March 14, 2016

ජෛව සන්දීප්ත බැක්ටීරියා ආලෝකයෙන් හෙට ලෝකය එළිය වෙයිද ?

Hawaiian bobtail දැල්ලන් විශේෂය
ජෛව සන්දීප්තිය යනු කුමක්ද?
සත්ත්ව ලෝකය තුල ඇතැම් සතුන් විසින් ආලෝකය නිපදවා නිකුත් කිරීම සිදු කරන අතර මෙය ජෛව සන්දීප්තිය නම් වේ. මෙහිදී මෙම ආලෝකය නිපදවනු ලබන්නේ එම සතුන්ගේ ශරීරය තුල සිදුවන රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රථිපලයක් ලෙසිනි.

Allivibrio  fischeri බැක්ටීරියාව

විවිධ පෘෂ්ඨවංශීන් (Vertebrates), අපෘෂ්ඨවංශීන්  (Invertebrates) මෙන්ම දිලීර සහ බැක්ටීරියා විශේෂ තුලද මෙසේ ජෛව සන්දීප්තිය දැකිය හැක.
වෙළඳසැල් ඉදිරිපස (  Shop Windows  )ආලෝකකරණය   සදහා ජෛව සන්දීප්තිය යොදා ගැනීම.
ජෛව සන්දීප්තිය යනු අලුත් දෙයක් නොවුවත් මේ වන විට ජෛව සන්දීප්තිය මගින් නිපදවන ආලෝකය වෙළද භාණ්ඩයක් ලෙස වෙළද පොළට ඉදිරිපත් කිරීමට එක්තරා ව්‍යාපාරික ආයතනයක් සමත්ව සිටීම අලුත් දෙයකි.

ප්‍රංශයේ පැරිස් නගරයේ ග්ලෝවී ( Glowee Company )ව්‍යාපාරික ආයතනය  ජෛව සන්දීප්තිය සහිත බැක්ටීරියාවන් නිපදවන ආලෝකය වෙළඳසැල් ඉදිරිපස (Shop Windows)ආලෝකකරණය සඳහා යොදා ගැනීමට හැකි වන සේ සකස්කර ඇත.
මෙහිදී කුඩා පාරදෘශ්‍ය ආවරණයන් තුලට ජෛව සන්දීප්තිය ඇති කරන බැක්ටීරියාවන් සහිත ජෙල් වර්ගයක් ඇතුලත් කරන අතර එමගින් එම බැක්ටීරියාවන්ගේ ජෛව සන්දීප්තිය ආලෝකය ලෙස ලබා ගැනීමට කටයුතු කර ඇත. දැල්ලන් විශේෂයකගෙන් (Hawaiian  bobtail squid ) ලබා ගෙන ඇති Allivibrio  fischeri නම් බැක්ටීරියාව මේ සඳහා යොදා ගෙන ඇත. මෙහිදී ජෙල් වර්ගය මගින් බැක්ටීරියා සජීවීව පවත්වා ගැනීමට අවශ්‍ය පෝෂණ ද්‍රව්‍ය සපයනු ලැබේ. මෙහිදී නිල් කොළ පැහැති ආලෝකයක් ලබා දීමට මොවුන්ට හැකිවී ඇත. ආරම්භයේදී ආලෝකය ක්‍රියාත්මක වූයේ තත්පර කිහිපයක් පමණි. නමුත් පෝෂණය සපයන ජෙල් වර්ගයේ තත්වය වර්ධනය කිරීමෙන් පසු මෙම බැක්ටීරියාවන්ගේ ජීවිත කාලය දින 3 දක්වා දීර්ඝ කර ගැනීමට හැකි වී ඇත. 2017 වන විට මාසයක කාලයක් ආලෝකය පවතින ආකාරයට මෙම නිෂ්පාදනය සකස් කිරීම මොවුන්ගේ අපේක්ෂාවයි.

Glowee ව්‍යාපාරිකයන්ට මෙම ජෛව සන්දීප්ත ආලෝකය තවත් බොහෝ කටයුතු සඳහා යොදා ගැනීමට අවශ්‍යව ඇත. උදා:- මාර්ග සංඥා, ගොඩනැගිලිවල පිටත ආලෝකකරණය , විසිතුරු ආලෝක සැරසිලි ආදිය, උද්‍යාන වැනි විදුලි රැහැන් සවි කිරීමට නොහැකි ස්ථාන සඳහා යොදා ගැනීම.

වෙළඳ භාණ්ඩයක් ලෙස නිෂ්පාදනයේදී සුදුසු පාරිසරික තත්ව යටතේ විශාල වශයෙන් මෙම බැක්ටීරියා වර්ධනය කර පවත්වාගෙන යාම විශාල මුදලක් වැය වන ක්‍රියාවලියක් බව ඇතැම් විද්‍යාඥයින්ගේ මතයයි.

නමුත් ජාන තාක්ෂණය මගින් මෙම බැක්ටීරියා තවදුරටත් වැඩි දියුණු කර රාත්‍රි කාලයේදී පමණක් ආලෝකය ලබා ගැනීමට හැකිවන සේ සකස් කිරීමටද මෙම ව්‍යාපාරකයින් කටයුතු කරමින් සිටී. තවද මෙම ආලෝකය තව දුරටත් දීප්තිමත්ව ලබා ගැනීමත් බැක්ටීරියාවන්ගේ  ජීව්‍යතාව උෂ්ණත්ව විචලනයන්ට ඔරොත්තු දෙන ආකාරයට (20 oC දක්වා) සකස් කිරීමත්  ඔවුන්ගේ අරමුණයි.

ගෝලීය විසදුමක්, ලෙස ආලෝකය  නිෂ්පාදනය සදහා යොදා ගන්නා විදුලියෙන් 19% ක ප්‍රමාණයක් මෙමගින් අඩු  කිරීමට හැකිවනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වේ.  

උපුටා ගැනීම :- New Scientist සඟරාව ඇසුරිනි. 

0 comments:

Post a Comment