරෙහි සෑහීමකට පත්විය නොහැකිය. එසේම, බෝග වර්ගයේ පෝෂණ අවශ්‍යතාව අනුව යෙදිය යුතු පොහොර වර්ග වෙනස් වේ. නිදසුනක් ලෙස කුඹුරට යෙදිය හැකි කාබනික පොහොර ලෙස පිදුරු, කොළ පොහොර, ගොම හ කුකුළු පොහොර, පිලිස්සු දහයියා ආදිය දැක්විය හැකිය. එළවලු බෝග වගාවන්ට නියමිත පරිදි කාබනික පොහොර භාවිතයෙන් වටපණු හානියද අවම කරගත හැකි බව දේශීය මෙන්ම විදේශීය  පර්යේෂණ මගින්ද පෙන්වා දී ඇත.

රටේ ජනතාව සහ ව්‍යවසායකයින් දිරිමත් කිරීම තුලින් කාබනික පොහොර සහ වස විසෙන් තොර කෘමිනාශක, වල්නාශ ඇතුළු කෘෂි උපකරණ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් මගින් නිෂ්පාදනය කිරීම කෙරෙහි විවිධ පර්යේෂණ සහ සමීක්ෂණ රැසක් සිදුකෙරෙමින් පවතී.



 උපුටා ගැනීම: පොත පත සහ අන්තර්ජාලය ඇසුරිනි



සැකසුම: ප්‍රිමල්ෂි ධර්මතිලක
               විදාතා සම්පත් මධ්‍යස්ථානය - කුණ්ඩසාලේ





0 comments:

Post a Comment