March 30, 2015

ක්ෂය රෝගයෙන් තොරවීමට නම්

ක්ෂය රෝගයෙන් තොරවීමට ප්‍රථම ඒ ගැන මනා අවබෝධයක් ලබා ගැනීම කල යුත්තකි. ක්ෂය රෝගය පරම්පරා ගත රෝගයක් නොවේ. එය බෝවන රෝගයක් වන අතර, සෑදෙනුයේ Mycobaterium tubaculosis නම් බැක්ටීරියාව මගිනි.  ක්ෂය රෝගය සම්පුර්ණයෙන්ම සනීප කල හැක. ඒ සදහා නියමිත මාත්‍රාව, නියමිත බෙහෙත්, නියමිත කාලය පුරාම එනම් හය මාසයක් බෙහෙත් බීම පමණි.

එසේම බෙහෙත් ගැනීම අතරමග නතර කල විට, විෂබීජ යලිත් වර්ධනය වීමට පටන් ගනී. මෙලෙස දෙවන වර වර්ධනය වන විෂබීජ, බෙහෙත් වලට විනාශ කිරීමට නොහැකි වන අතර (එනම් ක්ෂය රෝගය සනීප කිරීමට නොහැකි තත්වයට පත්වේ. ) එම අවස්ථාව බහු ඹෟෂධ ප්‍රතිරෝධිත ක්ෂය රෝගය නම් වේ. (MDR-TB: Multi Drug Resistant TB)
මෙම රෝගය වැඩිපුර සෑදෙනුයේ පෙනහළු ඇතුලේ වන අතර නමුත් සිරුරේ ඕනෑම තැනක මෙම රෝගය සෑදීමට හැකිය. උදාහරණය ලෙස වසා ගැටිති (කුද්දැටි), කොදු ඇට පෙළ

ක්ෂය රෝගය සාදන විෂබීජය සිරුරට ඇතුළු වන්නේ හුස්ම ගන්නා වාතයත් සමගය. වාතයට විෂබීජ එකතු වනුයේ පෙනහළුවල ක්ෂය රෝගය ඇති රෝගියකුගේ කැස්සකදී, කිවිසුමකදී හෝ අධික සිනාසීමකදී ය. ක්ෂය රෝගය සාදන විෂබීජය 100 දෙනෙකුගේ සිරුරු වලට ඇතුළු වු විට ඉන් 10 දෙනෙකුට පමණ මෙම රෝගය සෑදීමේ ප්‍රවනතාවය ඇත. යම් අයෙකු ක්ෂය රෝගියකු වීමේ ප්‍රවනතාවය ඔහුගේ හෝ ඇයගේ රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව මත රදා පවතී. එනම්
  • දුම්පානය හෝ මත්ද්‍රව්‍ය වලට ඇබිබැහි වුවන්ට
  • දියවැඩියා රෝගය ඇති අයට
  • මන්දපෝෂණයෙන් පෙළෙන අයට
  • ඒඩ්ස් රෝගීන්ට ක්ෂය රෝගය වැළදීමේ ප්‍රවනතාවය වැඩිය.


ක්ෂය රෝගයේ රෝග ලක්ෂණ වනුයේ
  • සති 03 කට වඩ පවතින කැස්ස
  • සෙම සමග ලේ පිටවීම
  • රාත්‍රී කාලයේ මද උණ ගතිය
  • කෑම අරුචිය
  • රාත්‍රී කාලයේ අධික දහඩිය දැමීම

ක්ෂය රෝගය ඇති බව නිවැරදිව දැන ගැනීමට ඉහත රෝග ලක්ෂණ තිබෙන බව දක්නට ලැබෙන විට හා  වහාම වෛද්‍යවරයකු හමුවීම හා සෙම පටල පරීක්ෂාකර බැලීම හා එක්ස්රේ වැනි පරීක්ෂණ සිදු කල හැක.

ක්ෂය රෝගය සදහා නියමිත ප්‍රතිකාර ක්‍රමය වනුයේ මාස 06 ක් බෙහෙත් ගැනීමයි. ප්‍රතිකාර සදහා රෝහල් ගත වීම අනිවාර්ය නොවේ. දැනට පවතින හොද ප්‍රතිකාර ක්‍රමය, රෝගියා සෞඛ්‍ය සේවකයකු / සේවිකාවක බලා සිටියදීම බෙහෙත් ගැනීමයි. මෙම ක්‍රමය සෘජු නිරීක්ෂිත ප්‍රතිකාර ක්‍රමය නම් වේ.

ක්ෂය රෝගය වලක්වා ගැනීමට නම් රෝගීන් නොපමාව හදුනා ගැනීම හා රෝගීන් නිසියාකාරව ප්‍රතිකාර ගැනීම හා කහිනවිට හෝ කිවිසුම් යන විට නාසය හා කට ආවරණය කර ගැනීමෙන් හා රෝගයෙන් පෙළෙන්නෙකු නම්, සෑම තැනම  සෙම දැමීමෙන් වැළකී, භාජනයකට එකතුකර වළලා දැමීමෙන් හෝ පුළුස්සා දැමීමෙන් කල හැක.

ක්ෂය රෝගය වැලැක්වීම සදහා එම රොගියකු සමාජයෙන් කොන්නොකිරීම හා රෝග ලක්ෂණ ඇති අය හදුනාගත් විට ළය චිකිත්සාගාරයක් වෙත යෑම සදහා උනන්දු කිරීම හා රෝගය ඇති බව හදුනාගත් අයකු නිවැරදි ලෙස බෙහෙත් ගැනීම සදහා උනන්දු කරවීම මගින් කල හැක. තවද සෑම දරුවකුටම උපතේදී බී. සී. ජී එන්නත ලබාදීම තුළින් ක්ෂය රෝගයේ භයානක අවස්ථා කිහිපයක් ඇතිවීම වළක්වා ගැනීමට හැකි වේ.

තුෂංග හේරත්
විද්‍යා හා තාක්ෂණ නිලධාරී
හාලිඇල

0 comments:

Post a Comment